Print this Article


ලාංකික ථෙරවාද සම්ප්‍රදායේ පදනම චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි

ලාංකික ථෙරවාද සම්ප්‍රදායේ පදනම චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි

නිර්මල ථෙරවාද බුදු දහම ලක් දිවට නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබුවේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේය. වංශකථා සාධක අනුව අනුබුදු මහින්ද මහාරහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිසෙහි ලංකාගමනය සිදු වූයේ පූර්ව සැළසුමකට අනුවය.

දීපවංශය හා මහාවංශය වාර්තා කරන පරිදි ලක්දිව වැඩම කළ අනුබුදු මහින්ද හිමියෝ බුදුදහම පිළිබඳ මෙතෙක් ගැඹුරු අවබෝධයක් නොතිබූ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිසට බුදුරදුන්ගේ ධර්මය මුල්වරට හඳුන්වාදීම සඳහා සුදුසුම සූත්‍ර දේශනාව වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තෝරා ගත්හ.

බුදු දහම පිළිබඳ අවබෝධයක් නොමැති ආධුනිකයකුට ඒ ගැන මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා එම සූත්‍රය බෙහෙවින් ප්‍රමාණවත් වේ. එහි සමස්ථ අන්තර්ගතය අනුව එමඟින් ත්‍රිවිධ රත්නය හා එහි අනන්‍යතාව, බෞද්ධ විමුක්ති මාර්ගය පිළිබඳ ගැඹුරු වැටහීමක් ලබාගත හැකිය. මෙම සූත්‍රයට සවන් යොමු කළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිසට බුදු දහම සහ භික්‍ෂූන් වහන්සේ පිළිබඳ ලබා ගත් මූලික අවබෝධය මිහිඳු හිමියන් හා ඉදිරි කටයුතුවල දී පහසුවක් වූ බව ඉන් අනතුරව අනුරාධපුර මහා විහාරය කේන්ද්‍ර කරගෙන සිදූ වූ ආගමික හා ශාසනික සේවා මඟින් ප්‍රකට වේ.

අනුබුදු මිහිඳු හිමියන්ගේ ප්‍රථම ලාංකික ධර්ම දේශනය වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙහි අන්තර්ගතය වර්තමාන ලංකාවට බෙහෙවින් වැදගත් වන්නේ උන්වහන්සේ මෙහි පිහිටුවන ලද ථේරවාද සම්බුද්ධ ශාසනය සියවස් ගණනක් තිස්සේ පරිවර්තනය වෙමින් වර්තමාන ස්වරූපය දක්වා විකාශනය වී ඇති හෙයිනි. ආදිම බුද්ධ දේශනා ඇතුළත් මජ්ක්‍ධිම නිකායට අයත් සූත්‍ර දේශනාවක් වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත ය. පළමු කොටස පිලෝතික පරිබ්‍රාජකයා හා ජාණුස්සෝණි බ්‍රාහ්මණයා අතර ඇතිවන සංවාදයකි. අනතුරුව බුදුරජාණන් වහන්සේ සහ ජාණුස්සෝණි බ්‍රාහ්මණයා අතර ඇතිවන සංවාදයකින් දෙවන කොටස සමන්විත වන අතර එයින් බුදුරදුන්ගේ අනන්‍යතාව හා බෞද්ධ විමුක්ති මාර්ගය සැකෙවින් විස්තර වේ. සුත්‍රයෙහි සමස්ත අන්තර්ගතය මෙවැනි කුඩා ලිපියකින් විස්තර කළ නොහැකි අතර මෙහි ඉදිරිපත් කෙරෙන කරුණු චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙහි අතිශය සංක්‍ෂිප්ත විවරණයකි.

දිනක් ජාණුස්සෝණී බ්‍රාහ්මණයා තම අශ්ව රථයෙන් සැවැත් නුවර නගරය මැදින් ගමන් කරන විට පිලෝතික නම් තම යහලුවා දැක ආගිය තොරතුරු විමසීය. එහිදී පිලෝතික තමන් බුදුරජාණන් වහන්සේ හමුවීමට ගොස් පැමිණෙන බව ප්‍රකාශ කළේ ය, “ඔබ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාව හා පාණ්ඩිත්‍ය ගැන මොකද හිතන්නේ? ඔබ පිළිගන්නවාද උන්වහන්සේ පණ්ඩිතයෙක් කියා” යනුවෙන් ජාණුස්සෝණී බ්‍රාහ්මණයා තම හිතමිතුරු පිලෝතිකගෙන් විමසීය. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා මහිමය කිව හැකි වන්නේ එවැනි සම්බුදුවරයකුට පමණක් මිස වෙනත් අයකුට නොවන බව පිලෝතික පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේ ය.

ඔබ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරමින් කථා කරන්නේ දැයි විමසූ විට පිලෝතික ප්‍රකාශ කළේ තමන් එසේ නොකරන බවත්, උන්වහන්සේ සැබැවින්ම දෙවි මිනිසුන් අතර ප්‍රසස්ථ ගුණයෙන් යුක්ත බවත්, සියලු දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ කෙනෙකු බවත් ය.

එයින් සෑහීමට නොපත් ජාණුස්සෝණි බ්‍රාහ්මණයා කවර හේතුවක් නිසා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රශංසා මුඛයෙන් කථා කරන්නේ දැයි විමසූ විට එයට පිළිවදන් දෙමින් පිලෝතික බුදුරදුන් කෙරෙහි තම ප්‍රසාදය ඇතිවීමට බලපෑ හේතු විස්තර කළේ ය.

වනයෙහි ඇතුන් සොයා යන්නකු පිළිවෙළින් ඉදිරියට ගොස් මහා ඇතු සොයා ගන්නාක් මෙන් තමා ද උන්වහන්සේ වෙත පවතින ඤාණ පද හතරක් දුටු බවත් ඒ අනුව බ්‍රාහ්මණ පණ්ඩිතයන්, ක්‍ෂත්‍රිය පණ්ඩිතයන්, ශ්‍රමණ පණ්ඩිතයන්, ගෘහපති පණ්ඩිතයන් බුදුරදුන් හා වාද කිරීමට පැමිණ පරාජයට පත්ව පසුව උන්වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වන ආකාරය දැකීමෙන් තමා ඒ බුදුරදුන් පිළිබඳ නිගමනයකට එළඹී බවත් පිලෝතික පැවසීය.

මෙය ඇසූ ජාණුස්සෝණි තම රථයෙන් බැස බුදුරදුන් වැඩ සිටි දිශාවට ඇඳලි බැඳ තුන්වරක් නමස්කාර කළේ ය. මෙම අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළ නමස්කාර පාඨය එදා සිට අද දක්වාම සියලුම බෞද්ධයන් විසින් භාවිතයට ගනු ලැබේ. පසු දිනෙක බුදුරදුන් හමු වූ ජාණුස්සෝණි පිලෝතික හා කළ සාකච්ඡාව පිළිබඳ උන්වහන්සේට දැන්වූ අතර බුදුරජාණන් වහන්සේ පිලෝතික විසින් ඉදිරිපත් කළ ඤාණ පද හතරෙහි පවතින අසම්පූර්ණ බව පෙන්වා දෙමින්, තථාගතයන් වහන්සේ පිළිබඳ නිෂ්ඨාවට පත්වන අයුරු ඇත් පද උපමාව ඇසුරින් තවදුරටත් පැහැදිලි කළ සේක.

චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙහි එන මෙම පළමු කොටස කීප ආකාරයකින් ම වැදගත් ය. ඇත්පද උපමාවෙන් බුදු දහමට ආවේණික වූ බෞද්ධ පර්යේෂණ ක්‍රමවේදය ප්‍රකට වේ. එය නූතන විද්‍යාවේ එන පර්යේෂණ ක්‍රමවේදය සමඟ ද ගැළපේ.

නුවණැති පුද්ගලයකු තෙරුවන් හඳුනාගත යුත්තේ බාහිර හෝ මතුපිටින් යමක් දැකීමෙන් නොව ධර්මය අත්දැකීමක් බවට පත්කර ගැනීමෙන් ය. මතුපිට කරුණු පමණක් සලකා බලා නිගමනයකට එළඹී පිලෝතිකගේ දැක්ම අසම්පූර්ණ යැයි බුදුරදුන් වදාළේ ඒ හෙයිනි. වර්තමානයේ වුව ද බොහෝ දෙනකු තෙරුවන් ගැන ප්‍රසාදයක් ඇති කර ගන්නේ මතු පිටින් යමක් දැකීමෙනි. මෙය සැබෑ ප්‍රඥාවන්තයකුගේ ස්වභාවය නොවේ. වංශකථාව අනුව මිහිඳු හිමියන්ගේ බුද්ධිපරීක්‍ෂණයට භාජනය වූ දේවානම් පියතිස්ස රජුට මෙම සූත්‍ර දේශනාවෙන් අවධාරණය කළේ රජතුමා වැනි බුද්ධිමත් පුද්ගලයකු මතුපිටින් පමණක් කරුණු සලකා බලා නිගමනවලට එළඹීමේ නොවැදගත්කම යි.

චුල්ලහත්ථිපදෝපම සුත්‍රයේ දෙවන කොටසින් බෞද්ධ විමුක්ති මාර්ගය සැකෙවින් විවරණය කෙරේ. බුදුරදුන්ගේ දහමට සවන් යොමුකරන ශ්‍රාවකයා ඒ පිළිබඳ ඇති කර ගන්නා ශ්‍රද්ධාව හා විශ්වාසය මත පදනම්ව ඉදිරියට ගොස් විමුක්තිය සාක්‍ෂාත් කර ගන්නා ආකාරය පියවර එකොළහක් යටතේ විස්තර කොට ඇත.

මේ එකිනෙකක් පිළිබඳ විවරණය කිරීමට මෙහි අවකාශ නොමැත. බුදුරදුන්ගේ සමස්ත දේශනය අවසානයේ ජාණුස්සෝණි බ්‍රාහ්මණයා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත්වේ.

සමස්තයක් ලෙස ගත්විට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය හා සම්බන්ධ කරුණු කොටස් හතක් යටතේ සම්පිණ්ඩනය කළ හැකි ය. පළමු වැන්නට අනුව බාහිර කරුණු පමණක් පදනම් කරගෙන යමක් පිළිබඳ නිගමනයකට නොඑළඹීමේ වැදගත්කම අවධාරණය වේ. නිදහස් චින්තනයට හා විචාර බුද්ධියට මුල්තැනක් ලබා දෙන බෞද්ධ චින්තනය විවෘත වූවකි යන්න එයින් ගම්‍ය වේ.

නිවැරැදි බෞද්ධ සම්ප්‍රදාය මෙම සූත්‍රයෙන් නිරූපණය වීම දෙවැන්නයි. ඒ අනුව ජාණුස්සෝණි ප්‍රකාශ කළ නමස්කාර පාඨය වර්තමානයේ ද ඒ ආකාරයෙන් භාවිතයට ගැනේ. තුන්වැන්නට අනුව ශ්‍රද්ධාවෙන් හා ධර්මාවබෝධය පදනම් කරගෙන ලබන පැවිද්ද අර්ථවත් කෙරෙන පැවිදි ප්‍රතිපදාව පිළිබඳ පූර්ණ විවරණයක් ඉදිරිපත් වේ. පරමාදර්ශී පැවිද්ද හා එහි අරමුණු කවරේද යන්න එයින් ගම්‍ය වේ.

කෙනෙකුගේ තෙරුවන් සරණ යාම පරිපූර්ණත්වයට පත්වන්නේ විමුක්තිය සාධනය කිරීමෙන් බව සිව්වැන්නෙන් ප්‍රකට වේ. ඒ අනුව ආර්ය මාර්ගයේ පරිසමාප්තියට පත් පුද්ගලයාට පමණි තෙරුවන් පිළිබඳ නිෂ්ඨාවට පත් විය හැකි වන්නේ. පස්වැන්නට අනුව විමුක්තිය සාධනය සඳහා ශීලයත්, ඉන්ද්‍රිය සංවරයත්, මනා සිහි නුවණින් කටයුතු කිරීමත් අත්‍යවශ්‍ය වේ. ආධ්‍යාත්මික විමුක්තිය හා සම්බන්ධ අතීන්ද්‍රිය ඤාණයේ විවිධ අවස්ථාවලට පත්වන ආකාරයත් එය ආසවක්ඛ ඤාණයෙන් පරිසමාප්තියට පත්වන වන අයුරුත් විස්තර කිරීම සය වැන්නට ඇතුළත් කළ හැකි ය. අවසාන සත්වන කොටස ථෙරවාද සම්බුදු දහම ලක්දිවට හඳුන්වාදීම හා සම්බන්ධ කළ හැකිය. එනම් අනුබුදු මිහිඳු හිමියන් විසින් දේවානම් පියතිස්ස රජතුමාට කළ මෙම සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ කෙබඳුද? උන්වහන්සේගේ ආධ්‍යාත්මික ඤාණය කුමක් ද? තථාගතයන් වහන්සේ වදාළ විමුක්ති මාර්ගය කුමක්ද? බෞද්ධ සම්ප්‍රදාය කුමක්ද? යන කරුණු මැනවින් පැහැදිලි කෙරෙන හෙයින් රජතුමා ඇතුලු පිරිසට නිර්මල ථෙරවාද බුදුදහම හා එහි අනන්‍යතාව පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලැබෙන්නට ඇත.