නීලගිරි සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාවට
හෝමාගම
"ධර්ම රශ්මි" පොසොන් කලාපයට එන්න
තථාගත අමා මෑණි බුදුපියාණන් වහන්සේ සකල ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් පන්සාළිස් වසක්
පුරා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අනුබුදු මිහිඳු මා හිමියන් විසින්
ලක්දිවට රැගෙන එනු ලැබුවේ අදවන් පින්බර පොසොන් පෝ දාක ය.
නීලගිරි සෑ රදුන් සංරක්ෂණය කිරීම ඇරැඹීමෙන් පසු |
ඒ අරුත්බර ජීවන දර්ශනය හදවතත්, බුද්ධියත් එකට යා කරන්නක් විය. ඒ උතුම් දර්ශනයෙන්
සුපෝෂිත වූ සිත් ඇති අපේ මුතුන් මිත්තෝ ජාතියට දායාද කළ, ලොවක් පුදුම කරවන අප්‍රමාණ
ආගමික නිර්මාණ අදටත් බොදු හදවත් නිවා සනසමින් දේශයේ උරුමය, අභිමානය නිහඬව ම
සන්නිවේදනය කරයි. බොදු දනන්ගේ පූජෝපහාරය වෙනුවෙන් ධාතුන් වහන්සේ, උතුම් මහ රහත්
ධාතුන් වහන්සේ වඩා හිඳුවමින් නිමැවුණ මහා දාගැබ් වහන්සේ ඒ වටිනාකම් අතර මුල්තැනට
පැමිණේ.
ඒ අතරින් ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු නීලගිරි දාගැබ් වහන්සේ බොදු දනෝ
ගෞරවයෙන් සිහිපත් කරති.
අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති නීලගිරි
දාගැබ් වහන්සේ අයත් බිම රෝහණ රාජධානියේ ප්‍රධාන පුදබිමක් වන්නට ඇතැයි සැලකේ.
මොණරාගල සිට සියඹලාණ්ඩුවට පැමිණ, එහි සිට පොතුවිල් මාර්ගයේ ගොස් මහකළුගොල්ල
හුළංනුගේද පසුකර ගිය විට ලාහුගල මුණ ගැසේ.
පාෂාණ නිර්මාණ හා ලෝහමය කරඬුවක් |
ලාහුගල ප්‍රධාන මාර්ගයේ 10 කණුවෙන් හැරී කොන්ක්‍රීට් මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ
දුරින් හමුවන හැඩඔය පසුකර මඳක් ඉදිරියට ගිය තැන නීලගිරි පුරාවිද්‍යා බෞද්ධ පුදබිමට
ළඟා විය හැකි ය.
නීලගිරි දාගැබ පළමුවරට ගවේෂණය කරන්නේ 1928 වසරේ, හිටපු පුරාවිද්‍යා කොමසාරිස්
ඒ.එම්.සෝකාට් මහතා විසිනි. ඒ අනුව දිගුකලක් කැණීම් හා සංරක්ෂණ කටයුතු සිදු වුණි.
2011 වසරේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රමුඛ
පර්යේෂණ කණ්ඩායමක් නීලගිරි පුදබිමේ පුරාවිද්‍යා ගවේෂණයක් කළහ. ඉන්පසු ආචාර්ය සෙනරත්
දිසානායක මහතාගේ උපදෙස් මත 2012 වසරේ දී නැවත නීලගිරි දාගැබේ විධිමත් පුරාවිද්‍යා
කැණීම් ඇරඹුණි. එවකට සෙනරත් දිසානායක මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු
කළේ ය. එහිදී කළ කැණීම්වලින් ලෝහ කරඬු, පලිඟු කරඬු, ගල් කරඬු, මැටි කරඬු, සහ වීදුරු
කරඬු හමුවී ඇත. දාගැබ් ගර්භයේ ගරා වැටුණු කොටස තුළ තිබී රන් කරඬුවක් හමුවන්නේ 2011
දී කළ කැණීමේ දී ය. එය හමුවන්නේ ගල්කරඬුව තුළ මැටි කරඬුවක් ද, මැටි කරඬුව තුළ රන්
කරඬුවක් ද ලෙසිනි. එම රන්කරඬුව තුළ රන් මංජුසාවක් විය. එය සුවිශේෂී පූජනීය වස්තුවක්
සේ සලකන්නට යෙදුණේ රන් කරඬුව පතුලේ රේඛාමය වශයෙන් සටහන් කර තිබූ නෙළුම් මල් සංකේතය
හේතුවෙනි.
මෙහිදී සොයා ගත් ශෛලමය කරඬුව තුළ බහා තිබූ කරඬුව රන්පත්‍රවලින් නිමැවී තිබුණි. එය
පියන සහිත මංජුසාවක් වූ අතර, කැටයම්වලින් අලංකාර කර තිබුණි. ඒ තුළ තිබී කුඩා
ප්‍රමාණයේ රන් පැහැති කොපු තුනක් හමුවී ඇති අතර, ඒවා සිලින්ඩරාකාර හැඩයෙන් යුතු ය.
එවක පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වූ සෙනරත් දිසානායක මහතාගේ අධීක්ෂණයෙන් හා උපදෙස්
මත එම රන් වර්ණ කොපු වැඩි දුර විමර්ශනයට ලක් කෙරිණි, ධාතුන් වහන්සේ එහි තැන්පත් කර
ඇති බව සොයාගත්තේ ඒ අනුව ය. ඊට පසු මෙම ධාතුන් වහන්සේ සහිත කරඬුව ලක්දිව පුරා විවිධ
ස්ථානවල ප්‍රදර්ශනය කෙරුණේ බොදු දනන් සිත් පහන් කරවමිනි.
නීලගිරි කැණීම්වල දී හමුවූ ගල් කරඬුව තුළ මැටි මංජුසාව තුළින්
පෙනෙන රන් පැහැ කරඬුව හා ගල් කරඬුව තුළ තිබූ රන් පැහැ කරඬුව සහ
රන් පැහැති මංජුසාව |
නීලගිරි පුදබිමේ කැණීම් සිදු කිරීමේ දී තවත් වටිනා පුරාවස්තු හමු වූ බව පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (කැණීම්) සමින්ද පෝරඹගේ මහතා පවසා තිබේ. ඒ අනුව
ප්‍රඥා පාරමිතා ලියූ ජේතවන රන්පත් ඉරු හා ස්වර්ණඵලක පිණ්ඩ ද වේ.
දාගැබ් වහන්සේ ගරා වැටී තිබුණ ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි සංරක්ෂණ කටයුතු
වැඩි අවධානයකින් සිදු කිරීම බොදු ජනතාව ලද භාග්‍යයකි. ගරා වැටුණු එම දාගැබේ උස
මීටර් 21ක් වන අතර, විශ්කම්භය මීටර් 60.5කි.
සිරිපතුල් ගල්, භික්ෂු විනය කර්ම කළ පෝය ගෙය, ගොඩනැඟිලි පාදම්, ස්තූප මලුවේ තිබී
ඡත්‍ර 10කට ආසන්න ප්‍රමාණයක්, ඡත්‍ර දණ්ඩ 2ක්, සුපගලක්, සිරිපතුල් ගල් 44ක් හා ආසන
ගල් 15ක් ද හමු වී ඇත.
නීලගිරි සෑරදුන් වහන්සේ සංරක්ෂණයට පෙර |
මෙරට ස්තූප කැණීමකින් හමුවූ වැඩිම කරඬු සංඛ්‍යාව හමු වී තිබෙන්නේ නීලගිරි කැණීම්වල
දී ය. ඒ අනුව රන් කරඬු 39ක්, පළිඟු කරඬු 245ක්, වීදුරු කරඬු 12ක් හා රිදී කරඬු 4ක්
ලෙස ධාතු කරඬු 300ක් හමු වී ඇත. ඒවායෙහි නිර්මාණ ලක්ෂණවලින් පැහැදිලි වන්නේ මෙම
සියලු කරඬු ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සඳහා නිර්මාණය කර ඇති බව ය.
මීට අමතරව තවත් සුවිශේෂී අංශ රාශියක් මෙම කැණීම්වල දී සොයා ගෙන ඇත.
දාගැබ් වහන්සේගේ සිට කිලෝමීටර් 3ක් නුදුරින් නීලගිරි කන්දේ ලෙන් සංකීර්ණයක් ද
හඳුනාගෙන තිබේ. භාතිකාභයතිස්ස (ක්‍රි.පූ. 01 සියවසේ)– රජුගේ බිසව වූ චූලසීවලී දේවිය
විසින් නීලගිරි සෑයට කළ පූජාවක් ගැන සෙල් ලිපියක් ද නුදුරින් හමු වී ඇත.
මේ ආකාරයට විවිධ රජ දවස මෙම සෑ රදුන් වහන්සේට කළ පුද පූජාවන් හි විස්තර හමුවේ. මෙම
ස්තූපය වල් බිහිවී ගරාවැටීමට ලක්ව ඇත්තේ රෝහණ රාජධානිය බිඳවැටීමෙන් අනතුරුව ය. ඒ
රාජ අනුග්‍රහය නොමැතිවීම හා ප්‍රදේශයේ ජන ශූන්‍ය වීම නිසා ය.
මේ වන විට නීලගිරි සංරක්ෂණ කටයුතු සිදු කෙරේ. එහි තිබූ ධාතුන් වහන්සේ ආරක්ෂිතව
තැන්පත් කර ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ය. එම ධාතුන් වහන්සේ බොදු ජන වන්දනය
පිණිස වැඩම කරවන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇති ස්ථානවලට පමණි. ඒ කැබිනට් මණ්ඩලයේ තීරණයකට
අනුව ය.
ඒ අනුව නීලගිරි සර්වඥ ධාතුන් වහන්සේ නැවත වැඳ පුදා ගැනීමේ මහා පුණ්‍යවන්ත අවස්ථාවක්
අද පොසොන් පුන් පෝ දින (03) උදාවනු ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිට රාජ්‍ය
ගෞරව හා ආරක්ෂාව සහිතව වැඩම කරනු ලබන නීලගිරි සර්වඥ ධාතුන් වහන්සේ හෝමාගම දක්වා
වැඩම වනු ලැබේ. එතැන් සිට ශ්‍රී දළදා මාලිගාවේ හස්තියකු මතින් බුද්ධ රශ්මි පොසොන්
කලාපය දක්වා වැඩම කෙරේ.
මේ පින්බර කාර්යයෙහි ප්‍රධානත්වය උසුලන්නේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය
ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් ය. ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකයන්
ඒ සඳහා සහාය ලබා දේ.
මෙම මස 5 වැනි දා දක්වා නීලගිරි සර්වඥ ධාතුන් වහ්නසේ මහජන වන්දනය පිණිස පොසොන්
කලාපයේ වැඩ සිටිති. අනතුරුව 5 වැනි දා ගෞරව පූර්වකව, ආරක්ෂා සහිතව සර්වඥ ධාතුන්
වහන්සේ යළිත් වැඩමවීමට නියමිත ය.
රමණී සුබසිංහ
|