Print this Article


කොළඹ මෝදර ශ්‍රී බෝධිසමුද්‍රාරාම විහාරස්ථානය

කොළඹ මෝදර ශ්‍රී බෝධිසමුද්‍රාරාම විහාරස්ථානය

කොළඹ මට්ටක්කුලිය, මෝදර ග්‍රාමයේ පිහිටා ඇති ශ්‍රී බෝධිසමුද්‍රාරාමය (වරායේ පන්සල) වර්ෂ 1962දී අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගත් බෝ පැළක්, හිටපු යුධ හමුදාපති සේපාල ආටිගල මැතිතුමාගේ සුරතින් රෝපණය කිරිමෙන් ආරම්භ කර ඇත. අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායට අයත් මෙම විහාරස්ථානයේ ආරම්භක විහාරාධිපති මාපලානේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ ය. මාපලානේ ධම්මජෝති නා හිමියන්ගේ ශිෂ්‍යවරයෙකි.

බහු ආගමිකයින් සහ බහුජාතීන් ජිවත්වන සමාජ පරිසරයක පිහිටා ඇති ශ්‍රී බෝධිසමුද්‍රාරාමය ආරම්භ කිරීමේ දී පිලිප් ගුණවර්ධන මැතිතුමා, ඒ.වී. සුගතදාස මැතිතුමා, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා, එම්. එස්. අමරසිරි මැතිතුමා යන මැතිඇමතිවරුන්ගේ සහයෝගය ලැබී ඇත.


විහාරාධිපති ශාස්ත්‍රපති
තුඹේ උපනන්ද හිමි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ “ද සේරම් දොරටුව” අසල පිහිටිම නිසා මෙම විහාරස්ථානය ආරම්භයේ සිටම බොහෝ දෙනෙක් හඳුන්වන්නේ “ වරායේ පන්සල” යන නමිනි. වරායේ කුදු මහත් ආගමික කටයුතු සිදු කරන ලද්දේ ශ්‍රී බෝධිසමුද්‍රාරාමයේ මුලිකත්වයෙනි. එම නිසා මාපලානේ ආනන්ද හිමියන් හඳුන්වන ලද්දේ “ වරායේ හාමුදුරුවෝ” ලෙසිනි.

ආරම්භක විහාරධිපති මාපලානේ ආනන්ද හිමියන්ගේ මුලිකත්වයෙන් මෙම විහාරස්ථානයට අනුබද්ධ ව බ්ලුමැන්ඩල් වරාය ප්‍රජා ශාලාවේ පවත්වා ගෙන එනු ලබන “ධර්ම ජයන්ති පෙර පාසල’‘ විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කුඩා දුදරුවන්ගේ දිවි මඟ සරු කරන තොනැන්නකි.

2012 වර්ෂයේ ආරම්භක විහාරාධිපති, මාපලානේ ආනන්ද හිමියෝ අපවත් වීම බලවත් අඩුපාඩුවක් විය. උන් වහන්සේගේ ඡ්‍යොෂ්ඨ ශිෂ්‍යවර ගාල්ල දඩල්ල මහමුදලින්දාරාමයේ වැඩ සිටි, එවක ගාල්ල ගල්වඩුගොඩ ශ්‍රී විඪාරාජ මහ පිරිවෙනේ ආචාර්ය, ශාස්ත්‍රපති තුඹේ උපනන්ද ස්වාමීන් වහන්සේ ඉන් අනතුරුව විහාරාධිපති ධුරයට පත් වූහ.

අටවිසි බුද්ධ මන්දිරය සහිත බෝධි ප්‍රාකාරය සහ අභිනව දෙමහල් ධර්ම මන්දිරය වත්මන් විහාරාධිපති තුඹේ උපනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදි විය.

බෝධීන් වහන්සේ, බුද්ධ මන්දිරය, දේව මන්දිර ආදි විහාරාංගවලින් අලංකෘත වු ශ්‍රී බෝධිසමුද්‍රාරාම විහාරස්ථානයට බලවත් අඩුවක් ලෙස පැවැතියේ ත්‍රිවිධ චෛත්‍ය අතර ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් චෛත්‍යරාජයාණන් වහන්සේ නමකි. ඒ අනුව 2023 ජනවාරි මස 26වැනි දින සුබ මොහොතින් දෙමහල් ධර්ම මන්දිරයේ ඉහළ මාලයේ චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් ඉදි කිරීම සඳහා මුල්ගල් තබන ලද්දේ බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය ආදි විහාර ගණයේ ආධිපත්‍ය උසුලනු ලබන, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ධූරීන, බොරැල්ලේ අතුල අනුනාහිමියන්ගේ සුරතින් ගිහිපැවිදි සම්භානීය පිරිසකගේ සහභාගීත්වයෙනි.

එලෙස ඉදි කරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතු නිධනෝත්සවය සහ කොත් වහන්සේ පැළඳවීම මේ මස 08වැනි දින පෙරවරු 8.00ට සිදු කෙරේ.