Print this Article


අභියෝග හමුවේ රැකගත් බෞද්ධ ආරාමික අධ්‍යාපනය

අභියෝග හමුවේ රැකගත් බෞද්ධ ආරාමික අධ්‍යාපනය

මිහිඳු මාහිමියන්ගේ ලංකා සම්ප්‍රාප්තියෙන් පසුව උන්වහන්සේ විසින් මෙරට සිදුකරන ලද සියලු දේශනා ඇතුළු ශාසනික ක්‍රියාවලියෙන් උන්වහන්සේ එක් වරම අපේක්ෂා කළේ ශ්‍රී ලංකාවේ බුදු සසුන තහවුරු කරලීමයි.

මෙහි ප්‍රතිඵලය වුණේ ශ්‍රී ලංකාවේ උතුරේ සිට දකුණට භික්ෂූන් වහන්සේගේ අනුශාසකත්වයෙන් බෞද්ධ සිද්ධස්ථාන රාශියක් ව්‍යාප්ත වීමයි. අනුරාධපුර මහා විහාරය සහ සිතුල්පව්ව මහා විහාරය ඒ අතර කැපී පෙනෙන ස්ථාන විය. ලංකාවේ මුල්ම ථේරවාදී අධ්‍යාපනික ආයතනය වූ අනුරාධපුර මහා විහාරය එකල ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් තරමට ලොව පුරා ප්‍රචළිත වී තිබිණි. ඒ නිසා විදේශීය උගතුන් ඉගෙනීමට, පර්යේෂණ කිරීමට අනුරාධපුර මහා විහාරයට පැමිණි බව සඳහන් වේ. මෙහි වැඩසිටි භික්ෂූන් වහන්සේගේ සංඛ්‍යාව තිස් දහස ඉක්මවන තරම් වූ බව අටුවා කතා මඟින් සනාථ වෙයි. භික්ෂුණීන් වහන්සේ ද දහස් ගණන් වූ බව සඳහන් වේ. මේ අනුව මෙම භික්ෂූන් වහන්සේලාගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම විහාරස්ථාන කේන්ද්‍රකොට අධ්‍යාපන සම්ප්‍රදායක් ද ගොඩනැඟී තිබුණි. එහි විශේෂත්වය වූයේ මෙම භික්ෂු අධ්‍යාපනය යාවජීව අධ්‍යාපන සම්ප්‍රදායක් ලෙස සැලකීමයි.

නූතන අධ්‍යාපන චින්තනයෙන් ද ප්‍රකාශ කරන වැදගත්ම සංකල්පයක් බවට පත් වී ඇත්තේ මිනිසා උපතේ සිට ම මරණය දක්වා ම අධ්‍යාපනික ජීවිතයක් ගත කරන බවයි. එනම් දැනුම එකතු කර ගැනීමේ ක්‍රියාවලියක මෙන්ම, ඒ තුළින් ආකල්ප හා කුසලතා ඇතිකර ගැනීම කියන මේ කාරණය සිදුවෙනවා යන්න ඉන් අදහස් කෙරිණි. කෙසේ වුවද එදා මූලික වශයෙන් භික්ෂූන් වහන්සේ සඳහා වෙන් වූ අධ්‍යාපන ආයතන ලෙස අද මෙන් “පිරිවෙන” නාමයෙන් ගැනෙන සුවිශේෂී ආයතන පැවති බවක් නොපෙනුණත් භික්ෂූන් වහන්සේ වැඩ වෙසෙන “කුටිය” යන්නෙන් අදහස් වූ පිරිවෙන හෙවත් භික්ෂු වාසස්ථාන එසේත් නැතිනම් වැඩ වාසය කරන විහාරස්ථානය භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත් විය.

මෙම බෞද්ධ අධ්‍යාපනයේ දී ප්‍රධානත්වය හිමි වී තිබුණේ භික්ෂූන් වහන්සේටයි. අනුරාධපුර මහමෙවුනා උයන තුළ පිහිටි මහා විහාරය පූජා කරනු ලැබුවේ දෙවන පෑතිස් මහ රජතුමා විසිනි. ඒ සමඟම රජතුමා විසින් මිහිඳු හිමියන් උදෙසාම “කාල පාසාද පිරිවෙන” නම් වූ සෙනසුන ද හදා පූජා කරනු ලැබුණි. මීට අමතරව “සුනහාත පිරිවෙන, දීඝවංකමත පිරිවෙන, මරුගන පිරිවෙන, ඵලග්ග පිරිවෙන, ථෙරපස්සාන පිරිවෙන, දීඝසන්ද සේනාපති පිරිවෙන ද ආදිය වේ.

මෙහි පැවති බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන අරමුණක් වූයේ පරම්පරාවෙන් මෙම දහම පවත්වාගෙන යාමයි.

එදා පැවති අධ්‍යාපන ක්‍රමයේ “වාචෝද්ග්‍රහණය” හෙවත් ධර්මය වනපොත් කිරීම බෞද්ධ අධ්‍යාපනලාභියාගෙන් අපේක්ෂා කරන මූලිකම කාර්යයක් බවට පත්විය. එවකට ලේඛන කලාවක් ව්‍යාප්තව නොපැවති හෙයින් උන්වහන්සේ යොදා ගත් මාධ්‍ය වූයේ “ශ්‍රැතිය හා ධාරණය” යයි.

මිහිඳු හිමියන් විසින් හඳුන්වා දෙන ලද අධ්‍යාපන ක්‍රමයේ දී ශ්‍රැතිය යන්නෙන් අදහස් කළේ ආචාර්යවරයා විසින් වාචිකව මතකයෙන් කියා දෙන ධර්මය ශිෂ්‍යයා විසින් මැනවින් ශ්‍රවණය කර ධාරණය කර ගැනීමයි. මහා විහාරීය භික්ෂූන් වහන්සේ විසින් මෙම ත්‍රිපිටක ධර්මය දිවිහිමියෙන් රැකගත් ආකාරය මනෝරථපුරණී නම් අංගුත්තර නිකායට්ඨ කතාවෙහි මැනවින් විස්තර කෙරේ.

මෙලෙස ධර්ම විනය කටපාඩමින් ගුරු ශිෂ්‍ය පරම්පරාවෙන් පවත්වාගෙන ආ නමුත් ලක්දිව දේශපාලන බලපෑම් මත මෙම අධ්‍යාපන රටාවට ද කිසියම් අභියෝගයක් එල්ල විය. වළගම්බා රාජ්‍ය සමයේ දොළොස් අවුරුද්දක් තිස්සේ පැවැති බැමිණිතියා සාගතය හේතු කොටගෙන ධර්මය කටපාඩමින් රැකගෙන ආ සමහර භික්ෂූන් එම සාගතයට හසුව ජීවිතක්ෂයට පත්විය. තවත් භික්ෂු පිරිසක් විදේශ ගත වූහ. බොහෝ භික්ෂූහු ගුරු පරපුරෙන් තමන්ට අයත්ව තිබූ දහම් කොටස් කටපාඩමින් රැකගෙන ආහ. දොළොස් වසරකින් පසුව සාගතය අවසන් වී විදේශ ගතව සිට පැමිණි භික්ෂූන් හා දුක සේ ජීවිතය රැක ගත් භික්ෂූන් එකතු වී ධර්මය ග්‍රන්ථාරූඪ කළ යුතු යැයි කතිකා කර ගත්හ. එවකට ථූපාරාම විහාරයේ වැඩ සිටි කුන්තගත්තතිස්ස තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් වළගම්බා රජතුමාගේ අනුග්‍රහයෙන් මාතලේ අළු ලෙනේ දී ධර්ම විනය සංගායනා කොට ග්‍රන්ථාරූඪ කරන ලදී.

මෙම ග්‍රන්ථාගත සංගායනාව ඉතිහාසයේ භික්ෂු අධ්‍යාපනය නව මඟකට යොමු කිරීමට සමත් විය. මෙතෙක් කලක් කටපාඩමින් රැගෙන ආ එම අධ්‍යාපන ක්‍රමවේදය ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමෙන් ලේඛන කලාවත් සමඟ ගමන් කරන අධ්‍යාපන රටාවක් බවට පරිවර්තනය විය.

මුල් කාලයේ පිරිවෙන් අධ්‍යාපනය භික්ෂූන් වහන්සේ පමණක් ධර්මය කටපාඩමින් රැකගෙන ඒමේ සම්ප්‍රදායක් විය. එය එසේ වුව ද ආරාම මුල් කරගත් මෙම අධ්‍යාපන ක්‍රමය භික්ෂූන් වහන්සේට සීමා නොවීය. මහින්දාගමනයත් සමඟම ලංකාද්වීපයෙහි ආරාම ඉදිවීම හේතුකොටගෙන ආරාමික අධ්‍යාපනය පොදු අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස භාවිත කෙරුණි. පොදුජනයාගේ ශුභසිද්ධිය උදෙසා ආරාම මුල් කරගෙන ධර්මශාලා ඉදිවිය. මෙම ධර්ම ශාලා ඇසුරින් පොදු ජනතාවට ඉගැන්වීම සඳහා විශේෂ භික්ෂු පිරිසක් පුහුණු වූහ. ඒ පිරිස විෂය වර්ග කොට දැක්විය හැකි ය.

ධර්ම කථික - ධර්මය පිළිබඳ දේශනා කළ පිරිස

පද භාණහක - ධර්ම පාඨ වචනයක්

පාසා විස්තර කරන පිරිස

දිවා කථික - දිවා කාලයේ ධර්මය

උගන්වන පිරිස

භාණක පරම්පරා - ත්‍රිපිටකය පාඩම් කළ පිරිස

ආරාමික අධ්‍යාපනයේ සුවිශේෂී කාල පරිච්ඡේදය ලෙස කෝට්ටේ රාජ සමය හැඳින්විය හැකි ය. මෙකල ග්‍රාමවාසි හා වනවාසී ලෙස පිරිවෙන් වර්ග විය. ඒ අතර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති තොටගමුවේ විජයබා පිරිවෙන ග්‍රාමවාසී භික්ෂූන්ගේ අධ්‍යාපන මධ්‍යස්ථානය විය. එසේම වනරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෑරගල පද්මාවතී පිරිවෙණ වනවාසී භික්ෂූන්ගේ අධ්‍යාපන ආයතනය විය. එසේම වීදාගම මහා මෛත්‍රී හිමියන් යටතේ ශ්‍රී ඝණානන්ද පිරිවෙන ද, කෝකිල සංදේශය ලියූ හිමියන් යටතේ දෙවුන්දර ඉරුගල්කුල තිලක පිරිවෙණ ද කෝට්ටේ යුගයේ තිබූ දීප්තිමත් අධ්‍යාපන මධ්‍යස්ථාන දෙකකි.

කෝට්ටේ යුගයේ පිරිවෙන් අධ්‍යාපනයේ ඉගැන්වූ විෂයයන් අතර “විනය පිටකය” හැදෑරීම අනිවාර්ය වී තිබූ බව පෙනේ. සිකවළද හා සිකවළඳ විනිස, සමාන්තපාසාදිකාව, විනය කර්ම, විනය විභංග ආදී පොත්පත්වල සඳහන් වීමෙන් ඒ බව මනාව පිළිබිඹු වේ.

ගිරා සංදේශයේ “චුල්සිඛ සිකවළද විමසන සගගණය” යන පද්‍ය පරීක්ෂා කිරීමෙන් ඒ බව තවත් තහවුරු වේ. මෙම යුගයේ කැපී පෙණුනු තවත් අංගයක් වූයේ උපාධි ප්‍රදානත්වයයි. තෙවලා වදනිසුරු (ත්‍රිපිටක වාගීශ්වර) ෂඩ්භාෂා පරමේශ්වර, ආදී උපාධි නාමයන් මෙකල භාවිත වූ බව පෙනේ. එසේම ඡන්දස් අලංකාර, තර්ක ශාස්ත්‍රය, නක්ෂස්ත්‍ර, වෛද්‍ය ශාස්ත්‍ර වැනි විෂයයන් ද කෝට්ටේ යුගයේ පිරිවෙන්වල උගන්වා ඇත. කෑරගල පද්මාවතී පිරිවෙණ මෙම විෂයයන් ඉගැන්වුව ද මේ විෂයයන් ගිහියන් පමණක් හදාළ යුතු විෂයයන් ලෙස සම්මතයක් විය. ගිරා සංදේශ කාව්‍යයට අනුව තොටගමුවේ විජයබා පිරිවෙණේ ගිහි ශිෂ්‍යයෝ පමණක් වෛද්‍ය විද්‍යාව හදාරා ඇත. මෑතක් වන තුරු ම පිරිවෙන් වෛද්‍ය ශාස්ත්‍ර ඉගැන්වුව ද එය හැදෑරුවේ ගිහි ශිෂ්‍යයන් පමණි.

දහසය වන සියවසේ මෙරට පැමිණි පෘතුගීසීන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයට අහිතකර තත්ත්වයක් උදාවිය. කෙසේ වුව ද මහනුවර යුගයේ පහළ වූ වැලිවිට සංඝරාජ හිමියන් මෙම බටහිර අධිරාජ්‍යවාදීන් නිසා අඩපණ වූ අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත කරවීය.

ඒ අනුව නියම කන්දේ අධ්‍යාපන මධ්‍යස්ථානය, පැල්මඬුල්ලේ අධ්‍යාපන මධ්‍යස්ථානය විශේෂ විය. මෙම අධ්‍යාපන මධ්‍යස්ථානවල අධ්‍යාපනය හැදෑරූ වළානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන්, රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණ ආරම්භ කළහ. මෙම අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යාපනය හැදෑරූ ශ්‍රී සුමංගල නාහිමියන් 1873 දී විද්‍යෝදය පිරිවෙනත්, රත්මලානේ ධම්මාලෝක නාහිමියන් 1875 දී විද්‍යාලංකාර පිරිවෙනත් ආරම්භ කරන ලදී.

මෙම විද්‍යායතන බිහිවීමත් සමඟම ලක්දිව වර්තමානය දක්වා පිරිවෙන් අධ්‍යාපනය ඉතා ශීඝ්‍ර ලෙස සංවර්ධනය වූ බව පෙනේ.