Print this Article


චිරන්තන සාහිත්‍යය මහින්දාගමනයේ අග්‍රඵලයකි

චිරන්තන සාහිත්‍යය මහින්දාගමනයේ අග්‍රඵලයකි

ක්‍රි.පූ. 3 වැනි සියවසේ ශ්‍රී ලාංකේය සභ්‍යත්වයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් ලෙස මහින්දාගමනය දැක්විය හැකි ය.

මිහිඳු මහරහතන් වහන්සෛ් ප්‍රධාන ධර්ම දූතයන් වහන්සේ වැඩම වන විට ප්‍රථම, ද්විතියීය, තෘතීය සංගායනා මඟින් අවිච්ඡින්නව පවත්වා ගෙන ආ ත්‍රිපිටක පරියාප්තියත්, තත් අටුවා සම්ප්‍රදායත් මෙරටට ගෙන අවුත් මහා විහාර සම්ප්‍රදාය ස්ථාපනය කළ බව ධම්පියා අටුවා ගැටපදයෙහි සඳහන් වේ.

මහින්දාගමනයට පෙර භාවිත වූ සාහිත්‍යමය හෝ භාෂාමය සාධකයන් හමු නොවූවත්, ලිඛිත ක්‍රමයන් පැවැති බවට සාධක මහාවංශය වැනි වංශකථාගත සාහිත්‍යය මූලාශ්‍රය මඟින් හඳුනාගත හැකි ය. මහින්දාගමනයට සමානුපාතව ඇති වූ ලෙන් ලිපි, සෙල් ලිපි ආදි සාහිත්‍යය මෙරට පැරණිතම සාහිත්‍යය අංශය ලෙස දැක්වීම උචිත ය.

මිහිඳු මහරහතන් වහන්සේ හුදු ආගමක් පමණක් නොව, මානව සමාජයක සංස්කෘතික ජන ජීවිතයකට අවශ්‍ය වන අංගෝපාංගයන් ද හඳුන්වා දෙන ලදී. අග්නිදිග ආසියාතික ප්‍රදේශවලට වැඩම කළ ධර්ම ප්‍රචාරකයින් වහන්සේට වඩා තම කාර්ය සාර්ථක කර ගැනීමට මිහිඳු හිමියන්ට හැකි වූයේ එම දූරදර්ශී ක්‍රියා මාර්ගයන් නිසා ය.

දැනට අප අතර, එන පැරැණි සාහිත්‍ය ග්‍රන්ථ මහින්ද මහ රහතන් වහන්සේගේ සමයෙන් අනතුරුව ලියන ලද බව සහේතුකව සඳහන් කළ හැකි ය. මිහිඳු හිමියන් ලක්දිවට සම්ප්‍රාප්ත වු අවදියෙහි පවා සාහිත්‍යයක් තිබුණු බවත්, එසමයෙහි පැවැති භාෂාව උපයෝගී කරගෙන බුද්ධ ධර්මය වැනි ඉතාම සංකීර්ණ වූ ධර්මයක ගැබ් වූ දර්ශනය, නිරාකූලව ප්‍රකාශ කිරීමට හැකි වූ බවත් අපට යුක්ති යුක්තව සිතා ගත හැකි ය.

එ සමයෙහි භාෂාව කෙතරම් දියුණූව තැබුයේ ද යත්, මහින්ද මහ රහතන් වහන්සේ වැඩ වෙසෙද්දී ම බුද්ධ ධර්මයෙහි දුර්බෝධ කරුණු පහදා දීම පිණිස අට්ඨකතා ලිවීමට හැකි විය. එම අටුවා හෙළටුවා ලෙස හැඳින්වේ. මහා අට්ඨකතා, මහාපච්චරී අට්ඨකතා හා කුරුන්දි අට්ඨකතා නම් වූ අට්ඨකතා තුනක් මෙම අට්ඨකතා සාහිත්‍යයට අයත් වේ.

ක්‍රි.ව. 5 වැනි ශත වර්ෂයේ ලක්දිවට පැමිණි බුද්ධඝෝෂ ස්ථවිරයන් සහ ධර්මය සොයා පැමිණි වෙනත් ස්ථවිරයන් විසින් යළිත් පාලි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ මෙම අට්ඨකතා ය. මෙම සිංහල අටුවා සාහිත්‍යය, අපගේ පැරැණි ඓතිහාසික සාහිත්‍යයේ ප්‍රභවයට හේතුවූ බව නිශ්චය වශයෙන් ම කිව හැකි ය. මේ හැර බුද්ධ ධර්මය ලක්දිව සංස්ථාපනය වීමත් සමඟ තවත් ග්‍රන්ථ ගණනාවක් සිංහලයෙන් ලියැවෙන්නට විය. අද අභාවයට ගොස් ඇති ක්‍රම කෘතින්හි නම් පමණක් වාර්තාවන්හි ශේෂව ඇත්තේ ය.

නොනැසී පවත්නා සාහිත්‍ය කෘතින්ගෙන් ලැබෙන සාක්ෂ්‍ය අනුව පාලි භාෂාව සහ සාහිත්‍යය සිංහල සාහිත්‍යය කෙරෙහි බෙහෙවින් බලපෑ බව ඔප්පු කළ හැකි ය.

ධම්පියා අටුවා ගැට පදය, සිඛ වළඳ හා සිඛ වළඳ විනිස පාලි ග්‍රන්ථාශ්‍රයෙන් රචිත බව ප්‍රකට ය. ධම්පියා අටුවා ගැට පදය වූ කලි පාලි ධම්මපදට්ඨ කතා නම් ග්‍රන්ථයෙහි දුෂ්කර පද විස්තර කිරීම් වස් ලියන ලද්දේ ය. සිඛ වළඳ හා සිඛ වළඳ විනිස උපසම්පදාව ලැබූ භික්ෂූන් උදෙසා රචිත ධර්ම සංග්‍රහයෙකි. මේ ග්‍රන්ථ ද්වයෙහි අන්තර්ගත කරුණු විනය ග්‍රන්ථවලින් හා අට්ඨකතාවලින් උපුටාගෙන ඇත්තේ ය.

මෙසේ පාලි සාහිත්‍යය කෙරෙහි අවධානය යොමු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පාලි සහ සිංහල ග්‍රන්ථ සැපයුණු අතර, සංස්කෘතය කෙරේ දැක්වුණු සැලකිල්ල ද වැඩි වූ බව පෙන්වා දිය යුතු ය. මහා විහාරයෙන් බිඳී ගිය භික්ෂූන්, එනම් අභයගිරි නිකායේ භික්ෂූන් සහ වෙනත් වෛතුල්‍යවාදීහු සංස්කෘත මාධ්‍යයෙන් වෛතුල්‍යවාදය හැදෑරුයෙන් ඒ ඈත අතීතයෙහි සිටම සංස්කෘතිය මේ රටෙහි අධ්‍යයන මාධ්‍යයක් විය. සම්මා දිට්ඨි සූත්‍රයට අර්ථ කතාවක් පපංචසූදනියේ ලියමින් බුද්ධඝෝෂ හිමි භාරත යුද්ධය සහ සීතාහරණය සඳහන් කරයි.

මෙය, මහාභාරත සහ රාමායණ නම් වූ සංස්කෘත මහා කාව්‍යද්වය, ලක්දිව ප්‍රකටව තිබූ බව පෙන්නුම් කරන්නෙකි.

දුරාතීතයේ සිට පාලි භාෂාව සහ සාහිත්‍ය ලක්දිව ධර්ම ඥානය සඳහා යෙදුණූ අතර, සංස්කෘතය ලෞකික ඥානය සඳහා උපයෝගී කර ගත් බව පැහැදිලි ය. දැනට පවත්නා පැරැණි ග්‍රන්ථ ව්‍යාඛ්‍යාන, ගද්‍ය, පද්‍ය, ජන්දෝලංකාර, වෛද්‍ය සහ ඡ්‍යෝතිෂ්ශාස්ත්‍ර ව්‍යාකරණ සහ කෝෂ ග්‍රන්ථ වර්ගවලට අයත් වේ. ගැටපද, සන්න, පරිකථා පින් පොත් ආදිය ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයෝ ය.

පොලොන්නරු සාහිත්‍යය යුගයේ දී බුදුගුණ සාහිත්‍යය ග්‍රන්ථ බිහි විය. ඒ අතර, ගද්‍ය ග්‍රන්ථ ප්‍රධාන වෙයි. ගුරුළුගෝමී පඬිතුමා පුරිසදම්මසාරථි බුදුගුණය පදනම් කරගෙන අමාවතුර නම් වූ සංක්ෂිප්ත රීතිය මත ගොඩනැඟුණු පරිච්ඡේද දහ අටකින් යුක්ත වූ දමන කතා සිංහල සාහිත්‍යයට එක් විය. මෙම කතාවස්තු සඳහා ප්‍රධාන වශයෙන් පාලි අට්ඨකතාවන්හි කතා වස්තු මූලාශ්‍රය වී ඇත. ධර්මප්‍රදීපිකාව නම් වූ පරිකතාව ද ගුරුළුගෝමීන් විරචිත ය. විද්‍යාචක්‍රවර්තීන් විසින් සෑම බුදුගුණයක් ම විශද වන පරිදි බුත්සරණ නම්වූ ගද්‍ය කාව්‍යය වර්නාත්මක රීතිය ඔස්සේ ශ්‍රී ලාංකේය ශ්‍රාවකයා තුළ ශ්‍රද්ධා රසය දනවන අයුරින් ප්‍රති නිර්මාණය වී ඇත. මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ ආදී ගී කාව්‍යය ජාතක පාලියෙහි ජාතක කතාවන් පදනම් කොට ගෙන නිර්මාණය වී ඇත.

දඹදෙණි යුගයේ සද්ධර්මරත්නාවලිය සහ ගම්පොළ යුගයේ සද්ධර්මාලංකාරය යන ගද්‍ය ග්‍රන්ථ ද දස පුණ්‍ය ක්‍රියාවන්හි ඵලයන් සිංහල සමාජයට හඳුන්වා දීමට සහ ප්‍රවර්ධනය විෂයයෙහි මනා පිටිවහලක් වූ බව නොරහසකි.

අනුරාධපුර යුගයේ පූර්ව භාගයෙහි දේශීය ජන ජීවිතය බෞද්ධ ප්‍රතිපත්තීන්ගෙන් පෝෂණය වූ ආකාරය චිරන්තන සාහිත්‍යයෙහි සිත්ගන්නා සුළු අයුරින් විස්තර වේ. බුදුසමය මඟින් සමාජ ජීවිතයෙහි මෙවන් වෙනසක් ඇති කිරීමෙහිලා උදාර ගුණසම්පන්න, පිළිවෙත්කාමී සංඝ සමාජය ම පුරෝගාමී විය.

රාජානුග්‍රහයෙන් දීපව්‍යාප්තව පැවැත්වුණූ ධර්ම දේශනා ද, චිත්තාකර්ෂණීය වූ පූජා කර්ම ද පොදු ජනයා බුදුසමය දෙසට යොමු කරලීමෙහි ලා හේතුකාරක විය. එනමුදු ජනයා ආමිෂ පූජාවෙහි ඇලී ගැලී එ පමණකින් තෘප්තියට නොපැමිණ, පිළිවෙත් පිරීමෙහි නැඹුරු වීම මේ යුගයේ කැපී පෙනෙන වැදගත් ලක්ෂණයකි.

අනුරාධපුර යුගයේ මෙරට ජීවත් වූ වැසියෝ අහිංසාව, කරුණාව, මෛත්‍රිය, ඉවසීම, දානය, සීලය හා මාතෘ උපස්ථානය වැනි ගුණධර්ම මුඛ්‍ය කොටගත් ආධ්‍යාත්මික සංවර්ධන ක්‍රියාවලියක නිරත වූහ.

මේ පිළිබඳව කියැවෙන චිරන්තන සාහිත්‍ය කෘතීන්හි අන්තර්ගත කතා වස්තු සමාජ ජීවිතය ශික්ෂණය කර ගැනීම් වස් වත්මනෙහි පවා බුදුසමයෙන් කෙබඳු පිටිවහලක් ලද හැකි ද යන කරුණ හැදෑරීමෙහි ලා බෙහෙවින් ම ඵලදායි වනු ඇතැයි හැඟෙයි.