Print this Article


පහන් සිතක කවි

 

 

පොසොන් පෝ දා

අඹ මල් සුවඳ දස දිගතම පැතිරෙන්නේ
මිහින්තලාවට පුන්සඳ පායන්නේ
අරහත් මිහිඳු මා හිමියන් වඩිමින්නේ
ලක් දීපයම සදහම් දීපය වන්නේ

ලක් දනහට පා මෙත් විහිඳු
ලක්දීපයටම සෙත් සෑදු
දහම් මඟට අපෙ නැණ පෑදු
වඳිනෙමු අරහත් හිමි සාධු

අම්බස්තලය මුදුනට හිමි සඳ වැඩලා
තිස්ස, තිස්ස යැයි ගුවනේ හඬදීලා
දඩකෙළි බිමේ බුදු වදනට ඉඩදීලා
පෑතිස් නිරිඳු හිමි වැන්දා දණ නමලා

සදහම් වදනෙන් ලක්බිම එළිය කළ
ඝෝර සසරෙහි බිය පසක්කළ
මාර බන්ධන පරාජය කළ
වඳිමු හිමි සඳ තබා නළල් තල


පොසොන් සඳයි සඳ සිසිලයි මිහින්තලාවයි...

පොසොන් සඳයි සඳ සිසිලයි
මිහින්තලාවයි..

අනුබුදු හිමි වැඩියෙ එදා
මිස්සක පව්වයි......
නිරිඳු මහා දෙවන පෑ
දුනු හී දරනා
මුව හද සොයනා ගමනත්
අතහැර දැමුවා....

දම් රස ගැලුවා
මිස්සක පව්වෙන්....
පොසොන් සඳයි, සඳ සිසිලයි
මිහින්තලාවයි......

සිසිල සදන මහ කෙත්වත්
ගුවන සිඹින මහා දාගැබ්
නිමකර දන සැදුනා.......

මිහින්තලෙන්, අනුරපුරෙන්
පිබිදෙන ගඟ ගැලුවා
දහම් මඟක, සිරිලක් මව
ගමන ඇරඹුවා....

පොසොන් සඳයි සඳ සිසිලයි
මිහින්තලාවයි..


දිවියට උපදෙස්

දෙය තම සතුව අතහැර අනුනට බෙදුම
කය වචනය බොහොම සංවර කර ගැනුම
පි‍්‍රය අරමුණුවලම නොඇලෙන වත දැරුම
දාන සීල නෙක්ඛම්මය ලෙස පිදුම

තම නැණ නිතර ඉහළම දියුණට ගැනුම
හැම උත්සාහය පසු නොබසින දිරි මගම
විමසුම, බුදු බවක ඉවසුම හුරු කෙරුම
ප්‍රඥා විරිය ඛන්ති විලසිනි පිදුම

නැත බොරු බස් සත්‍ය පමණකි මුව රැඳුම
ඇත අරමුණු තිරව එය සපුරන යෙදුම
සෙත, හැම සතුන් වෙත එක විලසම පැතුම
සච්චය අධිට්ඨානය මෙත්තා පිදුම

මැදහත් ගතිය අටලෝ දහමට අනුව
වැදගත් උපෙක්ෂා නාමය ගෙන පිදුව
බැසගත් “දහම් බුදුකුරු” විලස ද යෙදුව
දස පාරමී දමි දිවියට සුව සැදුව


ජය ගමු

දානය දීම සීලය නම් රැකීම ය
නෙක්ඛම්මය යි ප්‍රඥාවෙන් අග්‍රම ය
සතරක් වේ ය පාරමි දසයෙන් අග ය
විරිය වඩා සත්‍ය ප්‍රගුණ කළ යුතු ය

ඉවසුම තුළින් සැනසීමයි ලැබිය යුතු
අධිෂ්ඨාන කොට ජීවත් විය යුතු
මෙත්තා නමින් මිත්‍රත්වය ඇසිය යුතු
උපේක්ෂාව නම් හැම දන වැඩිය යුතු

තණ්හා මාන මිථ්‍යාවන් හැරිය යුතු
කරුණාදයා කුසලය එක් කළ යුතු
පාරමි පුරන මිනිසා වෙත තිබිය යුතු
දත යුතු කාරණාවක් එය වැඩිය යුතු


සම්බුදු සිරිතේ අසිරිය

හැර දමා යස ඉසුරු අනිත බව මෙනෙහි කොට
බව කතර නිමා කොට ඇවිද නැණ පසක් කොට
ලෝ සතුන් වෙත පෑව කරුණාව පෙරටු කොට
පිටවුණා රජ ගෙයින් ඇසළ සඳ කිරණ යට

අවදි කොට එන්න ඇමති හා ගිය දිනේ පෙර ගමන්
දේවියට හා පුතුට නොදන්වා මේ ලෙසින්
කළා අභිනිෂ්ක්‍රමණ පිටව මාලිගාවෙන්
කුමරු සිදුහත් එතෙර විය ගං අනෝමාවෙන්

දුෂ්කර ක්‍රියාවෙන් හය වසර ගත කළේ
සත්වගට කෙම් බිමයි සදහමින් එළි කළේ
ලබා බුද්ධත්වයට ඇසතු බෝ රුක් මූලේ
මඟුල් බණ දෙසන්නට එදා පියමං කළේ

මාර සෙන් පරදවා බුදු එළිය විහිදුණා
පාරමි පෙරුම් දම් පල බරින් නැහැවුණා
මොහඳුර දුරු වෙලා ලෝසතුන් සැනසුණා
බුදු උපත ලොව පුරා අසිරි මත් බව ගෙනා


සැනසෙමු සැවොම

අනුබුදු හිමිඳු හිමි පායුග තබන ලද
අම්බස්තලය සිව්දිග මහ වනය මැද
අරලිය අතු නැමී විහිදෙයි මලින් සොඳ
පෝ දා දිලුණි නිල් අහසේ පොසොන් සඳ

තරු පිරි ගුවන් ගැබ දිදුලන පොසොන් සඳ
පෙන්වයි දම් සිසිල බෝපත් වියන් බැඳ
අනුබුදු හිමි වැඩිය දින සුව පහස විඳ
සැනසෙමු සැවොම තෙරුවන් ගුණ සුවඳ විඳ

කෙළි සෙල්ලමට දඩයම් ගිය යුගයක් ය
බලි බිලි සතුන් ඇදහූ ජන පිරිසක් ය
යළි පුබුදමින් ජාතිය නැගු දවසක් ය
හෙළිකළ දහම අදටත් දිව මතුරක් ය

අනුබුදු සමිඳු දේවානම් පිය තිස්ස
රජු වෙත වස්සවන විට සදහම් වැස්ස
පැතුරුනි දිව කුසුම් දෙව්ලොව සිට ඉස්ස
දෙවියන් දුටිමි අහසින් පොළවට බැස්ස


මිහිඳු මාහිමි දුන් ඔවදන් බිඳක් ...

මහරජ මගේ ඔවදන් ටික පිළිගන්න
තිරිසන් සතුන් කිසි දවසක නොමරන්න
මුව පොව්වන්ට සතුටින් එහෙ මෙහෙ යන්න
මේ ලක් පොළෝ තලයේ නිදහස දෙන්න

ඔබ මේ රටේ මුරකරු බව සලකන්න
සියලු දෙනාටම රැකවරණය දෙන්න
කුරා කූඹියෙකු හටවත් මෙහි ඉන්න
කිසි දවසක හිංසාවක් නොකරන්න

සාමය මිනිස් හදවත් තුළ වපුරන්න
ගුණ නැණ දෙකෙන් හිත් නිතරම පුරවන්න
වත් පිළිවෙත්වලට අත හුරු කරවන්න
හොඳ වැඩවලට පමණක් මඟ පෙන්වන්න

බුදු සමිඳුන්ට මල් පහනින් පුද දෙන්න
පසඟ පිහිටුවා ගෙන නිති නමදින්න
පන්සල් ගොසින් මළුපෙත් මං අමදින්න
පසළොස්වක පොහෝ දිනවත් සිල් ගන්න

වෙසක් පොහෝදා තෙමඟුල් සමරන්න
පොසොන් පොහෝදා සෑගිරියට යන්න
රන්වැලිසෑය සිරිමා බෝ නමදින්න
දළදා වඳින්නට මහනුවරට යන්න