Print this Article


කාලය අතනොහැර අප්‍රමාදී වන්න

කාලය අතනොහැර අප්‍රමාදී වන්න

ප්‍රාථමික මිනිසුන් දඩයම් කිරීමෙන් පසු පැවැත්වූ සාමූහික භෝජනයෙන් උත්සව පැවැත්වීමේ පුරුද්ද ආරම්භ විනැයි කියති. ආහාරපාන නො අඩුව භුක්ති විඳීමෙන් පමණක් මිනිස්සු සෑහීමකට පත් නොවූහ.

නැටුම්, ගැයුම්, වැයුම් ආදියෙහි ද යෙදී ඒ ඒ අවස්ථාවේ උපරිම සතුටින් කල්ගත කළහ. එදා මෙදාතුර සමාජවල උත්සව හා සැමරීම් විවිධ අවස්ථාවල දී පවත්වනු ලැබේ. මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලයට වැඩම කළ අවස්ථාවේ නැකත් කෙළි දඩකෙළි සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සද්ධර්මාලංකාරයේ මෙසේ දැක්වෙයි. “පොසොන් පුර නැකත ලද පසළොස්වක දවස ය. එසේ හෙයින් දෙවන පෑතිස් රජ්ජුරුවෝ පළමු සත් දවසක පටන් මුළු නුවර දෙව්පුරයක් සේ සරසා සැණකෙළි කෙළිනාහු. එදවස නුවර වැසියන් හා මහා ඇමැතියන් නැකැත් කෙළි කෙළනා සේ නියෝග කොට, තුමු සතළිස් දහසක් පුරුෂයන් පිරිවරා මිහින්තලාවට මුව දඩ ගියහ.”

මෙම ලෞකික සරාගික ඇවතුම් පැවතුම් සත්ව ඝාතනය, ඇලීම්, ගැලීම්, මත්වීම්වලින් ඉවත්වෙමින් ආධ්‍යාත්මික ශාන්තිය, සැනසීම, සතුට, සැහැල්ලුව උදාකර ගැනීමට හැකිවන බුදු දහම, මිහිඳු මහ රහත් තෙරණුවෝ සිරිලක රජු බිසව ඇතුළු සැමදෙනට පහදා දුන්හ. එවිට පොදු මහජනතාව ඊට සැදී පැහැදී එක්රොක්වෙමින් උසස් මානසික සුව සහනය ළඟා කර ගැන්මට තම තම නැණ පමණින්, ඇති හැකි පමණින් වැර වැඩූහ.

රාග, ද්වේෂ මෝහ මදමානයන්ගෙන් ඉවත්ව දාන, සීල, භාවනා දී පින් කුසල් වඩන්නට පුරුදු - පුහුණු වන්නට පටන් ගත්හ. එය ආධ්‍යාත්මිකව සංවර වූ දනට පිනට ලැදි ජීවන වෘත්තියකට හුරු කිරීමකි. එනම් ආලෝකයෙන් පිරුණු, අන්ත අත්හල මැදුම් පිළිවෙතෙහි ගමන් කිරීමකි.

මිනිසා අරගල තුනකට මුහුණ දෙතැයි කියැවේ. බර්ට්‍රන්ඩ් රසල් පඬිවරයා කියූවක් ලෙස ප්‍රචළිත වුව ද මේ අදහස ත්‍රිපිටකයෙහි අන්තර්ගත පළමුවැනි අරගලය මිනිසා විසින් කරනු ලබනුයේ සොබාදහමට එරෙහිවය. දෙවැන්න තමන් නොවන අනෙකාට එරෙහිව ය. අනෙක් තුන්වැනි සටන සිදුවනුයේ තමත් තමන් හට එරෙහිව ය.

මිනිසා පි‍්‍රමාටා ලෝකයේ සත්ත්වයෙකි. සංස්කෘති, ශිෂ්ටාචාර හැඩ ගැස්වීමේ, නිර්මාණය කිරීමේ කුසලතාව, නිපුණතාව ඇත්තේ මිනිසාට පමණි. හැඩතල, වර්ණ, ආලෝකය හා අඳුර, නාද මිනිසාට බලපානු ලැබේ. ස්වභාව ධර්මයේ දේශගුණ, කාලගුණ විපරීතයන් හි දී මිනිසා කම්පා වේ. බුදුපාමොක් මහරහත්හු සමාධියට සම වැදී සිටියදීත් සාමාන්‍යයෙනුත් අකම්ප්‍යමාන වෙති. නොසැලෙති. නොවැළපෙති.

මිනිසා හික්මවන්නේ ආගමෙන් නොව ආගම දහම මඟින් උගන්වනු ලබන වටිනා අදහස්, සංකල්ප, සිරිත් විරිත්, ආකල්ප විකල්ප, ආචාර සමාචාර, සංස්කෘතිකමය ඇබ්බැහිකම් පුරුදුවලට පත්වීමෙනැයි මාර්ටින් වික්‍රමසිංහ මානව විද්‍යාව හා සංස්කෘතිය පොතේ ලියා ඇත.

ඇතුළත, පිටත, මැද හැම තැන එළැඹෙන ගැටලු අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය මුළු ත්‍රිපිටකය පුරා කරුණු දක්වා ඇත. කායික, මානසික, ඇද වැටීම්, දුර්වලකම්, ජාති, ජරා, මරණ ව්‍යාධීන්වලට මුහුණපාන මිනිසා ප්‍රඥාවන්තයකු ලෙස ඊට මුහුණදිය යුතු ය.

නානත්තකාය, නානන්ත සංඥා යනු විසින් කියූ පරිදි මිනිස්සු විවිධ වෙති. බුද්ධි හා ඥාන මට්ටමින් විවිධ වෙති. ජීවිතය අනවරතව ගලා බස්නා ගංගාවක් වැනි ය. හැලහැප්පීම් බොහෝ ය. ඒවාට සූර, වීර, ධීර ගුණෙන් අවබෝධයෙන් ම මුහුණදීමේ දී ධර්ම සාකච්ඡා, ධර්ම දේශනාවලට සවන්දීම අවශ්‍ය ය. එවිට එය ධම්ම චික්තිසාවක්, ප්‍රතිකාරයක් වනු ඇත. එවිට නිසරු අදහස් නිසරු ලෙසත් සරු දේ සරු ලෙසත් ගත හැකි ය.

අප මේ රටේ පිරිහීමේ ආගාධයට වැටී ආධ්‍යාත්මික ශාන්තිය නැති කර ගැනීමට ප්‍රධාන හේතු රැසක් ඇත. නාස්ති කිරීම, විනාශ කිරීම, පමණ නොදැන කෑම බීම, මුදල් ආදිය නිකරුණේ වියදම් කිරීම, සොරකම, පගා ගැසීම්, අල්ලස් ගැනීම් ආදී වැරැදි හැසිරීම් අපට විපාක දී ඇත.

එය අදාළ පුද්ගලයාටත්, සමාජයටත් දැඩිව බලපායි. වෙසක්, පොසොන් පුර පොහොය බෞද්ධයන්ට අපරිමිත සැදැහැ ගුණ නුවණ දල්වාගත හැකි මනරම් දින දෙකකි. සිහියෙන් මේ මොහොතේ දිවිගෙවමින්, පින් දහම්හි යෙදී කුසල් වඩමින්, බුදු බණ අසමින් බවුන් වඩමින් ලබාගත හැකි ආධ්‍යාත්මික චිත්ත සමාධිය අපේ ඇඟේ පතේ හිතේ දොස් වේදනා සමනය කරයි. හිත ගත සනහන බුදුගුණ, බණ, කවි, ගී ඇසීම, පමණ දැන ආහාර පාන ගනිමින් සිත සැහැල්ලුවෙන් තබා තමන් පමණක් නොව තවත් අය ලොවේ සිටිතැයි සිතමින් පරාර්ථයෙහි යෙදීමෙන් විශාල සතුටක් සිතෙහි උපදිනු ඇත.

දන්දීමේ දී, අනුන්ගේ දුකට පිහිටවීමේ දී, මෙතින් කුළුණින් සිහි නුවණින් ජීවත්වීමේ දී සිත ගත වෙහෙස නිවේ.

ආසියාවේ ඇතැම් බෞද්ධ ආරාමවලට ඇතුළු වීමේදී විශාල ගල් පාත්‍රයක් ජලයෙන් පුරවා තබා ඇත. කුඩා පාත්‍ර ද ඒ අසල තිබේ. අපට කියනුයේ පුංචි පාත්‍ර, ජලයෙන් පුරවා දිය නො විසිරෙන ලෙස පරිස්සමින් ගෙන ගොස් ඊට මඳක් දුරින් ඇති තවත් විශාල පාත්‍රයකට දමන ලෙස ය. අපේ සංවරකම සන්සුන් ඉඳුරන් ඇති බව අපට ම මැන ගත හැකි ය. බොහෝ විට අපට මෙය කළ නොහැකි වන්නේ අප කලබල නිසා ය. එවිට ආධ්‍යාත්මික ශාන්තිය අප තුළ නොමැති බව සිහිපත් කරගත හැකි ය.

මෙරටට බුදු සමය ලැබීමෙන් අපට ලැබුණු වාසනාව අහිමි කරගත යුතු නැත. ධාර්මික ජීවිතය ලොව දිනවයි.

මනුෂ්‍ය ජීවිතයේ දොරටු හතරක් තිබේ. ඊට ද්වාරකර්ම හෝ සංක්‍රාන්තික අවස්ථා යැයි කියති. උපත, වැඩිවිය පැමිණීම, විවාහය සහ මරණයයි. මේ දොරටු හතරේ දී ජන සමාජයන් හි නොයෙක් ඇවතුම් පැවතුම්, ශාන්තිකර්ම, යාතු කර්ම පැවැත්වේ.

සෙත ශාන්තිය, ආශිර්වාදය පතා කරන හුදු අභිචාර ඝනයෙහිලා මේවා වර්ග කළ හැකි ය. ඇතැම් විට අණවින, හූනියම්, කොඩිවිණ ඇස්වහ කටවහ හෝවහ යනු ජන විශ්වාසයේ පවතින අයහපත උදෙසා පමුණුවන කඵ අභිචාර ආදියයි.

ථේරවාදී බුදුසමය ආමිසයටත් වඩා පටිපදාවත්, විනයත් ගරු කොට සලකා කටයුතු කරන්නකි. බොල් නිසරු මිථ්‍යාවන්හි ආකූල ව්‍යාකූල වී නිකරුණේ මුදල්, කාලය, ශ්‍රමය අපතේ නොහැර අප්‍රමාදීව ක්‍රියා කිරීමට බුදු දහම මඟ පෙන්වයි. අරපරිස්සම, චාම් සරල ජීවන රටාව අනුගමනය කළ යුතු අපි අපරික්ෂාකාරී ලෙස නොමඟ ගොස් අයාලේ සහ මංමුළාවේ යන හැටි බොහෝ විට නිරීක්ෂණය වෙයි. විමාන වත්ථු, පේත වත්ථු කියා පාමින් මිහිඳු මාහිමියෝ චුල්ලහත්ථි පදෝපම සූත්‍රය සිරිලක දේශනා කළේ පියවරෙන් පියවර ගුණ නුවණ අවදි කරමිනි. නුවණට පෙර ගුණය පිහිටුවා තිබිය යුතු ය.

අලගියවන්න මුකවෙටිතුමා ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු යනුවෙන් කවි ලියුවේ මෙබඳු කරුණු ස්ඵුට කිරීම උදෙසා ය.

ජීවිතයේ තල හතරක් ද ඇති බව පැවසේ. ඉහළම තලය ආධ්‍යාත්මික තලයයි. උසස් මනසක් ඇති කර ගැනීමයි. දෙවැන්න බුද්ධිමය ස්තරයයි. තුන්වැන්න භාවමය, හැඟීම් සම්බන්ධ ස්තරයයි. මේ සියල්ල දරා උහුලා සිටිනුයේ ශරීරයයි. මේ තල හතර සමබර වන්නේ නම් පුද්ගලයා සතුටින් නිරෝගිව සිටිය යුතුයැයි දැඩි විශ්වාසයක් පවතී.

අප ජීවත්වන සමූහය, පවුල, ප්‍රජාව, සමාජ සංස්ථාව මත සමාජය එකිනෙකා කෙරෙහි පරෝපකාරයෙන් සහජීවනයෙන් පැවතිය යුතු වෙයි. ලොව පවතිනුයේ එබඳු අතහිත දීම් ස්වේච්ඡාවෙන් කරන කටයුතු මත ය. පවුලක පිරිහීම හෝ දියුණුව ඇතිවන කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

මෙහිදී කුල සූත්‍රය සිහිපත් වෙයි. කුලය යනු පවුලකි. පවුලේ මිනිසුන්ගේ පිරිහීම ඇතිවන කරුණු හතරකි. එබඳු පවුලේ මිනිසුන් නැතිවන, වැනසෙන දෑ ගැන සොයා නොබලනු ලැබේ. පවුලේ මිනිසුන් පිළිසකර කළ යුතු දෑ ඇතිනම් එය නොකර සිටීම පිරිහීමට හේතුවෙයි. පවුලක මිනිසුන් ප්‍රමාණය ඉක්මවා ආහාර පාන ගන්නේ නම් සිය පරිහානිය තමා ම ළඟා කරගන්නා බව තුන්වැනි කරුණ ලෙස දේශනා කර ඇත. සිව්වන කරුණ නම් පවුලේ හොඳම සැදැහැ ගුණ පිරී, අරපිරිමැස්ම, සංයමය ඇති නුවණක්කාර පුද්ගලයා භාණ්ඩාගාරය, මුදල් පරිපාලනය බාර නොගැනීමයි. ආදායමට වඩා වියදම වැඩි වී ණය බරින් මිරිකී එම පවුල සුවසෙත ඉසුරුමත් බවින් පිරිහී ජීවිතය ගනඳුරට වැටෙනු නියත බව මින් කියැවේ.

අප රටට මතු නොව ලොව සෑම දේශයකට ම මේ න්‍යාය බලපානු ඇත.

ඉහත කරුණු කියූ ලෙස එහි අනිත් පැත්ත කල්පනා කර ක්‍රියාවට නැංවූ විට එම පවුල දියුණුව කරා යන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරති.