Print this Article


ශික්ෂණයේ ඇරඹුම අභිමානවත් දේශයක නිමැවුමයි

ශික්ෂණයේ ඇරඹුම අභිමානවත් දේශයක නිමැවුමයි

පොසොන් පොහෝ දා මුව දඩයමේ යමින් සිටි රජතුමා තිසරණයෙහි පිහිටුවා අනුක්‍රමයෙන් රාජකීයයන් සහ සාමාන්‍ය ජනතාව වෙත බුදුදහම හඳුන්වා දෙමින් අනුබුදු මිහිඳු මාහිමියන් ආරම්භ කළ මෙහෙවර විපුල ඵල දරමින් ලංකාව ධර්මද්වීපය වශයෙන් ප්‍රකට විය.

පන්සිල් සුරකින දැහැමි දිවිපැවැත්මකට ලක්වාසීහු හැඩ ගැසුණහ. බුදුදහම රාජ්‍යාගම වීමත් සමග දසරාජ ධර්ම, දස සක්විතිවත් අනුගමනය කළ පාලකයෝ තමන් බෝධිසත්වවරුන් ලෙස පරමාදර්ශී වීමට උත්සාහ කළහ. ලක්දිව කුල දරුවන් සසුන්ගතව ධර්ම විනයධර මහා යතිවරුන් වහන්සේ වශයෙන් මාර්ගඵලලාභී වූහ.

මිහිඳු මාහිමියන් වැඩමවා කෙටි කලෙකින් සංඝමිත්තා තෙරණිය විසින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවන ලදින් අර්ථශූන්‍ය අන්දමින් ලක්වාසීන් සිදු කළ වෘක්ෂ වන්දනා වෙනුවට අර්ථාන්විත බෝධි පූජා පැවැත්වීම් සිදු කිරීමට හුරු වූහ. සංඝමිත්තා තෙරණිය සමග පැමිණි අටළොස් කුලයක ශිල්ප ශ්‍රේණිවලට අයත් පිරිස මෙරට සෑම අංශයක ම උද්දීපනය උදෙසා කැප වූහ. බෝධීන් වහන්සේ උදෙසා සිදු කළ යුතු උපස්ථාන සහ පුදපූජා සඳහා මේ පිරිස යොදවන ලදි.

මහින්දාගමනය සිදු වූ මුල් වකවානුවේ ථූපාරාමය වැනි විශාලත්වයෙන් කුඩා දාගැබ් එතරම් තාක්ෂණික දියුණුවක් නොමැතිව, එනම් අභය වැවෙන් මැටි ගෙන්වා ඇතුගේ උසට සකස් කොට ධාන්‍යාකාර සෑය ඉදි කළ අතර සියවසක පමණ කාලයක දී මනා වූ ඉංජිනේරු තාක්ෂණික ශිල්පීය ක්‍රමයන් අනුගමනය කරමින් රුවන්වැලිසෑය වැනි මහා දාගැබ් ගොඩ නැංවීමට අවැසි ශිල්පීය ඤාණය ලැබුණේ මහින්දාගමනය නිසාවෙනි.

මිහිඳු මාහිමියන්ට වැඩ සිටීමට මැටියෙන් තැන වූ ගොඩනැඟිල්ල ඉක්මනින් වියළා ගැනීමට අවශ්‍ය වූ හෙයින් ගිනි අවුළා වියලූ බවත්, ඉන් පසු එය කළු පැහැ වීමෙන් කාලපාසාද පිරිවෙන නම් වූ බවත් සඳහන් වෙයි. එනම්, එතරම් දියුණු තාක්ෂණික ක්‍රම ශිල්ප භාවිත කිරීමට හුරුවක් නොතිබූ බව පෙනී යයි.

නමුත් දුටුගැමුණු රජ දවස වන විට නව මහල් ලෝවාමහාප්‍රාසාදය තැනවීම දක්වා ගෘහ නිර්මාණ ශිල්පය දියුණු වූයේ මහින්දාගමනයෙන් ලාංකිකයන් ලද ශික්ෂණය නිසා ය.

අභය වැව, තිසා වැව වැනි මුල් කාලයේ තැන වූ වැව් ප්‍රමාණයෙන් කුඩා වැව් වශයෙන් හඳුනා ගනී. වසභ රජ දවස විශාල ප්‍රමාණයේ වාරිකර්මාන්ත ගොඩනැංවීමට අවැසි ශිල්පීය ඤාණය ලබා ගැනීමට මිහිඳු හිමියන් මෙරටට වැඩමවිමෙන් ලද පිටිවහල සුවිශාල ය.

අනුරාධපුර මහාවිහාරය ආශ්‍රිතව දික්සඳ සෙනෙවියා පිරිවෙන, මයුර පිරිවෙන, කාලපාසාද පිරිවෙන වැනි පිරිවෙන් පැවතුණි. එසේම මෙරට අධ්‍යාපන ආයතන වශයෙන් විශාල මෙහෙවරක් සිදු කරන ලද්දේ විහාරස්ථානයයි.

මෙරට රචනා වී ඇති සම්භාව්‍ය පොත් සියල්ලක් ම පාහේ බෞද්ධ පොත්පත් වීම ද විශේෂ සිදුවීමකි. මහින්දාගමනයෙන් පසු සාක්ෂරතාව දියුණු වී උසස් සාහිත්‍ය ග්‍රන්ථ බිහි විය. මෙම සාහිත්‍ය ග්‍රන්ථ රචනා කිරීමේ අරමුණ සැදැහැතියන්ගේ ශාසනාභිරතිය හෙවත් සසුන පිළිබඳ ඇල්ම වැඩි කිරීමයි.

රජවරුන් පවා තෙරුවන කෙරෙහි ඉමහත් ගෞරවයකින් සිටි අන්දම ඉතිහාසයෙන් පෙනී යයි. ගැමුණු කුමරු හා තිස්ස කුමරු එකිනෙකා සමග යුද්ධ කරද්දී පැරදී පළා ගිය තිස්ස කුමරු ආත්මාරක්ෂාව පිණිස පන්සලක සැඟවීම එක් නිදසුනකි. විහාරස්ථානය තුළ ජීවිත අවදානමෙන් තොරව සිටීම හැකි වූ බවත් එසේම රාජකීයයන් ද විහාරස්ථානවලට හා භික්ෂූන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් පසු වූ බවත් මේ තුළින් පෙනී යයි.

හිත් පිත් නැති ගල් කුලකින් මහා කරුණාව පිරි සමාධි පිළිමය, අවුකන පිළිමය, තොළුවිල පිළිමය වැනි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමට අවැසි පදනම සැපයුණේ මහින්දාගමනයෙනි. මනරම් කැටයම්වලින් සපිරි කලානිර්මාණ බිහි වූයේ ද බුදු දහමින් ලක්වැසියන් ලද දායාද නිසාවෙනි.

අනුරාධපුර යුගයේ ලක්දිව කසාවතින් බැබළී තිබුණු අන්දම මූලාශ්‍රවල විස්තර කෙරෙයි. රුවන්වැලිසෑයට මුල්ගල් තැබීමේ සහ ධාතු නිධන් කිරීමේ උත්සවයට ලක්ෂ සංඛ්‍යාත භික්ෂූන් වහන්සේ පිරිසක් විවිධ රටවලින් ලංකාවට වැඩම කොට තිබේ. අනුරාධපුර මහාවිහාරය, තිස්සමහාරාමය, සිතුල්පව්ව වැනි මහාවිහාරවල දස දහස් ගණන් භික්ෂූන් වහන්සේ වැඩ සිටියහ. අනුරාධපුර රජ මැඳුර ආශ්‍රිතව පැවති මහාපාලි දාන ශාලාවේ දිනකට තුන් දහසක් පමණ භික්ෂූන් වහන්සේට දානය පූජා කළ බව එහි ශේෂ වී ඇති සුවිසල් බත් ඔරුවෙන් පෙනෙයි.

මේ සමඟ හෙළි වන අනෙක් කරුණ නම්, මෙලෙස මහා විහාර කර්මාන්ත කරවා ලක්ෂ ගණන් භික්ෂූන් වහන්සේ වැඩමවා පින්කම් කටයුතු සිදු කිරීමටත්, රටේ වැඩ සිටි දහස් ගණන් භික්ෂූන් වහන්සේ වෙත සිව්පසය පිදීමටත් හැකි අන්දමින් ලංකාවේ ආර්ථිකය සමෘද්ධිමත්ව පැවති බවයි.

දේශීය වෛද්‍යවිද්‍යාව ද බුදුදහමේ ආභාසයෙන් වර්ධනය විය. අනුරාධපුර හා පොළොන්නරු යුගවල තැන වූ අතිශය දියුණු මට්ටමේ ශල්‍ය උපකරණ, බෙහෙත් ඔරු හා රෝහල්වල නටබුන් හමු වී තිබේ.

බුද්ධදාස රජතුමා රෝගී වූ නාගයකුට ප්‍රතිකාර කොට සුවපත් කළේ ය. විවිධ පාලකයන් රටේ සෞඛ්‍ය පහසුකම් දියුණු කළ අන්දම ඉතිහාසයෙන් පෙනී යයි. මහින්දාගමනයෙන් සෞඛ්‍ය අංශය ද සභ්‍යත්වයට පත් වී යැයි සිතිය හැකි ය.

මිහිඳු මාහිමියන් ලංකාවට බුදුරදුන් වදාළ ධර්මය දේශනා කිරීමෙන් පසු ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ ලාංකික භික්ෂූන් වහන්සේ මුඛ පරම්පරාවෙන් එම ධර්මය සුරක්ෂිත කොට ගෙන ආහ. වළගම්බා රජ දවස මාතලේ අලුවිහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට තරම් සාක්ෂරතාව හා ලේඛන ක්‍රම ශිල්ප දියුණු වූයේ මහින්දාගමනයෙන් බව විද්වතුන්ගේ මතයයි.

සිංහල භාෂාවෙන් අට්ඨකථා සම්පාදනය කිරීමට ලාංකික හිමිවරුන් උත්සුක වූ අතර එම අට්ඨකතා ලෝකය පුරා මහත් සම්භාවනාවට පත් වූ බව පෙනී යන්නේ බුද්ධඝෝෂ හිමියන් හෙළ අටුවා සිය රට රැගෙන යනු පිණිස ලක්දිවට වැඩම වීම හේතුවෙනි.

පසුකාලීනව අභයගිරි, ජේතවන විහාර ආශ්‍රිතව ථෙරවාදී සම්ප්‍රදාය අභිභවා යමින් වෛතුල්‍යවාද, මහායාන සංකල්ප අනුගමනය කෙරුණ ද මහාවිහාරය නිවැරැදි අන්දමින් ශාසනානුලෝමිකව ම දිවි හිමියෙන් ක්‍රියා කරමින් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ලදී.