සුවපත් මනසක් සුවබර දිවියක් 02 කොටස:
යටිගිරියෙන්
කෑගැසීමට සිතෙන තරමට
ජීවිතය නීරස ද?
ආචාර්ය
හේනේපොල ගුණරතන හිමි
‘ලෝකයේ භාෂා 32කට පරිවර්තනය වී ඇති
Mindfulness In plain English (සතිමත් බව වැඩීම) කෘතිය භාවනාවේ ආචාර්යවරයකු ලෙස
පෙන්වා දිය හැකි ය. පහසුවෙන් භාවනාව වැඩිය හැකි මේ කෘතියේ සිංහල පරිවර්තනය බුදුසරණ
පාඨකයන් වෙනුවෙන් මෙසේ කොටස් වශයෙන් පළ වේ. අද පළ වන්නේ එම ලිපි පෙළේ දෙවැන්නයි.‘
මනුෂ්‍ය පැවැත්මේ ප්‍රධාන ඉලක්කයන් වන්නේ සතුට හා සාමකාමී බවයි. අප සැමදෙනා සොයන්නේ
එයයි. තට්ටු ගණනින් වූ, මතුපිට අරමුණුවලින් වැසී ඇති බැවින් මෙම මූලික ඉලක්ක අපට
නොපෙනෙයි. ආහාර, මුදල්, ලිංගික ආස්වාදය, වස්තුව, නම්බුව හා ගෞරවය පසුපස හඹා යන අපට,
සතුට යන්න හුදෙක් ම සංකල්පයක් පමණි
රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශය නරඹන්න. ජනප්‍රිය ගීතයක පදමාලාවට සවන් දෙන්න. සෑම
මාධ්‍යයකින් ම සිදුවන්නේ එකම තේමාව විවිධ ආකාරයෙන් නැවත නැවතත් ඔබ හමුවේ තැබීමයි.
එහෙත් එයින් හටගන්නේ ඊර්ෂ්‍යාව, බලවත් අතෘප්තිය, දුක, මානසික පීඩාව වැනි දේ ය.
ජීවිතය නිරන්තර අරගලයක් සේ පෙනේ. එය දැවැන්ත බාධක ජය ගැනීමට කරන ඉතා දැඩි
උත්සාහයකි. මෙවන් අතෘප්තිකර තත්ත්වයක් සඳහා තිබෙන විසඳුම කුමක් ද? “මෙහෙම වුණා නම්”
යන රෝග ලක්ෂණය අප කෙරෙන් පෙන්නුම් කරයි. “මට බොහෝ මුදල් තිබුණා නම්, මට සතුටෙන්
ඉන්න තිබුණා”,
“මට සැබෑවට ම ආදරය කරන අයෙක් මුණගැසුනා නම්”,
“මගේ බර රාත්තල් විස්සක් අඩුකරගත හැකිවුණා නම්”,
“මට නාන්න උණු දිය තිබුණා නම්”
“මට වර්ණ රූපවාහිනියක් තිබුණා නම්”,
“මම මීට වඩා සිත් ඇදගන්නා සුළු නම්” යන කෙළවරක් නැති “තිබුණා නම්” ආදියෙන් අපගේ
ජීවිත පිරී පවතියි. මෙවන් සිතිවිලි පැමිණෙන්නේ කොහේ සිට ද? විශේෂයෙන් ඒ පිළිබඳ අපට
කළ හැක්කේ කුමක් ද? මේවා මතු වන්නේ අපගේ සිත තුළ පැලපදියම් වී තිබෙන පුරුදුවලින් ය.
සියුම් නමුත් ගැඹුරින් හා හාත්පස පැතිරී පවතින මානසික පුරුදු සමූහයකි. අප විසින්
ටිකින් ටික පටලවා ගත් මේ ගැට, ලිහාගත හැක්කේ ද එසේ ම ය. වරෙකට එක කැබැල්ල බැගිනි.
අපගේ දැනුවත් බව වැඩිදියුණු කර, එක එක කැබැල්ල මතුකර ගෙන ආලෝකය කරා ගෙන ඒමට හැකිවනු
ඇත. යටි සිතේ ඇති, අප නොදකින දේ උඩු සිත කරා, සෙමෙන්, වරකට එක බැගින්, ගෙන ආ
හැකියි.
අපගේ අත්දැකීම්වල හරය වන්නේ වෙනස්වීම ය. වෙනස් වීම නිරන්තරයෙන් ම සිදුවෙයි.
මොහොතින් මොහොත ජීවිතය ගලා යන බැවින්, කිසිවිටෙකත් එය එක සේ නොවෙයි. මේ අනවරත
විශ්වයේ හරය වන්නේ අනවරත වෙනස්වීමයි. ඔබගේ සිතේ හටගන්නා සිතිවිල්ලක් තත්පර බාගයකින්
මැකී යයි. වෙනත් සිතිවිල්ලක් පැමිණ එය ද සැණෙකින් ඉවත්ව යයි. හඬක් ඇසී මොහොතකින්
නිශ්ශබ්දතාවයක් උදාවෙයි. දෑස් විවර කළ විට පෙනෙන මුළු මහත් ලෝකය ඇසිපිය හෙළන
ක්ෂණයකින් නොපෙනී යයි. විවිධ පුද්ගලයෝ ඔබගේ ජීවිතයට ඇතුළු වී, පිටවී යති. යහළුවෝ
ඔබගෙන් ඉවත් වී යති. නෑදෑයෝ මරණයට පත් වෙති. ඔබගේ වස්තුව වැඩි වී, අඩුවී නැති වී
යයි. දේවල් හිමිවීම් මෙන් ම අහිමිවීම් ද එලෙසින් ම ඇතිවෙයි. වෙනස්වීම නොකඩවා
සිද්ධවෙයි. මේ මොහොත කලින් මොහොතකට හෝ ඊළඟ මොහොතකට හෝ සමාන නොවෙයි.
මෙහි කිසි වැරැද්දක් නැත. ඒ විශ්වයේ ස්වභාවයයි. නමුත් මෙම නිරන්තර “ගලායෑමට”
අසාමාන්‍ය අන්දමේ ප්‍රතිචාර සමූහයක් දැක්වීමට මිනිස් සංස්කෘතිය අපට උගන්වා ඇත. අපි
අත්දැකීම් වර්ග කරමු. සෑම දැකීමක් ම හා අවසානයක් නොමැති මේ විපර්යාස ප්‍රවාහය හොඳ
නරක හා මධ්‍යස්ථ යන මානසික කූඩු තුළ සිර කිරීමට අපි උත්සාහ කරමු. ස්ථිර හා
හුරුපුරුදු මානසික ප්‍රතිචාර සමූහයකට අනුව අපි එම කාණ්ඩ තේරුම් ගනිමු. අප උත්සාහ
කරන්නේ හොඳ යැයි ලේබලය ඇලවූ දැකීම ළඟ කාලය නවතාලීමටයි. අපි එම සිතිවිල්ල ඩැහැගෙන,
ආදරයෙන් වැළඳගෙන බේරීයාමට ඉඩ නොදී තබා ගැනීමට ප්‍රයත්න දරමු. අසමත්වූ විට, එම
සිතිවිල්ල ජනිත කළ අත්දැකීම නැවත නැවත විඳීම සඳහා අවශ්‍ය සියල්ලක් ම කිරීමට ද අපි
පසුබට නොවෙමු. “ඇලීම” යනුවෙන් හැඳීන්වෙන්නේ මෙම මානසික පුරුද්දයි.
අනෙක් පස ඇත්තේ “නරක” ලේබලය සහිත කූඩුවයි. යමක් නරක යැයි දකින විට, අපි එය පසෙකට
තල්ලු කරමු. ප්‍රතික්ෂේප කර එසේ නොවේ යැයි පවසා කෙලෙසක හෝ එය ඉවත දැමීමට උත්සාහ
කරමු. අප සටන් කරන්නේ අපගේම අත්දැකීම් සමඟයි. අපි අප වෙතින් ම පළා යමු. එසේ කිරීමේ
මානසික පුරුද්ද “ගැටීම” කියා හඳුන්වමු.
මේ ප්‍රතිචාර දෙක අතර තිබෙනේනේ මධ්‍යස්ථ කූඩුවයි. හොඳ හෝ නරක නොවන උදාසීන,
ඇල්මැරුණු හා නීරස අත්දැකීම් දමන්නේ මේ තුළට ය. මධ්‍යස්ථ අත්දැකීම් අසුරා තැබූ අපගේ
අවධානය යොමුවන්නේ කෙළවරක් නැති ආශාවන් හා ද්වේශයන් වෙතටයි. මේ හේතුවෙන් මධ්‍යස්ථ
අත්දැකීම්වලට හිමි විය යුතු අවධානය නොලැබී යයි.
මෙහි ප්‍රතිඵලය වන්නේ “නොසලකා හැරීම” නැමැති මානසික පුරුද්ද ය. මෙවන් උන්මත්තක වූ
ක්‍රියාදාමයක ප්‍රතිඵලය කෙළවරක් නැති, වෙහෙසකර ධාවන තරගයකි. ආශාවන් ලුහුබඳීන,
වේදනාවලින් පලා යන මේ ගමනේ දී, අප ලබන අත්දැකීම්වලින් සියයට අනූවක් ම නොසලකා හැරීම
සිදුවෙයි. පසුව, ජීවිතය මෙතරම් නීරස මන්ද කියා ළතවෙයි. මෙම ක්‍රමය ප්‍රායෝගික නොවන
බව කිව යුතු ය.
කෙතරම් වෙහෙස දරා විනෝදය හා සාර්ථකත්වය හඹා ගිය ද, ජයගත නොහැකි අවස්ථා එමට ඇත. සමහර
අවස්ථාවල දී කොතරම් වේගයෙන් වේදනාවලින් පලා ගිය ද ඔබ එයට හසුවීමට පුළුවන. ඒ අතරතුර
යටිගිරියෙන් කෑ ගැසීමට සිතෙන තරමට ජීවිතය නීරස විය හැකියි. විවිධ මත හා විවේචනවලින්
අපේ සිත පිරී පවතියි. අපිම මවා ගන්නා බිත්ති අතර සිරවී අපේම රුචි අරුචිකම් නැමැති
උගුලට හසු වී දුක් විඳීමු.
“දුක” යන්න බෞද්ධ චින්තනයේ පුළුල් තේරුමක් ඇති වදනකි. ඉමහත් වැදගත්කමකින් යුත් එම
වදන හොඳීන් වටහා ගත යුතුයි.
මේ පිළිබඳ විවරණය එළඹෙන පුන් පෝදා පුවත්පතින් කියවමු
|