Print this Article


දෙලොව සුව සලසන සැප සතරක්

දෙලොව සුව සලසන සැප සතරක්

බුදු දහම අනුව, ජීවිතය හා ලෝකය පිළිබඳ යථාර්ථය දැක පසක් කිරීම, මිනිසාට උරුම වී අති මේ සංසාරික වූ අතෘප්තිකර දුක් සහිත පැවැත්මෙන් මිදෙනු පිණිස අවශ්‍යයෙන් ම උපකාරී වන්නේ ය. එසේ තතු ඇති සැටියෙන් දැක්ම නම් යථා භූත ඥාන දර්ශනයයි.

මෙහිදී මූලික වශයෙන් බුදුසමයෙහි පිළිගැනීම වන්නේ සංසාරික සත්ත්වයා ඇති තතු ඇති සැටියෙන් දැකීමට අසමත්ව ඇති බවයි. හෙතෙම රාගයෙන් මත් වී සිටීයි. මෝහයෙන් මුළා වී සිටියි. එබැවින් විකෘතියක රැඳී සිටියි. එහිම බැසගෙන සිටියි.

බුදුබවට පත් අවස්ථාවේ දී ම මේ පුහුදුන් ප්‍රජාව ඇති තතු ඇති සැටියෙන් දැකීමට අසමත්ව සිටින අයුරු බුදුරදුන්ට පෙනී ගියේ ය. “සංසාරගත පැවැත්ම දුක් සහිත වන බව බුදු දහමෙහි මූලික පිළිගැනීම වුවත්, ගිහි ජීවිතයක් ගෙවන්නකුට සිය අඹුදරු ආදීන් ද දැහැමෙන් පෝෂණය කරමින්, ඊට සරිලන භෞතික සම්පත් ද ඇතිව, සැපවත් ව ජීවත්වීමට බුදුදහමෙන් කිසිදු බාධාවක් නැත.

එබදු තෘප්තිමත්, විධිමත් ගිහි ජීවිතයක් ගත කිරීමෙන් ලැබෙන සැපය ගිහි සැපය ලෙස බුදු දහම හඳුන්වයි.

පැවිදි උතුමන් විසින් සිය ආගමික ජීවිතයේ උතුම් අවස්ථාවකට පටහැනි නොවන සේ, ගිජුබවින් තොරව ශ්‍රමණ සාරුප්‍යය පරිදි සිවුපසය උපයා ගෙන යැපීම පැවිදි සැපයයි.

මෙසේ සසර දුක් සහිත බව අමතක නොකොට දැහැමෙන් සෙමෙන් සම්පත් භුක්ති විඳිමින් සැප සේ ජීවත්වීමට බුදු දහමෙන් ඉඩ ලැබෙයි. බුද්ධ වචනයට අනුව ගිහියකු විසින් අත්විඳිය යුතු සැප හතරකි. තමාට ප්‍රමාණවත් වූ, තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට තරම් වූ භෞතික සම්පත් ඇතිබව අත්ථි සුඛය වේ.

එම සම්පත් මසුරුකමින් ගිජුව රැස්කොට තබා නොගෙන එදිනෙදා ගත කරන සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය ආකාරයට පරිහරණය කිරීමෙන් ලැබෙන සැපය භෝග සුඛය වේ. එය පරිභෝජනයේ තෘප්තියයි.

සමාජයේ කිසිවකුටවත් ණය බරින් තොරව තමාගේ ශක්ති ප්‍රමාණයට කටයුතු සම්පාදනය කර ගැනීමට ඇති හැකියාව අණන සුඛය වේ. එනම්, ණය නොවීමයි.

ධාර්මිකව උපයා සපයාගත් ධනය යහපත් ආකාරයෙන් පරිහරණය කිරීමෙන් ලැබෙන සැපය අනවජ්ජ සුඛය වේ. එම සම්පත් අනුන්ට දීම් ආදී සත් ක්‍රියාවන් තුළින් ලැබෙන සතුට සැපය නිරාමිසය. කායික වශයෙන් යහපත්, නිරෝගී පැවැත්ම සැපයකි. කාමභෝගි ගිහියකු විසින් විඳිය යුතු එම සැප හතර විඳීම අවසානයේ සියලු දුකින් තොරවූ පරම සැපය වූ අමාමහ නිර්වාණය ම අවබෝධ කර ගැනීමේ මාර්ගයට පිවිසීම පහසු කර ගත හැකි බව බුදුරජාණන් වහන්සේ වරක් අනේපිඬු සිටුතුමාට ද දේශනා කොට ඇත. එනම් අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය වශයෙනි.

ධනයෙහි සතුට

“ගෘහපතිය, මෙලොව යමෙක් නොපසුබට උත්සාහයෙන් අතපය වෙහෙස වීමෙන් දහඩිය මහන්සියෙන් දැහැමෙන් සෙමෙන් වස්තුව සපයාගෙන” මා විසින් මේ වස්තුව උට්ඨාන වීර්යයෙන්, අතපය වෙහෙසීමෙන් දහඩිය මහන්සියෙන්, දැහැමින් සෙමෙන් ලබන ලද්දේ ය” යැයි සිතන විට ඔහුට මහත් සොම්නසක් සතුටක් උපදී. මෙසේ උපදින සතුට අත්ථි සුඛයයි.”

පරිභෝජනයෙහි සතුට

ගෘහපතිය, යමෙකු දැහැමෙන් සෙමෙන් උපයා සපයාගත් වස්තුව අඹුදරුවන් හා ඤාති මිත්‍රාදීන් සමඟ අනුභව කරන විට, ප්‍රයෝජන ගන්නා විට, දන් පින් කරන විට, “මම දැහැමින් සෙමෙන් සපයා ගත් වස්තුව අනුභව කරමි. දන් දෙමි, පින් කරමි.” කියා සිතේ. එවිට ඔහුට මහත් සොම්නසක් උපදී. එය භෝග සුඛයයි.

මෙහි “භෝග“ යනු අනුභව කිරීමයි. විඳීමයි. ප්‍රයෝජන ගැනීමයි. පාවිච්චි කිරීමයි. අනුන්ට ගිනි දී අනුන් තළා පෙළා ලබා ගන්නා වස්තුව හෝ සතුන්, මත්පැන්, වස විස, මාරක අවි ආයුධ ආදී අධාර්මික වෙළඳාමකින් ලබා ගන්නා වස්තුව හෝ අඹුදරුවන් සමඟ ප්‍රයෝජන ගැනීමේ දී තමන්ට මෙන්ම අඹුදරුවන්ට ද සතුටක් සොම්නසක් විඳිය හැකි වන්නේ නැත. මතක් වන, මතක් වන හැම විටම ඇතිවන්නේ ගින්නකි. තැවිල්ලකි. එහෙයින් අධාර්මික වස්තුව ඇතිව සිටීම මෙන් ම වැළඳීම ද සැපයක් නොවේ. දුකකි. වැළඳීම සැපයක් වන්නට නම් වළඳන දෙය ධාර්මික විය යුතු ය.

අණන සුඛය

“ගෘහපතිය, මේ ලෝකයෙහි යමකුට” තමා කිසිවෙකුට ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ, කිසි ණයක් නැතැයි සිතෙන විට මහත් පී‍්‍රතියක් සැනසිල්ලක් උපදී. එය අණන සුඛය හෙවත් ණය නැති සැපය නම් වේ.

ණය ගැතිකමින් බොහෝ දෙනා බොහෝ දුකට පත්වෙති. නින්දාවට පත්වෙති. වස්තුව විනාශ කර ගනිති. උන්හිටි තැන් පවා නැති කර ගනිති. ප්‍රභූන් අනුකරණය කරමින් මඟුල් තුලා ආදී කටයුතු උජාරුවට සිදු කරන්නට ගොස් ඉඩකඩම් ගේ දොර පවා උගස් කර

ණය වී විපතකට පත්වෙති. ඔවුහු තමන්ට පමණක් නොව, අඹුදරුවන්ට ද බලවත් දුකක් ඇති කරති. ණය බරින් පීඩිත වූවෝ බලවත් මානසික දුකකින් පසුවෙති. ගෙවා ගන්නට බැරි බව පෙනීගිය විට සියදිවි නසා ගන්නට පවා සිදුවේ. බොහෝ දෙනා ණය වෙන්නේ ණය නොවී බැරි නිසාම නොව ඊට ඇති පුරුද්ද නිසා ය. කුඩා දෙයක්වත් ණයට නොගැනීමට කුඩා කල සිටම පුරුදු වුවොත් කිසිවිටකත් ණය ගැතියෙක් නොවන්නේ ය. ඔහු ලබන මානසික සැනසිල්ල ඉතා මහත් ය. ඔහු විශාරදය, නිර්භීතය, සම්භාවනීය ය. මෙය අණන සුඛය නම් වේ.

නිවැරදි ජීවිතයේ සතුට

“ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්යය ශ්‍රාවකයා නිවැරැදි වූ කාය, වචී, මනෝ කර්මයෙන් යුක්ත වූයේ “මම නිවැරැදි වූ කාය වචී මනෝ කර්මවලින් යුක්ත වෙමියි” සිතා මහත් වූ සොම්නසක් පී‍්‍රතියක් විඳියි. එය අනවජ්ජ හෙවත් නිවැරැදි සුඛය නම් වේ.

යමෙකුගෙන් සතුන් මැරීමත්, නුදුන් දේ ගැනීමත්, කාමයෙහි වරදවා හැසිරීමත් සිදු වූයේ නැත්නම්, ඔහුගේ කාය කර්ම නිවැරැදි ය. පිරිසුදු ය. එසේම බොරු කීමත්, කේළාම් කීමත්, පරුෂ වචන කීමත්, හිස් වචන කීමත් නොසිදුවුණා නම් වචීකර්ම නිවැරැදි ය. පිරිසුදු ය. එසේම අන් සතු දේ ගැන ආශාවක්, අනුන්ට තරහක් ඊර්ෂ්‍යාවක් හෝ මෙලොව ද නැත. පරලොව ද නැත. කර්මපල නැත. ආදී මිසදිටු කල්පනාවක් හෝ යමෙකුට ඇති නොවේ නම්, ඔහුගේ මනෝ කර්ම නිවැරැදි ය. පිරිසුදු ය.

කොටින්ම පස් පව් දස අකුසල් කිරීමෙන් තොරව යමෙක් ජීවත් වේ නම්, ඔහු අනවජ්ජ සුඛය විඳින්නේ ය. යටකී අනික් සැප තුනට ම වඩා අනවජ්ජ සුඛය අගනා බව බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට වදාළ සේක.