Print this Article


ශාසනික ප්‍රබෝධයේ කේන්ද්‍රස්ථානය මහා විහාරයයි

ශාසනික ප්‍රබෝධයේ කේන්ද්‍රස්ථානය මහා විහාරයයි

මහින්දාගමනයත් එක්ක දේශීය බෞද්ධ සංස්කෘතියේ ආරම්භය සිදු වුණු අතර, ශ්‍රී ලාංකික ජන සමාජයට බුදු දහමින් ලැබුණු දැවැන්ත පෝෂණය ආරම්භ වෙන්නේ මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනයත් එක්ක.

මහමෙව්නාව කේන්ද්‍ර කර ගනිමින් සියලු විහාර අංග ඇතුළත් කොට නිර්මාණය වුණු මහා විහාරය බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්වුණා.

මහා විහාරය ශාසනයට පූජා කිරීම හරහා ශාසනයේ ප්‍රථම ආවාස පූජාව සිද්ධ වුණු අතර, දෙවන පෑතිස් රජු දායකයා බවට පත්වීම ද සුවිශේෂ කාරණයක් බවට පත්වුණා. අරිට්ඨ කුමාරයා ප්‍රධාන ශ්‍රී ලාංකිකයන් පැවිදි කිරීම ආරම්භ වුණු අතර, පළමු ශ්‍රී ලාංකික පැවිද්දා බවට පත්වීමට අරිට්ඨ කුමරුට භාග්‍ය උදාවුණා. දවසින් දවස පැවිදි පිරිස වර්ධනය වෙන්නට වුණ අතර, බෞද්ධ අධ්‍යාපනයක් ලබා දීම ද මහා විහාර කේන්ද්‍ර කර ගනිමින් සිදු වුණු දැවැන්ත ශාසනික මෙහෙවරක්.

නිකාය සංග්‍රහයේ සඳහන් වන ආකාරයට මයුර පිරිවෙන පියන්ගු පිරිවෙන, අකාරමුල පිරිවෙන, ග්‍රන්ථාකර පිරිවෙන ආදී පිරිවෙන් 364ක් පමණ මහා විහාරය කේන්ද්‍ර කරගෙන තිබුණු අතර, නිකාය සංග්‍රහය, මහාවංසය ආදී වංස කතාවල මේ බව සඳහන් වෙනවා.

විනය කර්ම සිදු කිරීමට සීමා මාලකයක්, උපෝෂථ ශාලාවක්, කළුදිය පොකුණ, දානශාලාව, රුවන්වැලි සෑය පිහිටුවන ස්ථානය සටහන් කිරීම ආදී මහා විහාර භූමිය තුළ ස්ථාපිත වුණා. මහමෙව්නාවට අයිති භූමිය ඇතිකොට රන් නඟුලක් බැඳ සලකුණු කළ අතර, දෙවනපෑතිස් රජු පා ගමනින් ම ඇවිත් තවදුරටත් මේ කාර්යය තමන් විසින් සිදු කළ බවත් සඳහන් වෙනවා.

මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ ශාසනික ප්‍රබෝධය වෙහෙර විහාර, ගොඩනැඟිලි ඉදිකරමින් පමණක් නැවතුණේ නැහැ. ථූපාරාමය කේන්ද්‍ර කරගෙන සිදු කළ විනය සංගායනාව මෙහිදී වැදගත් වෙනවා. භික්ෂු ශාසනය මෙන් ම, භික්ෂුණී ශාසනය ආරම්භ කරමින් බුදු දහමේ චිරස්ථිතිය ඇතිවුණේ ද මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් . මහා විහාරය කේන්ද්‍ර කරගෙන වර්තමානය දක්වා දැවැන්ත නිර්මාණ බිහිවුණා. ජීවමාන බෞද්ධ සංකේතයන් වන ජයශ්‍රීමහා බෝධින් වහන්සේ, ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ බෞද්ධ ලෝකයට දායාද වුණේ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින්.

මහා විහාරය නම් වූ බෞද්ධාගමික මධ්‍යස්ථානය පුණ්‍ය භූමියක් බවට පත්වුණා පමණක් නොව ථෙරවාදී භික්ෂුන් වහන්සේගේ කේන්ද්‍රස්ථානයක් බවටත් පත්වුණා. ලක්ෂ සංඛ්‍යාත රහතන් වහන්සේ ලංකා භූමිය තුළ වැඩ සිටි බව වංස කතාවල සඳහන් වෙනවා. ඒ වගේම බුදු දහම ස්ථාපිත කරමින් මහත් ශාසනික මෙහෙයක් ඉටුකිරීමට මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් වැඩ සිටි මහ උතුමන් වහන්සේ විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබූ බව අද ද මහා විහාරයේ ඇති නටබුන් තුළින් පැහැදිලිව දකින්නට ලැබෙන කාරණයක්.

මහාබෝධි රෝපණයත් සමඟ ලාංකික ජන සමාජය තුළ නව වැඳුම්පිදුම් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ වුණා. මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ඇරැඹි ශාසනික මෙහෙය තුළ සුවිශේෂී ක්‍රියාවක් බවට බෝධි වන්දනාව පත්වුණා. අෂ්ට ඵල රුහ බෝධි, දෙතිස් ඵල රුහ බෝධි වශයෙන් ලක්දිව බෝධිය මුල්කර ගෙන බෝධි සංස්කෘතියක් ද ඇති වීම මහා විහාරය කේන්ද්‍ර කරගෙන ඇතිවූවක්.

එමෙන්ම “විනයෝ නාම සාසනස්ස ආයු” ‘විනය නම් ශාසනයේ චිර පැවැත්මයි’. අනුරාධපුර යුගයේ ඉදිවුණු බොහෝ වෙහෙර විහාරවල විනය කර්ම සිදු කිරීමට පොහොය උපෝෂථාගාරයක් හෙවත් පොහොය ගෙයක් ඉදිකරන්නට වුණා. ලෝවාමහාපාය ආදී පැරැණි නටබුන් අද ද අපට සාක්ෂි ලබා දෙනවා. ප්‍රායෝගික බුදුදහමට භික්ෂුව අනුගතව කටයුතු කර තිබෙනවා.

දන්දීම පින් කුසල් වැඩෙන මහ පින්කමක් බව බුදුදහමට නැඹුරු වූවෝ පිළිගන්නා කාරණයක්. මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් භික්ෂූන්ට දන් දීමට මෙන්ම සාගින්නෙන් පෙළෙන්නන්ට දන් දෙන්නට වුණා. අලහවත් දන්සල ,චතුස්ශාලා දන්සල මෙලෙස ගිහි පැවිදි සැවොම එක්වී පරිත්‍යාගය සිය දිවිය තුළ ප්‍රායෝගිකව කළ අවස්ථාවක්.

භික්ෂූන් වහන්සේට මෙන්ම ගිහියන්ට ද රෝහල් ඉදිකොට රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකර්ම සිදු කර තිබෙනවා. අනුරපුර මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ථූපාරාමය අසල, දළදා හාමුදුරුවෝ වෙනුවෙන් දළදා මාලිගාවක් ඉදිකර තිබෙනවා. අදටත් ශේෂව පවතින දළදා සංස්කෘතිය අපට දායාද කළේ මහා විහාරය කේන්ද්‍ර කරගෙන ඇතිවුණු ශාසනික ප්‍රබෝධයයි.

එමෙන්ම හත්හාල්හක වන මෙහෙවර ඉදිකොට මෙරට භික්ෂුණී ශාසනය අරඹා වැඩ විසීමට මෙවැනි තැන් සකස් කළේ මහා විහාරයෙන් ඇරැඹි බෞද්ධ මෙහෙවරෙහි ප්‍රතිඵලයක් වශයෙනි. භික්ෂුණී ශාසනය ඇරඹීම පමණක් නොව භික්ෂුවගේ නෛතික බලය වඩාත් තහවුරු කිරීමට උපසම්පදා විනය කර්ම ද ඇරඹීය. තායිලන්තය, බුරුමය ආදී රටවල වර්තමානයේ ද භික්ෂූ පරපුර සිහිපත් කරනු ලබන්නේ මහා විහාර වංශික වශයෙන් මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ඇරඹි ශාසනික මෙහෙය නිසාවෙනි.

තායිලන්තය, බුරුමය ආදී මේ රටවල් ලංකාවෙන් සිය උපසම්පදාව අරෙගන ගියාට පසුව තමයි මහා විහාර වංශික යන මූලික නාමය යොදාගන්නට යෙදුණේ. උපසම්පදාවේ ආරම්භය මහා විහාරයයි. එය අනුරාධපුර පිහිටි මහා විහාරය. වට්ඨගාමිණී අභය හෙවත් වලගම්බා රජු විසින් ඉදිකරවා පූජා කරන ලද අභයගිරිය ද මුලින් මහා විහාරයට අයිති වුණ කොටසකි . පසුව අභයගිරියට විරුද්ධව ජේතවනාරාමය ඉදිවුණා. පසුව මහා විහාරය, ජේතවනය, අභයගිරිය නමින් ශාසන සම්ප්‍රදායන් කොටස් තුනකට බෙදී වෙන් වුණා. දකුණේ තිබෙන තිස්ස මහා විහාරය ද විහාරය පිරිහුණු අවස්ථාවල මහා විහාර සම්ප්‍රදාය රැකගෙන ආ ස්ථානයක්. මේ අනුව මුළු රට පුරා මහා විහාර සම්ප්‍රදාය පැතිරී පැවැති බව පෙනී යන කාරණයක්.

මහා විහාරයෙන් බිහිවුණු භික්ෂුන් මහා විහාරිකයන් ලෙස හඳුන්වන්නට යෙදුණා. නිර්මල ථේරවාදී බුදුදහම ආරක්ෂා කළේ මහා විහාරිකයන් විසින්. ථේරවාදී භික්ෂූන් ත්‍රිපිටකය හා අට්ඨකථා සුරක්ෂිත කර ගන්නට මහා කැපකිරීමක් කළා. වට්ඨගාමිණී අභය රාජ කාලයේ දුර්භික්ෂය පැවැති අවස්ථාවේ දිවි පරදුවට තබා සූත්‍ර විනය අභිධර්මය සුරක්ෂිත කළේ මහා විහාරිකයන් විසින් . ඒවා ග්‍රන්ථාරූඪ කළේ ද මහා විහාරිකයෝම යි.

මහානාම රජු දවස ක්‍රි. වර්ෂ 409 /431 අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුවෝ මෙරටට වැඩම කළ අතර, සිංහල බසින් ලියා තිබුණ සිංහල අටුවා පාලියට පරිවර්තනය කළේ බුද්ධඝෝෂ හිමියෝ. උන්වහන්සේගේ ලිපි ලේඛන අධීක්ෂණය කළේ මහා විහාරීය භික්ෂූන් වහන්සේ විසින්මයි. මහා අටුවා, මහා පච්චරිය අටුවා, මහාකුරින්දි අටුවා බුද්ධඝෝෂ හිමියන් සිංහලෙන් පාලියට පරිවර්තනය කළ අටුවා කිහිපයක්. සිංහල අට්ඨකථා විශාල ප්‍රමාණයක් තිබුණු බව වංශත්තප්පකාශිනිය පැහැදිලි කරනවා.

මහා විහාරය නියෝජනය කරමින් බුද්ධඝෝෂ හාමුදුරුවන්ට අමතරව බුද්ධදත්ත හාමුදුරුවෝ, බුද්ධමිත්ත හාමුදුරුවෝ, ධම්මපාල හාමුදුරුවෝ, සංඝපාල හාමුදුරුවෝ යන ස්වාමීන් වහන්සේ විශාල ප්‍රමාණයක් වැඩ සිට තිබෙනවා. මහා විහාර රාෂ්ට්‍ර පාලනය විනය නීති සම්පාදනය හා ඉගැන්වීම කළ ශ්‍රේෂ්ඨ ආයතනයක්.

භාතිකාභය රජු දවස මහා විහාරවාසී ගෝදත්ත හාමුදුරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පදවියක් හිමි කරගෙන සිටි ස්වාමීන් වහන්සේ නමක්.

ඉහත ආයතනය මඟින් චන්දස් අලංකාර ග්‍රන්ථ සාහිත්‍ය, වෛද්‍ය ශාස්ත්‍ර ආදි විවිධ විෂයයන් උගන්වා තිබෙනවා. ඇතැම් අවස්ථාවල වෝහාරික තිස්ස වැනි රජවරු මහා විහාරය වනසන්නට විපත් සිද්ධ කළේ ද වෛතුල්‍යවාදීන්ගේ බලපෑම නිසයි. මහා විහාරිකයන් එවැනි අවස්ථාවල රුහුණට වැඩම කර, ත්‍රිපිටකය හා ථේරවාදී සම්ප්‍රදායන් ආරක්ෂා කර ගත්තා.

බුද්ධඝෝෂ හාමුදුරුවන් අටුවා ග්‍රන්ථ 12ක් පමණ මහා විහාරයේ දී ලියා තිබුණු අතර, භික්ෂු භික්ෂුණීන් මහා විහාරිකයන් ලෙස මහාවංශය, දීපවංශය ආදී වංස කතා රචනා කළා.

ඒ අනුව ලාංකික ඉතිහාසය හා ජන ජීවිතය මෙන්ම බෞද්ධ සංස්කෘතියේ හර පද්ධතිය පෝෂණය කරන්නට මහා විහාරයෙන් මහත් වූ සේවාවක් සිද්ධ වී ඇති බව සිහිපත් කළ යුතුයි.