Print this Article


පින කියන්නේ සැපයටයි

පින කියන්නේ සැපයටයි

ඉධ මෝදති පෙච්ච මෝදති
කත පුඤ්ඤෝ උභයත්ත මෝදති
සෝ මෝදති සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ

‘‘මෙලොව සතුටු වෙන්නේ පින් කර ගත් පුද්ගලයායි. පරලොව සතුටු වෙන්නේ ද ඔහුමයි. දෙලොව ම සතුටු වෙන්නේ පින් කර ගත් තැනැත්තාමයි. තමන් විසින් කර ගත්ත පිරිසුදු කර්මය දැක ඔහු සතුටින් පිනා යනවා.”

ධර්මය පුරාවට ම පින ගැන වර්ණනා කරමින් පිනට මිනිසුන් යොමු කරලා තියෙද්දි ඒ ගැන වැරැදි විදිහට විග්‍රහ කරමින් අවමන් කරනවා නම් ඒක ධර්මයට විරුද්ධ දෙයක්.

පින් කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ සසරින් නිදහස් වීම අරමුණ විදිහට තියාගෙන. එය උතුම් අරමුණක්. ඒ අරමුණට යන්න උපකාරි වෙන දේ තමයි පින කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මිනිසත් බව ලැබ, ධර්මයත් මුණ ගැසුන විට ප්‍රමාද වීම අනුවණ බවයි. අප්‍රමාදී ව කුසල් වැඩීම භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරමින් ‘පින් කරන්න එපා’ කියන අදහසක්වත්, ‘කුසල් වඩන්න එපා’ කියන අදහසක්වත් ධර්මය පුරාවට අපිට හැඟවෙන්නේ නැහැ. හැඟවෙන්නේ නැවත නැවත ඉපදීම දුකක්, බවත් ඒ දුකින් නිදහස් වීමට උත්සාහ ගතයුතු බවත් ය.

මහණෙනි, හිසට ගිනි ඇවිළුනු කෙනෙක් ඒ ගින්න නිවා දමන්න උත්සාහ කරනවාටත් වඩා මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න උත්සාහ කළ යුතුයි කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ, ඉපදීම නිසා මිනිසුන්ට විඳීන්න වෙන දුක දැකල යි. ඉපදීම නිසා විඳීන දුක නැති කිරීමට උපකාරක ධර්ම තමයි ධර්මයේ සඳහන් වන්නේ. ඉතා කුඩා වූ පිනක් හෝ කිරීමේ වටිනාකම භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කර ඇත්තේ මෙසේයි.

‘ ඕක ඉතිං පොඩි පිනක් නේ’ කියලා, ගණන් නො ගෙන ඉන්න එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කළයක් පිරෙන්නේ. බුද්ධිමත් පුද්ගලයාත් ටික ටික වුණත් පින් කරන කොට ඒ පින් එකතු වෙලා අන්තිමේ දි ජීවිතේ ම පිනෙන් පිරිලා යනවා.”

ඒ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ පිළිගත්ත නුවණැති මිනිස්සු කන්න තියෙන දේ හරි දනට දුන්නා, බැණුම් අසමින් ගුටි කකා හරි අමාරුවෙන් හරි සිල් රැක්කා, ගුණධර්ම දියුණු කළා, ‘ආසාවෙන් පින් කළා. ඒ අය නිසා තමයි දිව්‍ය, බ්‍රක්ම ලෝක පිරිලා ගියේ. දිව්‍ය ලෝකවල ඉඳගෙන ”අපි මනුස්ස ලෝකෙදී මෙහෙම පින් කළා” කියලා සතුටු වුණා. විමාන වත්ථුවල සඳහන් වෙන්නේ එසේ දෙව්ලොව ගිය ස්වල්පයක් දෙනාගෙ විස්තර. ඒවා නිකම් ම කතන්දර විතරයි කියලා හිතන අය තමයි පිනට අගෞරව කරන්නේ. ගරහන්නේ.

‘‘දාන, සීල, භාවනා ආදි යහපත් පින්කම් ඉක්මනට කර ගන්න ඕන, ඒ වගේ ම පාපයෙන් හිත වළක්වා ගන්නත් ඕන, ඕනකමක් නැතුව පමා වෙවී පින් කරන්න ගියොත් දන්නෙම නැතුව පව්වලට හිත ඇලෙනවා.”

‘‘යම්කිසි කෙනෙක් ශ‍‍්‍රද්ධාවෙන් යුතුව පිනක් කළොත් ආයෙ ආයෙත් කර ගන්න ඕන ඒ පින ම යි. පින් කිරීම ගැන ම යි හිතේ කැමැත්ත ඇති කර ගන්න ඕන. ‘සැප’ කියලා කියන්නේ, පිනට ම යි.”

එනිසා පිනට කිසිදා නිග්‍රහ කරන්න එපා. පින වේවා කුසලය වේවා තමන්ට හැකි අයුරින් සිදු කරන්න. පිනත් කුසුලයත් දෙකම ඔබට නිවන පිණිසත්, සසරේ කායිකව මානසික දුකකින් පීඩාවකින් තොරව, ජීවත්වීමටත් රුකුලක් වේවි.