Print this Article


දෙසීය හැත්තෑවැනි ස්‍යාමොපසම්පදා පුණ්‍ය මහෝත්සවය ඉපැරැණි සම්ප්‍රදායානුකූලව ඇරැඹේ

දෙසීය හැත්තෑවැනි ස්‍යාමොපසම්පදා පුණ්‍ය මහෝත්සවය ඉපැරැණි සම්ප්‍රදායානුකූලව ඇරැඹේ

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදා පුණ්‍යොත්සවය පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වේ.

සීතාවක රාජධානි සමයෙහි පටන් ලක්දිව සම්බුදු සසුන ක්‍රමයෙන් පරිහානියට පත්ව මෙරට සංඝ සංස්ථාව උපසම්පදා භික්ෂූන් වහන්සේලාගෙන් තොර වූ අවධියක බෝධි සත්ත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන්ගේ මැදිහත්වීමෙන් සියම් දේශයෙන් ප්‍රවර උපාලි මහ තෙරුන් වහන්සේ ප්‍රධාන සියම් භික්ෂූන් වහන්සේ මෙරටට වැඩමවා 1753 දී ලක්දිව ස්‍යාමෝපසම්පදාව පිහිටුවන ලදී.

මෙලෙස සියම් දේශාධිපති, ප්‍රවර ධාර්මික නම් වූ බොරොම්මකොට් මහ රජතුමන්ගේ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කළ සියම් භික්ෂූන් වහන්සේ මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී ප්‍රථමයෙන් පොහොයමළු විහාරවාසී කොබ්බෑකඩුවේ සාමණේරයන් වහන්සේ, වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ, අස්ගිරි විහාරවාසී නාවින්නේ සාමණේරයන් වහන්සේ ප්‍රමුඛ සාමණේරයන් වහන්සේලා පස් නමක් ප්‍රවර උපාලි මහතෙරුන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීමෙන් උපසම්පදා විනය කර්මය ලක්දිව යළි ආරම්භ විය.

මෙම ඓතිහාසික සිදුවීමත් සමඟ ලක්දිව සියම් මහා නිකාය හෙවත් ස්‍යාමෝපාලි මහානිකායෙහි සමාරම්භය ද සිදු විය.

උපසම්පදා විනය කර්මය යනු බුදු සසුනෙහි මෙන් ම සංඝ සංස්ථාවෙහි ද පදනම යි. යම් කලෙක සංඝ සමාජය උපසම්පදා භික්ෂූන් වහන්සේගෙන් තොර වන්නේ ද, එවිට බුදු සසුනෙහි මෙන් ම සංඝ සංස්ථාවෙහි ද අනාගත පැවැත්ම වියැකී යයි.

උපසම්පදා විනය කර්මය මඟින් අධි ශීලයට පත් කෙරෙන සාමණේර භික්ෂූන් වහන්සේ වගකීම් සහිත පරිපූර්ණ භික්ෂුත්වයට උරුමකම් කියයි. සංඝ සමාජයෙහි වැඩි මහලු බව තීරණය කිරීම, විනය කර්මයන් සිදු කිරීම, කුල දරුවන් පැවිදි කිරීම හා උපසම්පදා කිරීම, ශාසනික තනතුරු දැරීම, වස් විසීම ආදී විනය ශික්ෂාවන් හා සම්බන්ධ විනය කටයුතු සිදු කිරීම ආදී සියල්ලක් ම සිදු කළ හැකි වන්නේ උපසපන් භික්ෂූන් වහන්සේට පමණි.

එසේ හෙයින් උපසම්පදාව යනු සංඝ සංස්ථාවෙහි ස්ථීර සාමාජිකත්වය ලැබීම ලෙස කෙටියෙන් හඳුන්වා දිය හැකි ය.

මහින්දාගමනයත් සමඟ මෙරට ස්ථාපිත ව අනුරාධපුර මහාවිහාරයෙන් ඉදිරියට පවත්වාගෙන ආ මහාවිහාර උපසම්පදාව විවිධ කාල සීමාවන් තුළ පරිහානියට පත් ව නැවත ප්‍රතිශ්ඨාපනය කර ඇති බව ශාසන ඉතිහාසය අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වේ.

ලක්දිව මහාවිහාර උපසම්පදාව බුරුමය, සියම, කාම්බෝජය ආදී අග්නිදිග ආසියාතික රටවලට රැගෙන යාමත් මෙරට උපසම්පදාව පිරිහුණු අවස්ථාවල යළි සියම, බුරුමය ආදී ථෙරවාද බෞද්ධ රටවලින් උපසම්පදාව රැගෙන ඒමත් සිදු වී තිබේ. 11 වැනි සියවසේ දී ඡප්පට නම් බුරුම භික්ෂුව මෙරට උපසම්පදාව ලබා බුරුමයෙහි සීහල සංඝ නිකාය ආරම්භ කිරීමත් 15 වන සියවස තුළ සියම්, බුරුම හා කාම්බෝජ සාමණේරයන් වහන්සේ ලක්දිවට පැමිණ උපසම්පදා ශිලය ලැබ යළි සිය රටවලට වැඩමවා ඒ ඒ රටවල උපසම්පදාව පිහිටුවාලීමත් මේ අතරින් ප්‍රධාන වේ.

එසේ ම මහනුවර රාජධානි සමයෙහි එනම් 17 වැනි සියවසෙහි බුරුමයෙහි රක්ඛංග දේශයෙන් දෙවරක් උපසම්පදා භික්ෂූන් වහන්සේ මෙරටට වැඩමවා උපසම්පදා විනය කර්මය යළි පිහිටුවීමට පළමු හා දෙවන විමල ධර්මසූරිය රජවරු ක්‍රියා කොට ඇත.

එහෙත් එම සෑම අවස්ථාවක දී ම එකී උපසම්පදාව කෙටි කලෙකින් ම පරිහානියට පත් වූ නිසා කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් විසින් වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සියමෙහි අයෝධ්‍යාපුර ප්‍රවර ධාර්මික හෙවත් බොරොම්මකොට් මහරජුගේ අනුග්‍රහයෙන් ප්‍රවර උපාලි මහ තෙරුන් ප්‍රධාන සියම් භික්ෂූන් වැඩමවා අතීතයෙහි මෙරටින් සියමට රැගෙන ගිය පිරිසුදු මහාවිහාර උපසම්පදාව යළිත් ලක්දිව ප්‍රතිෂ්ඨාපනය කිරීමට සමත් විය. වර්ෂ 1753 දී මෙලෙස ආරම්භ වූ ස්‍යාමෝපසම්පදාව චිරස්ථායී තත්ත්වයට පත්කිරීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් විසින් සංඝරාජ මාහිමියන්ගේ ද උපදෙස් ඇති ව විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරවන ලදී. ඒ අනු ව ප්‍රථමයෙන් මල්වතු මහාවිහාරයෙන් ආරම්භ වූ සියම් උපසම්පදාව ඉන් වසර 12 කට පමණ පසු පොහොය සීමා සම්මත කරවා අස්ගිරි මහා විහාරයෙහි ද ආරම්භ කරන ලදී. එලෙස උභය මහා විහාරයෙහි ම වාර්ෂික ව උපසම්පදා විනය කර්මය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කොට රාජ නියෝග නිකුත් කරවා මහත් පරිශ්‍රමයෙන් පිහිටුවන ලද සියම් උපසම්පදාව මතු අනාගතය සඳහා සුරක්ෂිත කිරීමට කටයුතු කෙරිණි.

තව ද, ප්‍රාදේශීය වශයෙන් පොහොය සීමා සම්මත කරවා භික්ෂූන් වහන්සේලාට උපෝසථ, පවාරණාදී විනය කර්මයන් සිදු කිරීම සඳහා ද අවකාශ සලසා දෙන ලදී. එලෙස ව්‍යාප්ත වූ ස්‍යාමෝපසම්පදාව අද දක්වා ම උභය මහාවිහාර මූලික කොට ඉපැරැණි සම්ප්‍රදායයන්ට මුල්තැන දෙමින් පවත්වා ගෙන එනු ලබයි.

මෙම ඉපැරැණි සම්ප්‍රදායන් අතර උපසම්පදා විනය කර්මය සිදු කෙරෙන කාලසීමාවට අයත් පොහොය දින පහක දී ධර්මවිනය ඥානයෙන් අග්‍ර වූ සාමණේරවරු පස් නමක් ‘වාහල නාග’ නාමයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවීම ප්‍රධාන වේ.

අතීතයෙහි රාජකීය අනුග්‍රහය සහිත ව රජුගේ වියදමින් පෙරහර සහිත ව සිදු කරනු ලැබූ මෙම වාහල නාග උපසම්පදාවේ දී රජ මාළිගයෙහි සිට පෙරහරින් උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන් වෙත වැඩමවා අතිගෞරවාර්හ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමත්, රජු විසින් එකී අභිනව උපසපන් භික්ෂූන්ට අට පිරිකර පූජා කිරීමත් සිදු විය. වර්තමානයෙහි රජු වෙනුවට ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන්ගේ මැදිහත්වීමෙන් මෙම වාහල නාග උපසම්පදාව චාරිත්‍රානුකූල ව සිදු කෙරේ.

මෙලෙස ආරම්භ වූ ලක්දිව ස්‍යාමෝපසම්පදාව වසර 270 කට ආසන්න කාලයක් මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි ඉපැරැණි සම්ප්‍රදායන්ට අනුගත ව අද දක්වාත් පවත්වාගෙන එනු ලබයි. ඒ අනු ව මෙම පොසොන් පුර පසළොස්වක පොහොය දින (අද) සිට අධි ඇසළ පුර පසළොස්වක පොහොය දින දක්වා ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයට අයත් සාමණේර භික්ෂූන් වහන්සේ 280 කට අධික ප්‍රමාණයක් මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මල්වතු මහාවිහාරීය රාජකීය මංගල උපෝසථාගාරයේ දී ද, අස්ගිරි මහාවිහාර පාර්ශ්වයට අයත් සාමණේර භික්ෂූන් වහන්සේ 60 කට අධික ප්‍රමාණයක් මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥාන රතනාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහාවිහාරීය පෞරාණික උපෝසථාගාරයේ දී ද අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීමට නියමිත ය.