Print this Article


ලෝ සත නිවා සැනසූ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය

ලෝ සත නිවා සැනසූ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය

මානව වංශ කතාවේ අති විශිෂ්ටතම චරිතාපදාන අතර, ගෞතම බුදුරජාණන් වහන්සේට හිමිවන ස්ථානය අතිශයින් සුවිශේෂී ය. බුදුරජාණන් වහන්සේට සම කළ හැකි කිසිවකු අපට මෙතුවක් මානව ඉතිහාසය තුළ හමුව නැති බව සැබැවින්ම අවිවාද සහිත යි.

ඒ අනුව බුදුරජාණන් වහන්සේට සම කළ හැකි වන්නන්ගෙන් උපමා කළ හැකි වන්නේ බුදුරජාණන් වහන්සේ කෙනකුට ම පමණි. අග්‍රගණ්‍ය වූ, අසමසම වූ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වටිනාකම් සමුදායකින් සමලංකෘත නිසා බුදුරජාණන් වහන්සේ මෙලෙස උත්තරීතර උදාරතර මහනීය හා පූජනීය බවින් උපලක්ෂිතව විරාජමාන වන බව හෘදයාංගමව පැවසිය යුතුව තිබේ.

බුදුරජාණන් වහන්සේ කවර කෝණයකින් බැලුව ද වචනයෙන් විස්තර කළ නොහැකි උදාරත්වයකින් යුක්ත බව හා වටිනාකමකින් අනූන බව, ශ්‍රේෂ්ඨත්වයකින් පරිපූර්ණ බව එකහෙළා පැහැදිලි වන්නේ ය. කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, විනයෙන්, ගුණයෙන්, නුවණින්, ප්‍රඥාවෙන්, පෞරුෂයෙන්,කුසලතාවෙන් ආදී සියලු අංශවලින් බුදුපියාණන් වහන්සේ පරමාදර්ශී චරිත ලක්ෂණයන්ගේ සැබෑ ප්‍රතිමූර්තිය වේ.

ආත්මාර්ථකාමී ගොහොර මඩේ එරී අන්තවාදි, අකාරුණික, කුහකත්වයෙන්, චපලත්වයෙන් හා කූරත්වයෙන් පෙළෙන , සැලෙන, වෙළෙන, ලෝකයක එකී පවිටු කුරිරු ආකල්ප, ආදර්ශ, අදහස්, ගතිගුණ හැර දාම, බිඳ දමා, පරමෝදාර මනුෂ්‍යත්වයේ ආශ්වාදය ස්පර්ශ කරමින් පරාර්ථකාමිත්වයේ පරම නිෂ්ඨාව කරා ගමන් කිරීම නිසා මිනිස් සන්තානයේ හා හදවතේ ජනිත මහා කරුණාවේ, මහා දයාවේ හා මෛත්‍රියේ විශිෂ්ටත්වය තුළින් සුපෝෂිතව, පූර්ණත්වයට පත්ව බුද්ධත්වයේ පරම රමණීය සාර ගුණයෙන් ඔකඳවත්වීම සිදුවිය.

අත්‍යන්ත ගුණ සහිත පූජනීයත්වයට හෙවත් බුද්ධත්වයට පත් වූ නිසා සිදුහත් ගෞතමයන් වහන්සේ මානව ඉතිහාසයේ උත්තරීතරය බුදුරජාණන් වහන්සේ එසේ පහළවන්නේ හා බිහිවුණේ හදවත පුරා පැන නැඟුන පිවිතුරු, ලොව්තුරු මහා කරුණාව නිසාම බව හා මෛත්‍රී දයාපරවශ නිසා ම බව දස දහස්වර සපථ කරමින් ප්‍රබෝධාත්මකව ඒකාන්තයෙන් ම ප්‍රකාශ කළ හැකි ය.

බුද්ධත්වය මහා ප්‍රඥාව යි. එකී මහා ප්‍රඥාව පහළ වන්නේ ද, බුද්ධාංකුර හදවත් ඔස්සේ ගලා යන මහා කරුණාව පාදක කරගෙන ම බව සුවිශේෂයෙන් ම සඳහන් කළ යුතුව තිබේ.

දීපංකර පාදමූලේ දී පළමු නියත විවරණය ලබන සුමේධ තාපසයන් වහන්සේ එතැනින් ම ගෞතම බුද්ධ ශාසනයේ සමාරම්භය සනිටුහන් කළ වග සක්සුදක්සේ ම සුපැහැදිලි ය.

අනන්ත සත්වයෝ සසර පුරා දුක් විඳිති. ඔවුන් කවර දා නම් මේ දුක් පිරි සසරින් මිදෙත් ද? එසේ ඔවුන් දුක් දොම්නස් විඳිද්දී මා පමණක් ආත්මාර්ථකාමිව නිවන් අවබෝධ කර ගැනීම කොතරම් අමානුෂික ද? එය උතුම් මනුස්සයන්ට සුදුසු නොවේ. එබැවින් මම බුදුව ඔවුන් ද සසරින් එතෙර කර මම ද නිවන් අවබෝධ කර ගන්නේමි’යි සිතා සුමේධ තවුසාණන් කළ අති දැවැන්ත මහා කාරුණික කැප කිරීම සමස්ත මානව වර්ගයාට පමණක් නොව සත්ව වර්ගයාට ම දුන් අත්‍යුත්තම ආදර්ශයක් හා පාඩමක් වන බව මෙහිලා වඩාත් ගෞරව පුරස්සරව සඳහන් කිරීම අතිශයින් ම වටී.

මිනිස් ඉතිහාසය ජෝතිමත් කළ එකී ක්‍රියාවලිය සදාතනික අභිනන්දනයට ලක්විය යුතු උත්තම ගණයේ ක්‍රියාදාමයක් ලෙස පෙන්වාදීම මහා දයාගුණයට උත්තමාචාරයක් වන්නේ යැයි පැවසීම කිසිසේත් අනුචිත නොවේ.

පාරමී, – උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් සමතිංශත් පාරමී සපුරමින් ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පරිත්‍යාග කරමින් අප්‍රමාණික අකාරුණික දුක් වේදනා විඳිනු ලැබුවේ සත්වග වෙනුවෙන් හදවත තුළ ජනිත කරුණාවෙන් අපරිමිත ගුණ මහිමය නිසා ම බව දස දහස්වර සනාථ වී තිබේ.

පරදුක්ඛේ සිත සුධානං හදයං වේදනං කම්පනං කරෝතීති කරුණා

පරදුක්ඛේ සති හදයං කම්පනං කම්පේ කාරුණිකං

යන අටුවා හා දේශනා පාඨවලින් ගම්‍ය වන්නේ අනුන්ගේ දුක් කරදර, කම්කටොලු, වධ වේදනා නිසා අව්‍යාජ සත්පුරුෂයන්ගේ හදවත්වල හා සිත්වල ඇතිවන කම්පනය හා ප්‍රකම්පනය කරුණාව බවයි.

අව්‍යාජ, අවංක, යහගුණ සපිරි සාධු සත්පුරුෂයින්ගේ හදවත් සිත්සතන් පර දුක්ඛ දෝමනස්ස ළඟ වෙඩරු පිඬක් සේ උණුව යන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය උත්තරීතර මනුෂ්‍යත්වයේ ස්වභාවයක් වන්නේ ය. උසස්, උතුම් මනසක් ඇති සත්ත්වයා මිනිසා වන්නේ නම්, ඔහුගේ මනස මානව පමණක් නොව ජීව පීඩනයක් ළඟ උණුසුම් විය යුතුවෙයි.

විශ්වයේ සිටින අප්‍රමාණ ජීවින් අතරින් මිනිසා ම උසස් වේ යන ප්‍රකාශය කිසිසේත් අන්තගාමී හෝ අගතිගාමී ප්‍රකාශයක් නොවේ. එනිසාම ඔහු කාරුණික, මෛත්‍රී සහගත, දයා භරිත, සෙනේබර පුද්ගලයකු ම විය යුතුව තිබේ. එකී උසස් මිනිස්කම නිසා මෛත්‍රිය, කරුණාව, සෙනහස, අනුකම්පාව, ආදරය, මිනිස් චින්තනය ඔස්සේ ගලා යා යුතුව ඇත. උදාරතර මිනිස්කම අර්ථවත් කරමින් සුමේධ තවුසාණන් පරම පූජනීය මිනිස්කමට දුන් අර්ථ නිරූපණය කොපමණ විචාර පූර්වක ද? යුක්තිගරුක ද? එනිසා අපරිමිත විශ්වය පුරා සිදුවන පරම පූජනීය පෙරළිය මානව වංශකතාවේ ගමන් මඟට ප්‍රබෝධාත්මක ආශිර්වාදයක් නොහොත්, ප්‍රසාදාත්මක ප්‍රභාස්වරය කො පමණ අපූරු දැයි ඉතා අඩු බුද්ධියකින් වුව එදෙස බැලීමෙන් මොනවට ස්ඵුට වේ.

සුමේධ තවුසාණන්ගේ හදවත ඔස්සේ ගලා ගිය කරුණාවේ උල්පත නිසා අසීමිත සත්ව ප්‍රජාවකගේ ශාන්තිය උදා කරන්නට ලබා දුන් ශක්තිය ධෛර්ය මොන තරම් සුවිශාල දැයි වඩ වඩාත් ගැඹුරින් එදෙස බැලීමෙන් පෙනී යයි.

අනුකම්පාව, දයාව, මිනිස්කම, මෛත්‍රිය, කරුණාව, නොමැති තැනක මිනිස්කමේ සුවඳ නො විහිදෙන බව අප විසින් නිරන්තරව පසක් කළ යුතුව ඇත. සුමේධ තවුසාණන්ගේ හදවත සිසාරා ගිය කරුණාව නිසා උදා වූ ප්‍රඥාවේ ආලෝකය තුළින් කල්ප ගණනාවක් ම ඉදිරියට දැකීමේ අපූරු දුරදර්ශීභාවය බුදුරජාණන් වහන්සේ වෙත සහජයෙන් ම හිමි වුණේ ය. අසීමිත අනූපම ප්‍රඥාව නිසා බුදු කරුණාවේ අපූර්වත්වය වඩ වඩාත් විහිදී පැතිරී ගියේ සත්ත්වයාට අවැසි සෙත්මඟ බෙහෙවින් විවර කරමිනි.

විශ්වය ම මවිත කළ අසහාය අසමසම බුද්ධ දේශනාව අවිද්‍යාවේ හා මුග්ධභාවයේ කඩතුරා බිඳ හැර ප්‍රඥාවේ හා විචක්ෂණතාවයේ දොරගුළු හැර දුන්නේ අතිශයින් ම ප්‍රභාත්මත ලෝකයක ආශ්වාදය උදා කරමිනි. අකුරක, වචනයක, හෝ වෙනත් අල්ප මාත්‍රයක අඩුවක් ඌනතාවක් නොමැති අතිවිශ්මිත එම දේශනාව විශ්වාන්තරව රාව ප්‍රතිරාව නංවමින් ගලා යන්නට තරම් ප්‍රබල බුද්ධි ගෝචර දහමක් වූයේ මහා කරුණාව පාදක කරගෙන එය පහළ වූ නිසාම ය.

ලොවින් ලොවට වැඩම කර උන්වහන්සේ ඒ මහඟුතම දේශනාව පැවැත්වූ සේක. එම උත්තරීතර දේශනාවේ හැම තැනකින් ම සුපැහැදිලි වන්නේ මහා කරුණාව ම ය.

සැබැවින්ම පන්සාළිස් වසක් බුදුරජාණන් වහන්සේ ඒ මහා දේශනා සිදු කළේම කරුණාව, මෛත්‍රිය පාදක කරගෙන ම බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා බුදු බව ලැබුවේ ඒ මහා කරුණාවේ පදනම මතම පිහිටා බව අප විසින් නිබඳව තේරුම් ගත යුතුව ඇත්තේ ඒ නිසා ම ය.

අවවාදයට වඩා ආදර්ශය සිය දහස්වර අගය කළ තථාගත බුදුපියාණන් වහන්සේ මහා කරුණාව පෙරටු කර එම ආදර්ශය සත්වයා වෙනුවෙන් ලබා දීමට නිබදව ඉදිරිපත් වූ සේක.

මානව බුද්ධියේ ප්‍රදීප ස්ථම්භය දල්වමින් දෙසූ මංගල ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවෙන් අනතුරුව “බහු ජන හිතාය – බහු ජන සුඛාය, අත්ථාය හිතාය – සුඛාය දේව මනුස්සානං යනාදී වශයෙන් අවධාරණය කළ බුදුන් වහන්සේ සිය ශ්‍රාවක පිරිසට දැඩි සේ අවධාරණය කළේ දෙනමක් එක මඟක නො ගොස් දෙමගක ගමන් කරන ලෙසයි. ඒ වඩාත් පුළුල් ජන මෙහෙවරක් සිදු කරන සිදුවන ලෙසට අවවාද කරමිනි. ඒ අවවාදය තුළින් ද සුපැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ හදවත පුරා පැතිර තිබුණ මහා කරුණාව ය.

බුදුන්ගේ දහම් පණිවුඩය සමඟ උන්වහන්සේගේ කරුණාව ඇෆ්ගනිස්ථානය හා සේද මාවත ඔස්සේ ටිබෙටය හරහා සයිබීරියාව දක්වාත්, එතැන සිට ජපානය, කොරියාව දක්වාත් පැතිර ගියේ ය. බාමියන් වැනි විශාල බුද්ධ ප්‍රතිමා ගෝවී කාන්තාරයේ දී නිර්මාණය වූ අතර, ඒ ඒ රටවල දර්ශනය, සාහිත්‍ය, චිත්‍ර ශිල්පය මූර්ති කලාව, ශාස්ත්‍රීය කෘති ආදි නිර්මාණයන්ට ද බුදු දහමේ ආභාෂය ලැබී ඇත.

දවස කාල පදාස 5කට බෙදා එයින් සිය සේවය වඩාත් හරවත් හා ස්ථානෝචිත ලෙස ඉටු කිරීමට බුදුරජාණන් වහන්සේ පෙළඹුණේ ද අසමසම ලෙස උන්වහන්සේගේ හදවත තුළ තිබුණු මහා කරුණාව නිසාම බව අප කිසිසේත් අමතක කළ යුතු නොවේ.

රජ මැදුරට මෙන්ම පැල්පතටත් එකසේ වැඩ කෝසල බිම්බිසාර ආදී රජවරුන්ගේ ප්‍රණීත භෝජනය මෙන්ම තවත් දුප්පත් උවැසියන් කුඩු සහලින් පිළියෙළ කොට පිදූ කටුක අමිහිරි ආහාරයත් සම මෙත් සිතින් පිළිගත් උන්වහන්සේ අළුයම් වේලෙහි මහා කරුණා සමාපත්තියට සම වැද පිහිට විය යුතු, සේවය ලැබිය යුතු, සේවාලාභීන් සොයා ගව් ගණන් හා යොදුන් ගණන් වැඩම කර නිවනේ දොර හැර දුන්නේ ද අසීමිත කරුණාව නිසාම බව පුන පුනා සිහිපත් කෙරුම අතිශයින්ම යුක්ති යුක්ත වන්නේ ය.

සුනීත සෝපාක පූතිගත්තතිස්ස, මට්ටකුණ්ඩලී, රජ්ජුමාලා, ආලවක,අංගුලිමාල ඇතුළු අනේක විධ නානාවිධ චරිතවලට බුදුසරණ හිමිකර දුන්නේ ද විශ්වයේ අසිරිමත් කළ මහා කරුණා භාවය නිසා බව ගෞරව පූර්වකව සඳහන් කිරීම අපගේ උපරිම වගකීම වේ.

උන්වහන්සේ අසරණ රෝගියෙක් වෙතට හෝ දුකට පත් ළදරුවකු වෙතට සැඬොලකු වෙතට හෝ හික්මවිය යුතු කවර තරාතිරමේ කෙනකු වෙතට හෝ වැඩම වීම කිසිසේත් මදි පුංචිකමක් ලෙස නොසැලකූ අතර, තමන් වෙත පැමිණි කවරකු හට වුව ද පි‍්‍රය වචනයෙන් සංග්‍රහ කිරීම උන්වහන්සේගේ උදාර ගුණාංගයක් ම විය.

බුදුරජාණන් වහන්සේ විටෙක ක්‍රියාකර ඇත්තේ අතිදක්ෂ මනෝ වෛද්‍යවරයෙකු ලෙසිනි. තම පුතු මළ සොවින් කිසාගෝතමී සිහි විකල්ව උමතුවෙන් ඇවිද්ද කල්හි බුදුහු ඇයට ප්‍රකෘති සිහිය ලබා දී මානසික වේදනාව සුව වන සේ කරුණු පැහැදිලි කර දුන්හ. එසේම කායික රෝග වැළදී අසරණව සිටි සිය ශ්‍රාවකයන් වෙත ගොස් ඔවුනට සියතින් ම උපස්ථාන කොට සුවපත් කළහ. ශරීර පුරා ගෙඩි සෑදී වන වී ගොස් මළ මුත්‍රා ගොඩේ වැටී තනිව අසරණව සිටි පූතිගතතිස්ස තෙරුන් නහවා බෙහෙත් ගල්වා සුවපත් කළහ.

වරක් බුදුරජාණන් වහන්සේ උදරාබාධයකින් පෙලුනු අසරණ භික්ෂුවකට උපස්ථාන කළ කථා පුවතක් මහාවග්ග පාලිය සඳහන් කරයි. උදරාබාධයකින් පීඩා විඳි එක් භික්ෂුවක් මලමුත්‍ර ගොඩෙහි වැතිර පිටත යා නොහැකිව මහත් පීඩාවට පත්ව සිටින ආකාරය දුටු විහාර චාරිකාවේ වැඩම කළ බුදුරජාණන් වහන්සේ “මහණ ඔබ බලවත් රෝගයකින් පෙළෙනවා නොවේ ද? ඔබේ අසනීපය කුමක්දැයි කාරුණිකව විමසූහ. “ස්වාමිනි තදබල උදරාබාධයකින් පීඩා විදිමියි උන්වහන්සේ ප්‍රකාශ කළ විට “ඇයි ඔබට උපස්ථාන කිරීමට කිසිවකු නැද්දැයි විමසා” මේ ගැන එම විහාරයේ අනෙකුත් භික්ෂු පිරිසගෙන් කරුණු විමසා භික්ෂු ශාසනයේ පැවිදි වන සියලු දෙනා ඔවුනොවුන්ට උපකාර වී සහයෝගයෙන් ක්‍රියා කරනු දැකීමට තමා කැමති බව ද, මාගේ අවවාද පිළිපැද ගිලනුන්ට උපස්ථාන කරන්නා මට සැලකුවා වන්නේ යැයි අවවාදයක් ද කළහ.

මහාපන්ථක හා චුල්ලපන්ථක යනු බුදුසසුනෙහි පැවිදිව සිටි සොහොයුරන් දෙදෙනෙකි. ළදරු චුල්ල පන්ථකට සිව්මසක් තුළත් ගාථාවක් කටපාඩම් කිරීමට නොහැකිවීම නිසා මහාපන්ථක හිමියෝ ළදරු චුල්ලපන්ථක විහාරයෙන් නෙරපූහ. පැවිද්දෙහි කැමැත්ත ඇති චුල්ලපන්ථක හිමියෝ විහාර දොරටුව ළඟ හඬමින් සිටියහ. මේ බව දුටු බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක හිමිගෙන් කරුණු විමසා ඔබ පැවිදිව සිටින්නේ මා ළඟයි. නෙරපා හැරිය විට ඇයි මා වෙත නො පැමිණියේ. ගිහිවීමෙන් ඔබට වැඩක් තිබෙනවා ද? මා සමීපයෙහි සිටින්න යැයි පවසමින් හිස පිරිමැද අතින් අල්ලාගෙන විහාරයට පිවිසූහ.

තථාගතයන් වහන්සේ විසින් දක්වන ලද කරුණාව ළදරු චුල්ලපන්ථක හිමියන් කෙරෙහි කොතරම් බලපෑවා දැයි කිවහොත් අර්හත්භාවයට පත්වීමෙන් අනතුරුවත් ඒ කරුණ උදානයක් ලෙස සිහිපත් කළේ මෙසේ ය.

භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩියහ. මාගේ හිස පිරිමැද්දහ. මා අතින් ගෙන සංඝාරාමයට පිවිසුණහ.

සමානාත්මතාව යන අර්ථයෙන් සලකන විට තම ශ්‍රාවකයන් වෙසෙන සෙනසුන්වලට වැඩ සුවදුක් විචාරීම බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගුණාංගයක් බව සැලකිය යුතු ය. වරක් අනුරුද්ධ, භද්දිය, කිම්බිල යන ස්වාමීන් වහන්සේ වෙසෙන ගෝසිංහ සාලවනයට වැඩම කොට අනුරුද්ධයෙනි කෙසේද? ඉවසිය හැකි ද? යැපිය හැකි ද? පිණ්ඩපාතයෙන් අඩුවක් තිබේදැයි යනුවෙන් සුවදුක් විමසති. චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ තම ගමන් මඟ තම ශ්‍රාවකයින් වෙසෙන සෙනසුනක් වුවහොත් එහි වැඩ සුවදුක් විචාරා ධර්මයෙන් දිරිමත් කොට පෙරළා වැඩීම උන්වහන්සේගේ හදවතේ සෞම්‍යකම පෙන්වයි.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දිගු කලක් ආරණ්‍යයෙහිම වෙසෙන හිමි නමකි. වියපත් අවස්ථාවෙහි වරක් උන්වහන්සේ බුදුහිමි බැහැ දැකීමට වේළුවනාරාමයට වැඩම කළහ. “කාශ්‍යප දැන් ඔබ හුඟක් මහලුයිනේ. හන පිළියෙන් කළ හැම තැනම මැහුම් දැමූ පාංශුකූල සිවුරු දැරීම ඔබට බරක්, ඕක අතහැරලා ගිහියන්ගෙන් ලැබෙන සිවුරු පාවිච්චි කරන්න. ආරාධනයෙන් ලැබෙන සිවුරු පාවිච්චි කරන්න” යනුවෙන් අනෙකාගේ සුව පහසුව වෙනුවෙන් තමාගේ හදවත තුළ ඇතිවන අවංක අවදිකම පෙන්නුම් කරන කදිම අවස්ථාවකි.

භික්ෂූන් වහන්සේට වුවමනාවට වඩා පීඩා ඇති කරවන සුළු නීති පහක් සම්මත කරවා ගන්නට දෙව්දත් හිමියන් වෑයම් කළ ද කාරුණික වූ බුදුහිමියන් වෙතින් එය ඉටුකරවා ගැනීමට ඔහුට බැරි විය.

යමෙකුගේ දක්ෂතාව දැක සතුටුවන මිනිසුන් ඉතා අල්ප ය. මේ උතුම් මිනිස් ගුණ ද බුදුරජාණන් වහන්සේ තුළ නො අඩුව පැවතියේ ය. වංශය, කුලය, තමන්ගේකම ආදිය නො සලකා දක්ෂතා ඇති ශ්‍රාවකයින් වහන්සේ බුදුහිමිගේ ප්‍රශංසාවට ලක් වූහ. වරක් නන්දක තෙරුන්ගේ ධර්ම දේශනයක් අසා සිටි බුදුරජාණන් වහන්සේ නන්දක ඔබ ඉතා මැනවින් ධර්ම දේශනා කළා යනුවෙන් ප්‍රශංසා කළහ.

අංගුලිමාල මීනිවරුවෙකැයි ඔහු දුරින්ම දුරු නොකොට ඔහු කරා ගොස් ඔහු තුළ සැඟ වී තිබුණා වූ හොඳ ගතිගුණ ඉස්මතු කොට සදහට ම හොඳ මිනිසෙකු වූයේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා බල මහිමය නිසා ය.

පුත්‍ර ශෝකයෙන් පීඩිත වූ මවක් වික්ෂිප්ත වූ විසංඥ වූ සිතින් නග්නව, විසුරුවන ලද කෙස් ඇතිව ඒ ඒ තන්හි හැසරුණා ය. කසල ගොඩෙහි ද, සොහොන් බිමෙහි ද, සා පිපාසා දෙකින් පෙළෙමින් වසර තුනක් ම ඇවිද්දා ය. අනතුරුව මිථිලා නගරය බලා වැඩි බුදු හිමිගෙන් බණ අසා අනගාරික වී පැවිදි බිමට පැමිණියාය. තැනින් තැන ඇවිදිමින් සිටි ඇයට රහත් මෙහෙණියක් වීමට බුදුහිමිගේ කරුණාව යොමු වූ ආකාරය සැබැවින්ම අති උදාර ය.

උන්වහන්සේ පි‍්‍රයශීලි ප්‍රසන්න කතා ඇති හෙයින් ඇතැම් බ්‍රාහ්මණයෝ හා පරිබ්‍රාජකයෝ පවා උන්වහන්සේ හමු වී කතා බහ කිරීම පිණිස පැමිණියහ. එහෙත් තම අගුණ කියමින් තමා පසුපස හඹා ආ විරුද්ධවාදීන් කෙරෙහි පවා හිත රිදෙන වචනයක් හෝ නො පවසා සිටින්නට තරම් උන් වහන්සේ උදාරතර වූ සේක. වරක් ශක්‍රයාගේ ගාන්ධර්වයා වූ පඤ්ච සිඛ උන්වහන්සේ හමුවට පැමිණ තම පෙම්වතිය සඳහා ප්‍රබන්ධ කළ ගීතයක් වීණාව වාදනය කරමින් ගායනා කළේ ය. එය ඉවසිල්ලෙන් අසා සිට බුදුන්වහන්සෛ් ප්‍රශංසාවක් ද කළහ. (දීඝ නිකාය 11 -267)

එකල දඹදිව විසූ මිනිස් සමාජයේ නොයෙක් තරාතිරමේ විවිධ මට්ටමේ ස්ත්‍රී පුරුෂයෝ උන්වහන්සේගේ කරුණා දැලට හසුවූහ. ඒ සියලුම දෙනාට ම යහපතක් ම සිදු විය. සේනානි බිම්බිසාර, පසේනදි කොසොල්, පොක්ඛරසාති රජවරු බිසෝවරු කුමරියෝ මහ සිටුවරු, මහ ඇමැතියෝ, සේනාධිපතිවරු, ත්‍රිවේද ප්‍රාප්ත බමුණෝ, බැමිණියෝ , ගෘහපතියෝ, ගොවියෝ, කම්කරුවෝ, කසල ශෝධකයෝ, වහල්ලු, සැඩෙල් හා නොයෙක් ආගම් දෘෂ්ටි ගත්තෝ ඒ අය අතර වූහ. මිනීමරුවන්, හොරුන්, ගණිකාවන්, සල්ලාලයන් හා යක්ෂයන් (ආලවක වැනි) අය ද වූහ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ තරාතිරම් නො බලන, දරුණුකම්, මැරවරකම් හා විෂමාචාරකම් ගැන කිසිදු තැකීමක් නොකොට හැම දෙනාට ම එක සේ සම සේ, කරුණා, භරිත හදවත් පෑ සේක.

අලව් නුවරවාසි එක් දුප්පත් මිනිසකු බුදුහිමියන්ගෙන් බණ අසන්නට ඉතා කැමැත්තෙන් සිටියත් තම ගොනකු නැතිවීම නිසා බණ අසන්නට නොගොස් ගොනා සොයන්නට ගියේ ය. බොහෝ වේලාවකට පසු ගොනා සොයාගෙන අවුත් ගෙවත්තේ ගහක බැඳ ප්‍රමාද වී අවුත් බණ අසන්නට යමි’යි පිටත් විය. බුදුහු දන් වළඳා අවසානයෙහි “අර දුප්පත් මිනිසා එනතුරු දහම් නො දෙසා වැඩ සිටියහ.

කුසගින්නේ සිටි ඒ මිනිසාට දන් වළඳා ඉතුරු වී ඇති දෙයක් කෑමට දෙන ලෙස දන් දුන් දායකයින්ගෙන් කෙනකුට කීහ. එම දායකයා කෑම ටිකක් දුන්නේ ය. දුප්පතා ආහාර අනුභව කොට බුදුරදුන් වෙත පැමිණි විට බුදුහු බණ වදාළහ. මේ ක්‍රියාව දැක පුදුමයට පත් ශ්‍රාවකයන්ට කුසගින්නේ සිටියකුට ඒ කුසගින්න නො නිවා බණ කීමෙන් ප්‍රයෝජනයක් නැති නිසා එසේ කළ බව බුදුහු වදාළහ. බුදුරජාණන් වහන්සේ මිනිසාගේ බුද්ධියට මෙන්ම හදවතට ඇමතීම ජීවිතය පුරාම දැකිය හැකි ය.

දාසියක වූ රජ්ජුමාලාට තම ස්වාමි දුවගෙන් විඳින්නට සිදු වූ අනේකවිධ හිරිහැර පීඩාවලින් මිදීමට වනයට ගොස් ගෙල වැළලාගෙන මැරෙන්නට සූදානම් ව සිටිය දී ඇය මරණයෙන් ගලවා ගනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ විසිනි. අසරණ බවේ උපරිම අවස්ථාවට පත්ව සිටි පටාචාරා බුදුරජාණන් වහන්සේගේ කාරුණික වදනින් දෙලොවින් ම සැනසීම ලැබුවා ය. නැඟණිය කියා බුදුහිමි තමාට ඇමතීම ඇයට මහත් අස්වැසිල්ලක් විය.

තම එකම දරුවාගේ වියෝව නිසා ශෝකයෙන් උමතු වූ කිසාගෝතමිය බුදුහිමිගේ කාරුණික වදනින් පුත්‍ර ශෝකය නිවාගෙන සැනසීම ලද කාන්තාවකි. විශාලා මහ නුවරවාසී වාසෙට්ඨ නම් කාන්තාවකගේ එකම සුරතල් පුත්‍රයා දුව පැන ඇවිදිමින් සෙල්ලම් කරන අවදියේ ම මරණයට පත් විය. එම ශෝකයෙන් හිස හැරුණු අත ඇවිදිමින් ඇය මියුලු නුවර වීදියක දී බුදුරජාණන් වහන්සේ මුණ ගැසී දුටු කෙනෙහිම වාසෙට්ඨිගේ සිතේ සැනසීමක් ඇති විය. උමතු බව නැති විය.

වරක් කිඹුල්වත්නුවර රෝහිණී ගඟේ ජලය බෙදා ගැනීමට නොහැකිව ශාක්‍ය හා කෝලිය යන දෙපිරිස මහ සටනකට සූදානම් වූ අවස්ථාවේ සටන සමාදානය කොට මිනිස් ඝාතනයක් වළකා ලූ සේක.

අම්බපාලි නගර සෝභනිය සිය නිවසේ දානයට වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ය. එම ආරාධනය පිළිගෙන තිබිය දී විශාලා මහනුවර ලිච්ඡවී රජවරු ද බුදුරජාණන් වහන්සේට දානය සඳහා ආරාධනා කළහ. එහෙත් ලිච්ඡවීන්ගේ ආරාධනය භාර නොගෙන බුදුරජාණන් වහන්සේ අම්බපාලිගේ දානයට වැඩම කළහ.

වරක් ගෝසිංහ වනය අසලින් වඩින බුදුරජාණන් වහන්සේට එම උයනට පිවිසීමට සිත් විය. උයනේ දොරටුව අසලටම වැඩම කළේ බුදුරජාණන් වහන්සේ බව හඳුනා නොගත් උද්‍යාන පාලකයා ඒ සඳහ බුදුහිමියන්ට අවසර නොදුන්නේ ය. තමන් බුදුන් යැයි පවසා උයනට ඇතුළුවීමට උත්සාහ නොකළ උන්වහන්සේ නිසි අවසරය ලැබෙන තුරු නිහතමානීව දොරටුව අසලට වී ඉවසා සිටියහ.

බුදුරජාණන් වහන්සේගේ කරුණාව මිනිසුන්ට පමණක් නොව සතුන් කෙරෙහි ද යොමු කොට ඇත. වරක් ගැරඬියෙකුට ගල් ගසමින් හිරිහැර කරමින් උන් ළමයින් කණ්ඩායමකට අවවාද කොට උන්වහන්සේ එම ගැරඬියා මුදා හළ සේක.

කොසොල් රජුගේ භද්‍රවතිකා නම් ඇතින්න රජු විසින් නො තකා අසරණ කොට අත්හැර දමන ලදී. එම ඇතින්න තැන තැන යමින් දුක සේ කල් යැවුවා ය. ඕ ශක්තිමත් සමයෙහි එ රජු ගේ මඟුල් ඇතින්නව සිට මහත් සත්කාර ලැබුවා ය. යුද්ධවල දී ද රජුට ජය ලබන්නට සහාය වූවා ය. එහෙත් ඇය මහලු වැ දුර්වල වැ කිසිත් කරන්නට නොහැකි වූ විට රජු අන් ඇතකු මඟුල් ඇතු තනතුරට පත්කොට ඇය නො සලකා හැරියේ ය. එතැන් සිට ඕ සුදුසු පමණ අහරක් හෝ, ඉන්නට නිසි තැනක් හෝ නොලැබී දුක සේ කල්ගෙවුවා ය.

දිනක් භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර පිඬු පිණිස වඩිනවා දැක ඕ උන්වහන්සේ වෙත අවුත් පා මුල වැටී තමා විඳිනා දුක අඟවන්න ශබ්ද නඟා හැඬුවා ය. ඉක්බිති බුදුහිමි උදේන රජුගේ මාලිගාවට වැඩම කොට ඇතින්නට අනාථ වන්නට ඉඩහැරීම ඔබට නො වටී. පෙර සේ ම ඇයට සත්කාර කරන්න යැයි වදාළ සේක.