රට දැය සමය
රැක ගන්නට උරදුන්
සඟ පරපුරක උරුමය
කොළඹ ආනන්ද විද්‍යාලයේ
විශ්‍රාමික සහකාර විදුහල්පති
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි
ලාංකික භික්ෂූන් වහන්සේ පැවිදි පිළිවෙත් හි යෙදෙන ගමන් දුප්පත් පැල්පතේ පටන්
රජමැදුර දක්වා ඇතිවන විවිධ ගැටලු නිරාකරණය කිරීමටත්, රටේ සුබසිද්ධිය සඳහා විවිධ
ක්‍රියාමාර්ග ගැනීමටත් සෑහෙන උත්සාහයකින් ක්‍රියා කළ බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.
මේ සැමවිටක ම භික්ෂූන් වහන්සේ භික්ෂුත්වය නො කෙලසා රජතුමාටත් වඩා ඉහළ තැනක
වැජඹෙමින් ක්‍රියා කිරීම වැදගත් ය. දුටුගැමුණු රජතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස
රජතුමාගෙන් පසු ඔහු පුත් ථුල්ලත්තන කුමාරයා රජබැව්හි පිහිටු වූයේ ථූපාරාමයට රැස් වූ
භික්ෂූන් වහන්සේ ප්‍රධාන මැති ඇමතිවරුන් විසින් බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.
එපමණක් නොව රජවරුන්ගේ අභිෂේකයන් පවා භික්ෂූන් විසින් සිදුකරන ලද බව මහසෙන් රජුගේ
අභිෂේකය සංඝමිත්‍ර හිමියන් විසින් සිදුකිරීමෙන් පෙනී යයි. මේ අන්දමට සංඝයා වහන්සේගේ
මූලිකත්වයෙන් රජ බවට පත්වන තැනැත්තා බෝධිසත්වවරයකු හා සමාන යැයි පිළිගන්නා තරමට සංඝ
සමාජය පාලනය කෙරෙහි බලපා ඇත.
රටක් ධාර්මික වීමට පාලකයා විශේෂයෙන් ධාර්මිකව ක්‍රියා කළ යුතු බව බොහෝ අයගේ
පිළිගැනීම විය. මේ නිසා බොහෝ අවස්ථාවල බලයට පත්වන පාලකයන් කුඩා අවධියේ සිට
භික්ෂූන්ගේ ඇසුර ලබමින් අධ්‍යාපනය ලබා ගැනීමට පියවර ගෙන ඇත.
ඒ අනුව සිරිසඟබෝ රජතුමා කුඩා අවධියේ පටන් භික්ෂූන්ගේ ඇසුරෙන් අධ්‍යාපනය ලබා ගත් බව
හත්ථවනගල්ල විහාර වංශය පැහැදිලිව පෙන්වා දෙයි. දෙටුතිස්, මහසෙන් රජවරුන් දෙදෙනාට
කුඩා අවධියේ අධ්‍යාපනය ලබා දෙන ලද්දේ සංඝ මිත්‍ර හිමියන් විසිනි. ධාතුසේන රජතුමාට
මහානාම නම් හිමිනමක් විසින් අවශ්‍ය අධ්‍යාපනය ලබා දුන් බව වංසකතාව සඳහන් කරයි.
විහාරස්ථාන මුල්කොට එදා භික්ෂූන් වහන්සේ ලබා දුන් අධ්‍යාපනය ධාර්මිකත්වයට පත්
කිරීමට පමණක් නොව ආර්ථික අතින් උසස් තත්ත්වයක් ඇතිකිරීම පිණිස ද හේතු වූ බව ඉහත කී
රජවරුන්ගේ පාලන කාලයන් පිළිබඳ ඉතිහාසයේ දැක්වෙන කරුණුවලින් වටහා ගත හැකි ය.
රජ පවුල් අතර හෝ රට තුළ විවිධ වාද භේද යුද කලකෝලාහල ඇති වූ සෑම විටකම ඒවා සමනය කොට
සාමකාමී තත්ත්වයක් ඇති කිරීමට භික්ෂූන් මැදිහත්ව ක්‍රියා කළ බවට ඇති නිදසුන් එකක්
දෙකක් පමණක් නොවේ.
එළාර නම් ද්‍රවිඩ පාලකයා රජරට යටත් කොට ගෙන සිටි අවධියෙහි ගැමුණු හා තිස්ස යන
දෙසොහොයුරන් අතර අරගලයක් පැනනැඟුණ අවස්ථාවෙහි එය රටට ම බලපාන විපතක් බව තේරුම් ගත්
ගෝධගත්තතිස්ස හිමියන් වහා මැදිහත් වී මේ දෙසොහොයුරන් අතර සමඟිය ගොඩනැඟීම ඉතා වැදගත්
සිදුවීමකි.
වළගම්බා රජතුමා පාලනය ගෙන යද්දී ලංකාව ආක්‍රමණය කළ පුලහත්ථ, බාහිය, පනයමාර ආදී
ද්‍රවිඩයෝ ලංකාවේ රජු පලවා හැර රජරට පාලනය අයත් කොට ගත්හ. වළගම්බා රජු රුහුණට පැන
අවුත් හමුදාව සංවිධාන කරමින් සිටිය දී රජතුමා සහ ඇමැතිවරුන් අතර මහත් අර්බුදයක්
හටගත් අතර, ඒ විනාශකාරී තත්ත්වය නැති කොට ඔවුන් අතර සමඟිය ගොඩනැඟීමට ඉදිරිපත් වූයේ
හම්බුගල්ලක තිස්ස හිමියන් බව ඉතිහාසයේ සඳහන් වෙයි.
රජරට පාලනය කළ ද්‍රවිඩ ජාතික එළාර රජු හා සටන් වැදීමට සූදානම් වූ දුටුගැමුණු
කුමාරයා පළමුව තිස්සමහාරාමයට ගොස් මහා සංඝයා වැඳ ලංකාව නිදහස් කර ගැනීමේ සටනට
පිටත්ව යන බව දැන්වීය.
ගිහියෙක් සසුන්ගත වන්නේ “සබ්බදුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය” යනුවෙන් සියලු
දුකින් මිදී උතුම් වූ නිවන් සුව සාදා ගැනීම පිණිස යැයි ප්‍රතිඥා දී තිබුණත් එදා
ලංකාව නිදහස් කර ගැනීමේ සටනට යන බව ප්‍රකාශ කරත්ම පන්සියයක් භික්ෂූන් වහන්සේ
දුටුගැමුණු කුමාරයා සමඟ යාමට ඉදිරිපත් වූ බව වංසකතා පෙන්වා දෙයි. උන්වහන්සේ වැඩමවන
ලද්දේ සටන් සඳහා නොව සටනින් ජයගත් ප්‍රදේශවල සාමකාමී තත්ත්වයක් ඇති කිරීමට බව බොහෝ
ඉතිහාසඥයන්ගේ මතයයි.
මහා විහාරය සතු භූමිය අසුවන ලෙස ජේතවනාරාමය ගොඩනංවා මහා විහාර භික්ෂූන් තදබල
නොසතුටින් සිටිය දී මහා විහාරයට විරුද්ධ වූ සාගලිය නිකායට අයත් කොහොන්තිස්ස
හිමියන්ට එම අභිනව ආරාමය පූජා කිරීමට මහසෙන් රජතුමා පියවර ගෙන ඇත. මෙහිදී
කොහොන්තිස්ස හිමියන්ට විරුද්ධව මහා විහාරයීය භික්ෂූන් විනය චෝදනා එල්ල කොට රජතුමා
තදබල ලෙස විරුද්ධව සිටියදීත් එය නොසලකා එකී භික්ෂු නම සසුනෙන් නෙරපා හැරීමට තරම්
එඩිතර ශක්තියක් එදා මහා විහාරයේ භික්ෂූන් සතුව තිබුණි.
වෙනත් දේකට වඩා බුද්ධ ධර්මය ආරක්ෂා කර ගැනීම භික්ෂූන් සතු ප්‍රධාන ම කාර්යය විය. එය
ලාංකික භික්ෂූන්ට පමණක් නොව භාරතයේ භික්ෂූන් වහන්සේගේ ද ප්‍රධාන යුතුකම සේ සැලකූ බව
ඉන්දියාවේ පැවැත් වූ ථෙරවාදී සංගායනා ත්‍රිත්වයෙන් තහවුරු වෙයි.
ලංකාවේ වළගම්බා රාජ්‍ය සමයෙහි බැමිණිතියා නම් දොළොස් වසරක් පැවති දරුණු සාගතය නිසා
කටපාඩමින් ආරක්ෂා කරගෙන ආ ත්‍රිපිටක ධර්මය රැක ගැනීම බලවත් ප්‍රශ්නයක් විය. බලයෙන්
පහකොට සිටි වළගම්බා රජතුමා නැවත බලයට පත්වීමෙන් අනතුරුව මහා විහාර භික්ෂූන්
ප්‍රාදේශීය පාලකයකුගේ අනුග්‍රහයෙන් මාතලේ අලුවිහාරයේ දී අටුවා සහිත ත්‍රිපිටක ධර්මය
ග්‍රන්ථාරූඪ කිරීමට ක්‍රියා කිරීමේ වටිනාකම මෙපමණ යැයි සඳහන් කළ නොහැකි ය.
කවර ප්‍රශ්නයක් වුවත් භික්ෂූන්ට විරුද්ධව නැඟී සිටීමට හෝ උන්වහන්සේලාට අපහාස කිරීමට
සාමාන්‍ය ජනතාව හෝ පාලකයෝ ක්‍රියා කරන ලද බවක් නො පෙනේ. සංඝයා කෙරෙහි මහත්
භක්තියකින් ක්‍රියා කළ සද්ධාතිස්ස රජතුමා එක් දිනක් මහා විහාරයේ භික්ෂූන් වෙත දානය
පිළිගැන්වීමට ගිය අවස්ථාවක එක් භික්ෂු නමකගේ නොහික්මුණුබව ගැන කලකිරීමට පත්විය.
එතැන් පටන් රජතුමා දානය පිළිගැන්වීමට මිහින්තලා විහාරයට යාමට පටන්ගත් නමුත් මේ ගැන
ජනතාව තුළ සැකයක් ඇති වී තිබෙන බව දැනගත් රජතුමා කිසිවක් නොකියා නැවතත් මහා විහාරයට
දන් පිළිගැන්වූ බව මනෝරථපූරණී නම් අටුවාව පෙන්වා දෙයි.
තවත් අවස්ථාවක ලෝවාමහාපායෙහි විසූ තරුණ භික්ෂු නමකගේ කාමුක ඉරියව්වක් පිළිබඳ දැනගත්
සද්ධාතිස්ස රජතුමා තම සැදැහැවත් බව අඩුකර ගැනීමට හෝ භික්ෂූන් කෙරෙහි කලකිරීමක් ඇති
කර ගන්නට හෝ ක්‍රියා නොකළ බව පැහැදිලි ය.
මේ අන්දමට ක්‍රියා කළ භික්ෂූන් කිහිප නමක් සිටිය නමුත් විශාල වශයෙන් ලංකාවේ වැඩ
සිටින ලද්දේ උතුම් ගුණයන්ගෙන් යුත් භික්ෂූන් ය. අතීතයෙහි බාහිර කටයුතුවල නියුක්ත
භික්ෂූන් සෑහෙන ප්‍රමාණයක් වැඩ සිටියත් බොහෝ දුරට කෙලෙස් ප්‍රහීන කොට මගඵල ලැබූ
උතුමෝ බොහෝ වූහ. මේ දිවයිනෙහි පුහුදුන් භික්ෂූන් සොයා ගැනීමට නැතැයි යනුවෙන් සඳහන්
ප්‍රකාශයෙන් ඒ බව තහවුරු වෙයි. |