සේතපබ්බතවාසී මහානාග තෙරුන් වහන්සේගේ කතාව
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
සද්ධාතිස්ස මහ රජතුමා රාජ්‍ය කරන කාලයේ රුහුණු රටේ සේතපබ්බත කියලා මහා පර්වතයක්
තිබුණා. එහි විශාල ගල් ලෙනක් තිබුණා. කුස ලෙන කියලා ගම්වාසීන් එය හඳුන්වනවා. විටින්
විට භික්ෂූන් වහන්සේ මේ ලෙනට වැඩම කරනවා. පිණ්ඩපාතයෙන් තමා ඒ හැම දෙනාම ජීවත් වුණේ.
මහානාග නම් තෙර නමක් මේ ලෙනට වැඩම කර භාවනා කරන්න පටන් ගත්තා. සතිය, සති දෙක තුන
ආදී ලෙසින් මාස ගණන් අවුරුදු ගණන් මේ ලෙනේම වැඩ සිටියා. නිශ්ශබ්ද වූ රමණීය ආරණ්‍යයට
උන්වහන්සේ බොහොම ඇලුම් කළා. කාලය ගෙවී ගෙන ගියා. වසර දොළහක් ම ගත වුණා. තෙරුන්
වහන්සේ මේ වර්ෂ දොළහ ම ජීවත් වුණේ පිණ්ඩපාතයෙන් ලද ආහාරයෙන්.
හැමදාම කුස ලෙනට ඉතා ඈතින් පිහිටි ගම්මානයට වැඩම කර ගෙපිළිවෙලින් පිණ්ඩපාතය කළා.
ලෝභී මිනිසුන්ගෙන් ප්‍රමාණවත් ආහාර නො ලැබුණත්, ශ්‍රද්ධාවන්ත පිරිස් ජීවත්වන
නිවෙස්වලින් පිණ්ඩපාතය ලැබුණා. ගම්මානයේ පිරිස බොහෝම දුප්පත්. එහෙත් හැකි අයුරින්
දානය පූජා කළා.
මෙසේ ගෙපිළිවෙලින් වැඩම කරන මහානාග තෙරුන් වහන්සේට හමුවුණා ඉතාම වයසට ගිය යුවලක්
තමන්ගේ දුවත් සමඟ ජීවත් වන නිවසක්. මේ තුන් දෙනාම හරිම ශ්‍රද්ධාවන්ත යි. එහෙත් යමක්
දීමට තරම් වත්පොහොසත්කමක් නම් තිබුණේ ම නෑ. ඉතා ම දුක සේ තමයි ජීවත් වෙන්නේ.
ඔවුන්ගේ ශ්‍රද්ධාව, පි‍්‍රයවචනය, මුහුණ පිරුණු සිනහව නිතරම හැම දෙනාටම දුන්නා.
තෙරුන් වහන්සේ ඈතින් වඩිනවා දුටු විගසම ඇතිරිලි සහිත පිරිසුදු ආසනයක් සකසා ඉතා
ගෞරවයෙන් වන්දනාමාන කරලා ආ ගිය තොරතුරු කතා කරලා දුක සැප සොයා බලා දානය පූජා කිරීම
සිරිතක්. අවුරුදු දොළහක් ම මේ විදිහට කාලය ගත වුණා. දවසක් තෙරුන් වහන්සේ වෙනදා වගේම
මනාව අඳනය ඇඳගෙන සිවුර පොරවාගෙන පාත්‍රයත් අරගෙන පාන්දරින් ම ගමට වඩින්න පිටත්
වුණා.
මෙදින වෙනදාටත් වඩා වේලාසනින් මේ මහලු උපාසිකාවගේ නිවස සමීපයට වැඩම කළා. මහලු
උපාසිකාවත්, උපාසකතුමාත්, දියණියත් තෙරුන් වහන්සේ වැඩම කරන්න තවමත් වේලාව තියනවායි
හිතාගෙන දානය දෙන හැටි කතා කරන්න පටන් ගත්තා.
තමන්ගේ දුව වූ සුමනා නම් දියණිය අමතා, පුතේ සුමනා, අද අපේ මහානාග තෙරුන් වහන්සේ
වැඩියහම ඇල්හාලෙන් බත් උයලා, මස් මාළු පිණි පිළියෙළ කරලා, ගිතෙල් සමඟ දානය පූජා
කරන්න. අපි දෙන්නා හීල් බත් කන්නම්. පුතේ ඔයත් ඉතිරිවෙන ඒ බත්වලින් ම කුස පුරවා
ගන්න.’යි කරන කතාබහ තෙරුන් වහන්සේට අහන්න ලැබුණා.
තෙරුන් වහන්සේගේ හදවත කම්පා වී ගියා. මහත් සංවේගයක් දැනුණා. මේ අය මගේ මවවත්,
පියාවත්, සහෝදරියක්වත් නොවෙයි. අඩුම තරමේ මගේ ලේ ඥාතියෙක්වත්, අසල්වැසියෙක්වත්
නොවෙයි. ප්‍රණීත ආහාර මට පූජා කරලා රළු, ඕජෝ ගුණයක් නැති ආහාරවලින් තමන්ගේ කුසගින්න
නිවා ගන්නවා. තවත් නම් මට මේ නිවසින් කෙලෙස් සහිතව සිටිමින් පිණ්ඩපාතය ලබා ගන්න
බෑ’යි කල්පනා කර එතැනින් නික්ම ලෙනටම වැඩම කළා.
තෙරුන් වහන්සේ හොඳින් කය පිරිසුදු කරගෙන කුටියේ පසෙක සකසා තිබුණ භාවනා ආසනයට හිඳ
හොඳින් අසුන්ගෙන කල්පනා කළා. මගේ මස්, ලේ, නහර, ඇට, ඇටමිදුළු මේවා වියළී ගියත්, මා
මරණයට පැමිණියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළාක් මෙන් අර්හත් භාවය නොලබා
නො නැඟිටිමියි’යි තීරණය කර ගෙන භාවනාවට එළැඹියා.
මුලින් ම තමන් වහන්සේගේ සීලය සිහි කර එහි කිසිදු දොස් නැති බව දැන සතුටට පත් වී
විදර්ශනා වඩන්න පටන් ගත්තා. ඉර මුදුන් වෙන්න පැයකට පමණ පෙරාතුව ම උතුම් වූ
අර්හත්භාවය ලබා ගැනීමට මහානාග තෙරුන් වහන්සේට පුළුවන්කම ලැබුණා. මහත් පී‍්‍රතියට
පැමිණ
‘නැවත නැවත ඉපදීමේ කෙළවර මම හොඳින් දුටුවෙමි. ඒකාන්තයෙන් ම නැවත වරක් මව්කුසක හෝ
වෙනත් සත්ත්ව ගැබක ඉපදීමට නො පැමිණෙන්නෙමි. උතුම් නිවන සාක්ෂාත් කළෙමි’යි
පී‍්‍රතිඝෝෂා කරන්න පටන් ගත්තා. මෙහෙම අර්හත්භාවයෙන් සතුටට පැමිණ ආයුෂ බලා තවත්
ජීවත්වීමට ඇත්තේ සුළු කාලයක් බව දැනගෙන පිරිනිවන් පාන්න තීරණය කළා. ඒ බව දුටු ලෙනට
අධිගෘහිත දේවතාවා හිසෙහි අත් ගසාගෙන හඬන්නටත්, වැළපෙන්නටත් පටන් ගත්තා. ඉවසා සිටිය
බැරිම තැන උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිමින් වැඳගෙන
‘ස්වාමීනි, ඔබ වහන්සේගේ උපස්ථායකයා ඉතා දිළින්දෙක්. අවුරුදු දොළහක් ම ශ්‍රද්ධාවෙන්
සතුටු සිතින් පිණ්ඩපාතය පූජා කළා. ඔබ වහන්සේ ෂඩ්භිඅභිඤ්ඤාලාභී රහතන් වහන්සේ නමක්
වුණා. ඒ නිසා ඔවුන්ට අනුකම්පා පිණිස අද නිවසේ සකසන දානය පිළිගන්නා සේක්වා’යි ආරාධනා
කළා.
දේවතාවාගේ කීම ඇසූ තෙරුන් වහන්සේ උදෑසන වැඩම කළ පරිද්දෙන්ම අදනය මනාව හැඳ සිවුරු
පොරවා පාත්‍රය අරගෙන ඒ නිවසට ම වැඩම කළා. ඒ වෙනකොට නිවසේ සිටියේ සුමනා දියණිය
පමණයි. තමන්ගේ මවත්, පියත් කපු සොයන්න කැළයට ගිහින් සිටියා. තෙරුන් වහන්සේට ආසන
පනවා, නමස්කාර කර දානය පිළිගැනීමට සූදානම් වන විට දියණිය අමතා
‘පින්වත් සුමනා උපසිකාවෙනි, ඔබගේ දෙමාපියන් පෙනෙන්නට නැත්තේ ඇයි? බැහැරක් ගියා ද?
අසනීපයකින් පසුවන්නේද?යි ප්‍රශ්න කළා.
වෙනත් කිසිම දවසක එසේ ප්‍රශ්න කළ බවක් සුමනාවන්ට මතක නෑ. තෙරුන් වහන්සේගේ පෙනුම
වෙනදාට වඩා බොහොම පැහැපත්, වෙනදා කතාවට වඩා අද කතාබහ හරිම සංවරයි. සිත නිවන
ස්වභාවයෙන් යුක්තයි. ඒකාන්තයෙන් ම තෙරුන් වහන්සේ රහත්බවට පැමිණි ඇත්තේ යැයි සිතා
ඉතා ශ්‍රද්ධාවෙන් දානය පූජා කළා. තෙරුන් වහන්සේ පිණ්ඩපාතය වළඳා කුස ලෙනට වැඩම කර
අර්හත්භාවයට පැමිණි ආසනයේ ම හිඳගෙන මෙහෙම අධිෂ්ඨානය කළා.
‘යම් මිනිසෙක් මට අවුරුදු දොළහක් උපස්ථාන කෙළේ නම් ඒ මිනිසා පැමිණ මා ස්පර්ශ කළ විට
පමණක් මාගේ ශරීරය සෙලවේවා, අන්‍යයන් ඔසවන්නට උත්සාහ කළත් නොසෙල්වේවා’යි මේසේ
අධිෂ්ඨාන කොට තෙල් අවසන් වී නිවී යන පහනක් මෙන් ආයුෂ අවසන් වී පිරිනිවන් පෑවා.
මේ පුවත දෙවියන් වෙතින් ගම්වැසියන්ට ආරංචි වී ගම පුරාම පැතිර ගියා. ගමෙන් නගරයටත්,
නගරයෙන් රුහුණු දනව්ව පුරාත් පැතිර ගියා.
එකල රාජ්‍ය හෙබ වූ සද්ධාතිස්ස මහ රජතුමාටත් මේ රහතන් වහන්සේ ගැන අසන්නට ලැබුණා.
රජතුමා වහාම රාජ්‍ය නිලධාරීන් හා සෙබළුන් සමඟ පැමිණ ආදාහනය කිරීමට අවශ්‍ය කටයුතු
සූදානම් කළා. එහෙත් උන්වහන්සේගේ දේහය සොලවන්නවත් හැකියාවක් ලැබුණේ නෑ. මෙයට හේතුව
විමසුවත් කිසිවෙකුටවත් එය සොයා ගැනීමට පුළුවන්කමක් ලැබුණේ නෑ. දෙවියන් එයට හේතු
දන්නා බැවින් රජතුමා වෙත අන්‍යවේශයකින් පැමිණ
‘රජතුමනි, මේ තෙරුන් වහන්සේට අවුරුදු දොළහක් උපස්ථාන කළ උපස්ථායකු සිටී නම් ඔහුට
පමණක් දේහය එසවිය හැකියි’ පවසා සිටියා. රජතුමා පිරිස අමතා ‘මේ රහතන් වහන්සේට වසර
දොළහක් උපස්ථාන කළේ කවුදැයි ප්‍රශ්න කරන විට
‘අහෝ අපට නො දන්වා අපගේ මහ තෙරුන් වහන්සේ පිරිනින් පෑවායි’යි ඉතා සංවේගයට
පැමිණෙමින් දෙමාපියන් දෙදෙනා හඩා වැළපෙමින් කැලයේ සිටම එතැනට පැමිණියා. ඔවුන්
කැලයෙන් රැගෙන ආ කපු පුළුන් උන්වහන්සේට පූජා කර ශරීරය ස්පර්ශ කළා. ඒත් සමඟ දේහය
ආකාශයට ඍද්ධියෙන් ම වැඩම කළා. පැමිණ සිටි පිරිස දේහය දැක නමස්කාර කළා. තෙරුන්
වහන්සේගේ අධිෂ්ඨානයක් අනුව මෘත දේහයෙන් ම ගිනි පිටවී දේහය දැල්වුණේ යැයි ද, උපාසක
මාතාවටත්, උපාසකතුමාටත්, සුමනා දියණියටත් රජතුමාගෙන් බොහෝ ධන ධාන්‍ය ලැබුණ බවත්,
ගරු සම්මානවලින් පිදූ බවත්, ගම්වරයකින් අනුග්‍රහ දැක්වූ බවත් සීහළවත්ථු කතා පුවතේ
සඳහන් වෙනවා.
යමෙක් දුක සේ හෝ දන් දෙනවා නම් එහි විපාක දිට්ඨ ධම්මවේදනීය ව විපාක දෙන බවත්, මෙලොව
දී ම අභිවෘද්ධිය, අපරිමිත ධනය මෙන් ම ගරු සම්මානවලට පාත්‍ර වන බවත්, පරලොව වශයෙන්
සුගතිය හිමි වන බවත්, මෙලොව පරලොව දෙලොවම ජය ගන්නා බවත් මේ කථා පුවතින් අපට උපදෙස්
ලබා දෙනවා. එබැවින් හැකි හැම අවස්ථාවක ම හැකි පමණින් සතුටු සිතින් යමක් දීම වැදගත්
බව තවදුරටත් මේ කථා පුවත අපට පෙන්වා දෙනු ලබනවා. |