Print this Article


අනුරාධපුර සාහිත්‍යය -මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය

අනුරාධපුර සාහිත්‍යය -මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය

මහාචාර්ය අගලකඩ සිරිසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායකාදී කාරක මහා සංඝසභාව මගින් සාහිත්‍ය ප්‍රවචන කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත යන ගෞරව නාමාධෙය සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් සම්පූජිත වූහ. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදාන මංගල සම්මත අවස්ථාවෙහි දී අභිනව නාහිමියන් දශක තුනකට වැඩි කාලයක් සිදු කළ මෙහෙවරට උපහාර පිණිස අනුරාධපුර සාහිත්‍යය නමින් අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහයක් එළි දක්වන ලදී.

අනුරාධපුර යුගය ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය වශයෙන් හැඳීන්වීම වරදක් නැත. මහ සමුදුර පරයන වාරි නිර්මාණ, නුඹගැබ සිඹින මහා දාගැබ්, සීගිරිය වැනි විස්මිත කලාගාර මෙම යුගයේ විශිෂ්ටත්වය කියාපාන නිදසුන් අතර වෙයි. සුවිසල් රජමාලිගා, වෙළඳ සංකීර්ණවල නටබුන් ශේෂ වී නොතිබුණ ද, දොළොස් දහසක් මහ සඟන වැඩ සිටි තිස්සමහාරාමය හා සිතුල්පව්ව වැනි මහා විහාරස්ථාන තුන් දහසක් මහ සඟනට දන් සැපයූ මහාපාලි දාන ශාලාව වැනි ශේෂ වී ඇති නටබුන්වලට අනුව මහේශාඛ්‍ය ලෞකික ජීවිත ගත කිරීමට වඩා එකල ජනතාව ආගමට හා සාහිත්‍යයට නැඹුරු වෙමින් ආධ්‍යාත්මික දියුණුව අපේක්ෂා කළ බව පෙනේ. හෙළටුවා සොයා බුද්ධඝෝෂ හිමියන් ලංකාවට වැඩියේ එකල ලක්දිව ත්‍රිපිටක සාහිත්‍යයේ දියුණුව දේශ දේශාන්තරයේ පැතිරී ගොස් තිබූ නිසාවෙනි. තම සිතැඟි සීගිරි කැටපත් පවුරේ ලියා තැබීමට තරම් දැනුවත්භාවයක් එකල රටවාසීන්ට පැවතුණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ තිස් වසරක සේවය සපුරා සිටින අගලකඩ සිරිසුමන නාහිමියන්ගේ ශාස්ත්‍රීය මෙහෙවර අගයමින් මහාචාර්ය කුසුමා කරුණාරත්න මැතිණිය රචනා කළ ලිපියකින් හා නාහිමියන්ගේ දිවි මං සලකුණුවලින් අනුරාධපුර සාහිත්‍යය කෘතියේ පළමු කොටස සමන්විත වෙයි. කෘතියේ දෙවන කොටස වෙන් වන්නේ ශාස්ත්‍රීය සංහිතාවට ය. අනුරාධපුර යුගයේ ඉතිහාසය, සාහිත්‍යයේ සමාජ හා දේශපාලන පසුබිම, සෙල්ලිපි, හෙළු සකු මගධ සාහිත්‍යය, භාධා ලක්ෂණ, පඬිවරු, තත්කාලීන සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ, කලාශිල්ප ආදී විෂයයන් ඔස්සේ රචනා වූ ශාස්ත්‍රීය ලිපි විසි හතක් මෙහි අන්තර්ගත වෙයි.

මේ අතුරින් ඇතැම් ලිපි මින් දශක ගණනාවකට පෙර රචනා වූ අතිසම්භාව්‍ය ශාස්ත්‍රීය ලේඛනයෝ වෙති. මාරඹ රතනසාර හිමි, තෙරිපැහැ සෝමානන්ද හිමි, ඩී. ටී. දේවේන්ද්‍ර, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය ජේ. බී දිසානායක ආදී වියතුන් විසින් රචිත මහාර්ඝ වූ ලිපි පෙළක් මෙහි අන්තර්ගත කොට ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිය, ප්‍රාචීන පණ්ඩිත උපාධිය ඇතුළු සිංහල, ඉතිහාසය, බෞද්ධ අධ්‍යයන ආදී විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් හට නිර්දෘෂ්ට ග්‍රන්ථයක් වශයෙන් භාවිතයට ගැනීම මෙම කෘතිය සංගෘහිත කොට තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ප්‍රමුඛ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් කථිකාචාර්ය තිඹිරිවැව සිරිසුමන හිමියන්ගේ සහ ශාස්ත්‍රවේදී කසුනි නදීකා මෙනෙවියගේ දායකත්වයෙන් සංස්කරණය වී ඇත.