Print this Article


අභිනව කිංස්බරි විහාරාධිපති විල්බාගෙදර ඤාණිස්සර හිමි

අභිනව කිංස්බරි විහාරාධිපති විල්බාගෙදර ඤාණිස්සර හිමි

එංගලන්තයේ ලන්ඩන් නුවර කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව විහාරාධිපති ධුරයට පත් විල්බාගෙදර ඤාණිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලක්දිව අතිසම්භාවනීය ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මැනවින් ප්‍රකට කරමින් වැඩ වෙසෙන උපශාන්ත ගතිගුණයන්ගෙන් පිරිපුන් සුපේසල ශික්ෂාකාමී යතිවර නමකි.

කුලියාපිටිය/විල්බාගෙදර බණ්ඩාරකොස්වත්තේ ප්‍රභූ පරපුරකින් පැවතෙන රත්නායක මුදියන්සේලාගේ අප්පුහාමි මහෝපාසකගේ හා රත්නායක මුදියන්සේලාගේ නන්දාවතී මාතාවගේ පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1968 ඔක්තෝබර් මස 23 වැනි දින විල්බාගෙදර ඤාණිස්සර හිමියෝ ජන්මලාභය ලැබූහ. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කුලි/විල්බාගෙදර කනිෂ්ඨ විද්‍යාලයෙනි.

වර්ෂ 1984 අපේ‍්‍රල් මස 06 වැනි දින හිඟුරේගම ශ්‍රී පුෂ්පාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විල්බාගෙදර හිමියන්ගේ ප්‍රව්‍රජ්‍යාචාර්යයන් වහන්සේ වූයේ අමුණූවෙල සද්ධානන්ද නාහිමි සහ ලන්ඩන් කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව සහ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායකව වැඩසිටි අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමි ය. පාරිවේණික අධ්‍යාපනය ලැබීම සඳහා මුලින්ම ඇතුළත් වූයේ කෑරගල පද්මාවතී පිරිවෙනටයි. ඉක්බිතිව දෙල්ගොඩ කල්‍යාණි ප්‍රදීප පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ තවදුරටත් ස්වකීය ධර්ම ශාස්ත්‍ර හා ප්‍රාචීන භාෂා ඤාණය මනාව ප්‍රගුණ කර ගත්හ. වර්ෂ 1991 ජුනි මස 22 වැනි දින මහනුවර මල්වතු මහා විහාරිය රාජකීය මංගල උපෝසථාගාරයේදී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබූහ.

තදනන්තරව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ විල්බාගෙදර හිමි සිංහල භාෂාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත්තේ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ද ලබමිනි. ඉක්බිතිව පරිවේණාචාර්ය සේවයට එක්ව හෙට්ටිපොල ගිරානලාන විද්‍යා විභූෂණ පිරිවෙනේ පරිවේණාචාර්යවරයෙකු ලෙස සේවය කළේය. තවද හිඟුරේගම ශ්‍රී පුෂ්පාරාමය, හල්මිල්ලවැව ශ්‍රී සුදර්ශනාරාමය සහ ගල්කන්ද වෙහෙරගල පුරාණ විහාරය යන විහාරත්‍රයෙහි විහාරාධිකාරි ලෙස සුවිශාල ආගමික, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික සේවාවන් රැසක නිරතව සිටියහ.

1998 වසරේ සමාරම්භක අවස්ථාවේ පටන්ම මුදිත රැඳවුම් ළමා නිවාසයේ භාරකාර හා කළමනාකාර ලෙස ද ක්‍රියා කරනුයේ විල්බාගෙදර හිමියෝය. මේ වන විට ළමුන් 1800 ක ප්‍රමාණයකට ආරක්ෂාව, රැකවරණය, පෝෂණය හා අධ්‍යාපනය ලබාදෙමින් ද දැඩි ආර්ථික දුෂ්කරතා සහිත පවුල් වෙනුවෙන් ඉඩම් කැබලි ලබාදීම හා නිවාස තනවාදීම යනාදී වශයෙන් විවිධ ඉසව් ඔස්සේ පැතිර ගිය සේවාවන් රැසක් උන්වහන්සේ සිදු කරති.

ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ ලන්ඩන් කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපතිත්වයට විල්බාගෙදර හිමි පත්කොට ඇත්තේ තත් විහාරස්ථ World Buddhist Foundation සංගමය මඟිනි.

එහි කළමනාකරණ භාරකාරත්වය දරන කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරි, සිංහල ශබ්ද කෝෂයේ සම්මාන කර්තෘ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය ඊට අත්සන් පිහිටුවා තිබේ. කිංස්බරි බෞද්ධ විහාරයේ සියලුම කාර්යයන් වඩාත් කාර්යක්ෂම හා චිත්තාකර්ෂණීය අන්දමින් සිදු කිරීමේ දී ඊට ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි දක්වන මාර්ගෝපදේශකත්වය වඩාත් ඉහළ තලයක් ගනියි.