Print this Article


සැබෑ ආදරයේ ස්වභාවය

සැබෑ ආදරයේ ස්වභාවය

ප්‍රේමය යනු ආදරයට තවත් නමකි. සැබෑ ආදරය රාගයෙන් තොර වූවක් විය යුතු ය. අද බොහෝ අය රාගයෙන් මුසපත් වී ඇත. ආදරය, සෙනෙහස, ප්‍රේමය, ලෙන්ගතුකම යනාදී කුමන නමකින් හැඳීන්වුව ද ධර්මයට අනුව ආදරය නිසා ශෝකය උපදී. ආදරය නිසා බිය උපදී. ආදරයෙන් මිදුණු කෙනාට ශෝකයක් නැත. බියක් කොහින්ද යනු බුදුවදන යි.

අද ලොවුතුරු ශ්‍රී සද්ධර්මය අපට ලැබුණු උතුම් පොහෝ දින ඔබට මෙවැනි මාතෘකාවක් තෝරා ගත්තේ ඇයි ද? යන්න ගැටලුවක් විය හැකි ය.

පසුගිය මාසය පුරාවට ම අපට ලංකාවේ සන්නිවේදන මාර්ගවලින් දැන ගන්නට ලැබුණේ ආදරයේ නාමයෙන් අසරණ වු දරුවන් ගැනයි. සැබැවින් ම ආදරය නිසා දරුවන් හෝ තරුණ තරුණියන් අසරණ විය හැකි ද? කිසිසෙත් එසේ විය නොහැක. බොහෝ දරුවන් කාමාතුරයන්ගේ ගොදුරු වූ අයුරු අපට දැන ගැනීමට හැකි විය. එහිදී අපට පසක් වූ තවත් කරුණක් නම් දරුවන් ද ඒවාට නැඹුරුවීමේ ප්‍රවණාතවක් ඇති බවයි.

උපකාරක පන්තියක ගුරුවරයකු අතින් දරුවන් දාසය දෙනෙකු අතවරයට ලක් වූ බවත් ඒවා වීඩියෝ ගත කර පරිගණකයේ තබාගෙන සිටියදී ඔහුගේ බිරිඳ විසින් ඒවා දැක පොලීසියට දැනුම් දී ඔහුව නිතීය පැමිණ වූ බව දැන ගැනීමට හැකිවිය. මෙම කාරණය දෙස විමසිල්ලෙන් බැලීමේ දී ඇතිවන ප්‍රශ්නය එම දරුවන් දාසය දෙනාගෙන් එක් දරුවකු හෝ මෙම කාරණය දෙමාපියන්ට නොකීවේ ඇයි? ඔවුන් ඒවා සඟවාගෙන සිටියේ ඇයි? මුලින් ම මෙයට ගොදුරු වූ එක් දරුවකු හෝ මේ දේ සිය මවට හෝ පියාට කීවේ නම් දාහසය දෙනකු හෝ තවත් වැඩි පිරිසයක් මෙයට ගොදුරු නො වන්නට තිබිණ.

දෙමාපියන් දරුවන්ට උගන්වන්නට වෙරදරනවා මිස ආදරය, සෙනෙහස ලබා දෙන්නේ නැත. එනිසා ඔවුහු වෙනත් ආදරයක් සොයා යති. දහම් අධ්‍යාපනය ලබා දීමට වැඩි කැමැත්තක් නැත. ධර්මය කියා නොදීම නිසා දරුවෝ අධර්මයට ආශා කරති. අධර්මය ප්‍රිය කරති. එනිසා ම නොමඟ යති. අද දරුවන් වැඩි වැඩියෙන් ධර්මයට යොමුකළ යුතු කාලය පැමිණ ඇති බව දැන්වත් දෙමාපියන් සිහි තබා ගත යුතු ය.