Print this Article


සමාජයක පිරිහීම නූගතුන්ගේ ක්‍රියා නිසා නොව උගතුන්ගේ නිහඬබව නිසයි

සමාජයක පිරිහීම නූගතුන්ගේ ක්‍රියා නිසා නොව උගතුන්ගේ නිහඬබව නිසයි

මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ මෙරට ආරම්භ වූ වැවයි දාගැබයි - ගමයි පන්සලයි සංස්කෘතිය මේ වන විට කිසියම් ආකාරයකට ප්‍රශ්න කිරීමකට ලක්වනු දැකිය හැකි ය. ගෝලීය වශයෙන් පවතින අර්බුද මෙන් ම දේශීය ව පවත්නා ආර්ථික, දේශපාලනික, සාමාජික ගැටලු බොහොමයක් මීට බලපා ඇත.

මෙහිදී ඉස්මතු වන ප්‍රබල ගැටලුවක් වන්නේ ගිහියා හා පැවිද්දා අතර මෙතෙක් පැවති විශ්වසනීය අවබෝධය බිඳ වැටෙමින් පැවතීම යි. මීට බලපා ඇති කාරණා වශයෙන් සීමාව ඉක්මවා ගිය දේශපාලනය, විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල වශයෙන් වූ මුදල රජවීම, සංවිධානාත්මක ව දහම විකෘති කිරීම, වාණිජ අරමුණු හමුවේ ශාසනික ක්‍රියාකාරකම් අසරණ වීම, පුහු නම්බුනාම තාන්න මාන්න පසුපස සමාජය හඹායාම, සාරධර්ම, අධ්‍යාපනය අමතක කිරීම හා සැබෑ බුදුදහම පිළිබඳ ඇති අනවබෝධය වැනි කරුණු කාරණා දැක්විය හැකි ය.

වැවයි දාගැබයි - ගමයි පන්සලයි යනු බුදුදහම සමඟ ලාංකීය ජන සමාජය ගහට පොත්ත මෙන් බැඳී පැවතුණු ආකාරය යි.

අනුරාධපුර, පොළොන්නරු නගරවල මෙන් ම, ලක්දිව පුරා අදටත් ශේෂව පවතින පුරාවිද්‍යාත්මක ස්මාරක, සිංහල සාහිත්‍යය පෝෂණය වී ඇති පොතපත, අපේ ජනසමාජයේ මෙතෙක් පැවති සාරධර්ම මේ පිළිබඳ අපට ඇති ජීවමාන සාධකයන් ය.

මෙහිදී නො පිරිහී සිටීමට කැමැත්තන්ට බුදුරජාණන් වහන්සේ දුන් අවවාදය සිහි වේ.

“ධම්මකාමෝ භවං හෝතී - ධම්මදස්සී පරාභවෝ ” ධර්මය තුළ පිහිටන්නේ නම් ඔබ සුරක්ෂිත ය. ඔබ ධර්මයට විරුද්ධ වන්නේ නම් ඔබේ විනාශය අත ළඟ ය.

මෙහිදී ධර්මය අධර්මය තෝරා ගැනීමට ඔබ කිසිවකු වෙත යා යුතු නැත. එය ඔබට තනිව ම කළ හැකි ය. බුදුරදුන් කාලාමයින්ට දෙසූ පරිදි

“ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤූගරහිතා”

මේ දේ අකුසල් ය, වැරැදි ය, නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වේ, යනුවෙන් වැටහේ නම් ඉන් වළකින්න. මේ දේ කුසල් ය, නිවැරැදි ය, නුවණැත්තන්ගේ ප්‍රශංසාවට හේතු වේ, යැයි ඔබට දැනේ නම් ඒ දේ කරන්න. එවිට ඔබ සුරක්ෂිත ය. එවිට ඔබ මිහිඳු සංස්කෘතිය තුළ ය.

මිහිඳු සංස්කෘතියෙන් ගිලිහී යාමට වර්තමානයේ වෙර දරන්නන් තුළ පවතින පොදු ලක්ෂණ වශයෙන් රාගයෙන් අන්ධ වීම, ද්වේශයෙන් අන්ධවීම, මෝහයෙන් අන්ධවීම, තාක්ෂණයෙන් අන්ධවීම, නූගත්කමින් අන්ධවීම, ජීවිතයට අරමුණක් නොමැතිකම හා අලසකම යනාදී කාරණා දැක්විය හැකි ය.

බුදුදහම අනුන් සඳහා නොව තමන් සඳහා ය. තමා සකස්වීම, ගුණධර්මවලින් පෝෂණය වීම, සිල්වත්වීම පසෙක තබා; අනුන්ට බණ කියවීම, අනුන්ගේ සිල් පරීක්ෂා කිරීම, අනුන්ගේ සීලයට දන් දී තමන් පින් සිදු කර ගැනීම වැනි ලාමක ගති මෙකල දැකිය හැකි ය. බුදුරදුන් වදාළේ

“අත්තානමේව පඨමං - පතිරූපේ නිවේසයේ”

පළමුකොට ම තමා සුදුසු ගුණධර්ම තුළ පිහිටන්න.

“අත්තදීපා භික්ඛවේ විහරථ”

තමාට පහනක් වී තම ජීවිතය ගෙන යන්න.

“න පරේසං විලෝමානී - න පරේසං කතාකතං”

අනුන් කළ නො කළ දෑ නො සොයන්න. යනුවෙනි.

වර්තමානයේ අප කරන්නේ ම අනුන් ගැන සෙවීම යි. බුදු වූ අලුත ම බුදුරජාණන් වහන්සේ භද්දවග්ගිය කුමාරවරුන්ට පැහැදිලි කළේ ස්ත්‍රියක් ගැන සොයනවාට වඩා තමා ගැන සෙවීම කොතරම් උතුම් ද යන්න යි.

බුදුදහමේ උගන්වන මූලික සංකල්පයක් වන්නේ කිසිවකුට කරදරයක් නො වන සේ ජීවත් වීම යි. රියැදුරන් හා උද්ඝෝෂණ පෙළපාළි පවත්වන්නන් විසින් මාර්ගය අවහිර කිරීම, නිවෙස්වල ඉවතලන කුණු කසල මහා මාර්ගයට ගෙනැවිත් දැමීම, නිවෙස්වල ඇති කරන සතුන් උදෑසන මහා මාර්ගයට රැගෙන යාම, නිවෙස්වල අපජලය මහාමාර්ග වෙත යොමුකිරීම, සතුන්ට ආහාර දීම මහාමාර්ගයේ සිදු කිරීම. යනාදිය මෙහිදී ප්‍රධාන වේ. වර්තමානයේ පවතින මෙවැනි සමාජ අර්බුදවලට හොඳ විසඳුමක් වශයෙන් අපේ ජාතක පොතේ 77 වැනි ජතකය අධ්‍යයනය කිරීම වැදගත් වෙයි. එනම් මහාසුපින ජාතකය යි.

එහි දැක්වෙන්නේ අනාගතයේ දී ඇතිවන සමාජ විපරීතයන් පිළිබඳ ය. අද ඒවා එකින් එක සැබෑවන ආකාරය දැකිය හැකි ය. එහි දැක්වෙන සිහින 16 අතර කාලගුණික දේශගුණික විපර්යාස නිසා ඇතිවන ගැටලු, ජාතීන් මත පදනම් වූ දේශපාලනය නිසා ඇතිවන ගැටලු, සමාජයේ තිඹිරිගෙය වන කුලකාන්තාව රාගාධික වීම නිසා ඇතිවන ගැටලු, ආගමික නායකයින්, දහම මුදලට විකිණීම නිසා ඇතිවන ගැටලු, සමාජය තුළ මූල්‍යමය අවිනය නිසා ඇතිවන ගැටලු, උගතුන් බුද්ධිමතුන් රට හැරයාම නිසා ඇතිවන ගැටලු, ආර්ථීකය දේශපාලනය වැනි කාරණා හරහා ඇතිවන ගැටලු යනාදිය දැක්විය හැකි ය.

මෙහිදී වැදගත් වන්නේ මේවා හොඳීන් තේරුම් ගැනීම යි. සමාජයක පිරිහීම හෝ ගැටලු ඇතිවීම සිදුවන්නේ නූගතුන්ගේ ක්‍රියාකාරකම් නිසා නොව උගතුන්ගේ නිහඬ බව නිසා යැයි සමාජයේ ප්‍රසිද්ධ කියමනක් ඇත.

එම නිසා හැමෝම තම තමන්ගේ වගකීම් තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් වෙයි. තමා තමාට නායකයකු විය යුතු ය. එක් පහනකින් පහන් සිය ගණනක් දැල්විය හැකි බව අපි දනිමු. වර්තමානයේ බොහෝ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවලට අප ඇතුළු වන විට ම ඔවුන්ගේ දැක්ම, මෙහෙවර, වටිනාකම් ප්‍රදර්ශනය කරනු පෙනේ. සැබවින් ම තම පළමු ධර්ම දේශනය තුළ ම බෞද්ධ ජීවන ප්‍රතිපදාවේ පළමු අංගය ලෙසින් “සම්මාදිට්ඨි” යන්න ඉගැන්වූ බුදුසසුන පදනම් කරගත් වර්තමාන සමාජය තුළ අපට දැක්මක් තිබේ දැයි යන්න විමසිය යුතු වීම ඛේදයකි.

වැවයි දාගැබයි - ගමයි පන්සලයි සංස්කෘතිය අප ඉදිරියටත් රැක ගැනීමට නම් සැබෑ බුදුදහම ප්‍රායෝගික ව ජීවිතයට ගළපා ගත් සංකල්ප වහා ම සමාජයට හඳුන්වා දිය යුතු යි. විහාරස්ථානවල වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේ දහම උගත්, ඊට සරිලන සමාජ විද්‍යාත්මක අවබෝධයක් ඇති, ගමට නායකත්වය දිය හැකි භික්ෂූන් බවට පත් කළ යුතු යි. කුඩා සාමණේරයන් වහන්සේ රැකෙන, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත වන වැඩපිළිවෙළක් සකස් විය යුතු යි.

ගිහි පැවිදි සබඳතාව අවබෝධාත්මක විය යතු යි.

බෞද්ධ සමාජය තුළ කාන්තාවට නිසි තැන හිමි විය යුතු යි.

දහම් අධ්‍යාපනය විධිමත් කළ යුතු යි.

දැහැමි ක්‍රියාකාරකම් තුළින් ජීවිතයේ තෘප්තිය සොයන තරුණ පරපුරක් ඇති කළ යුතු යි.

මේ කටයුතුවල දී ජාතියේ මුරදේවතාවුන් වහන්සේ වශයෙන් බෞද්ධ භික්ෂුන්ට ඉමහත් වගකීමක් පැවරෙයි. බෞද්ධ භික්ෂුව ගමේ දායකයින් විසින් තමන් රකින තෙක් බලා නොසිට; ගමේ නායකත්වය තමක් අතට ගෙන ගම රැකිය යුතු යි. තම දායකයින්ට නිසි මඟපෙන්වීම කළ යුතු යි.

දසධම්ම සූත්‍රයේ ඉගැන්වෙන පරිදි ගිහි චින්තනයෙන් ඈත් ව, තමා ගිහියාගෙන් වෙනස් කෙනකු බව හඳුනාගෙන තම කාර්යභාරය මැනවින් ඉටු කළ යුතු යි. තමා සැරියුත් මුගලන් පරම්පරාවට අයත්, මේ රට රකින මුරදේවතාවෙක් බව තම සිතේ හොඳීන් සනිටුහන් කර ගතයුතු යි.

සැබවින් ම මේ වන විටත් තම වගකීම මැනවින් හඳුනාගෙන කටයුතු කරන විශාල භික්ෂු පිරිසක් මේ ශ්‍රී ලංකාද්වීපය පුරා වැඩසිටිති. මෙය නිසි ලෙස හඳුනා ගත් ගිහි පැවිදි පිරිසක් අප රට තුළ ගොඩනැඟෙන විට වැවයි දාගැබයි - ගමයි පන්සලයි මිහිඳු සංස්කෘතිය තවත් චිරාත් කාලයක් මේ රට තුළ විරාජමාන වනු ඇත .