Print this Article


සැබෑ උපාසක ගුණ ඇත්තා පන්සිල් සුරකියි

සැබෑ උපාසක ගුණ ඇත්තා පන්සිල් සුරකියි

නිවන් දැකීමේ පළමු පියවර පංචසීලය ආරක්ෂා කිරීම යි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන සතර මඟඵල ලබන්නට පෙර මෙම පන්සිල් පද පහ ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. පංචසීලය ආරක්ෂා කිරීම තුළින් මිනිසාගේ චරිතය අර්ථවත් ලෙස සකසා ගත හැකි ය.

පාණාතිපාතා – ප්‍රාණයන් නොනැසීම, අදින්නාදානා – අන් දේ නො ගැනීම, කාමේසුමිච්ඡාචාරා – කාමයෙහි වරදවා නො හැසිරීම, මුසාවාදා – මුසා බස් නො දෙඩීම, සුරාමේරය – රහමෙරෙන් වැළකීම

මේ පන්සිල් පද පහ පෘථග්ජන මිනිසා නිතර සිහි කළ යුතු අතර, මෙහි සිල් එකින් එක ආරක්ෂා කිරීම ද කළ යුතු ය.

අප සමාජය තුළ ජීවත් වන විට කෙතරම් ඉහළට අධ්‍යාපනය ලබා ගත්ත ද චරිතය යහපත් නොවේ නම් එම පුද්ගලයාගෙන් වැඩක් නැත. එමනිසා අධ්‍යාපනය සේ ම යහපත් චරිතය ද ඉතා වැදගත් ය. පංචසීල ප්‍රතිපදාව තුළින් චරිතය යහපත් ලෙස සකසා ගත හැකි ය.

වර්තමාන සමාජයේ වෙසෙන බෞද්ධයන් උපාසක, උපාසිකා යනුවෙන් හඳුන්වයි. ඔවුන් එසේ හඳුන්වනුයේ පඤ්චසීල ප්‍රතිපදාව නිවැරැදිව ආරක්ෂා කරන නිසාවෙනි. එය ආරක්ෂා නොකරන කෙනාට කිසිසේත්ම උපාසක, උපාසිකා යනුවෙන් ඇමතීම සුදුසු නැත. ඒ සෑම බෞද්ධයෙක් ම පංචසීලයේ පිහිටවිය යුතු නිසාවෙන් ය.

පංචසීලයේ පිහිටි තැනැත්තා ද්වේෂය තුරන් කරන්නේ ය. කිසිම ජීවියකුට හිංසාවක් නො කරන්නේ ය. ඒ වගේම ඒ සියලු දෙය නැවතත් ඔවුන් ලබා ගන්නේ ය. පංචසීලයේ යමෙක් නො පිහිටියේ ද ඉන් ලැබෙන ප්‍රතිවිපාක ද බුදුන් වහන්සේ දේශනා කොට ඇත.

පන්සිල් පද බිඳෙන හැටි

පරපණ නැසීම

පාණෝභවේ, පාණසඤ්ඤි –

වධක චිත්ත මූපක්කමෝ

තේන ජීවිතනාසෝච –

අංගා පංච වධස්සිමේ

පණ ඇති සතෙකු වීම, පණ ඇති සතෙකු බව දැනීම, මරනු කැමති සිත, මරන්නට උපක්‍රම කිරීම, ඒ උපක්‍රමය නිසා මරණය සිදු වීම,

සොරකම

මනුස්ස භණ්ඩං තථා සඤ්ඤී – ථෙය්‍යචිත්ත මූපක්කමෝ

තේනේව භණ්ඩ හරණං –

පංච අංගානි ථෙනිතෝ

අනුන් සතු වස්තුවක් වන බව, අනුන් සන්තක වස්තුවක් යැයි දන්නා බව, පැහැර ගැනීම සඳහා ඇතිවන සොර සිත, පැහැර ගැනීමට උපක්‍රම කිරීම, වස්තුව පැහැර ගැනීම.

කාමය වරදවා හැසිරීම

වත්ථුං අගමතියංච –

තස්මිං සේවන මිත්තතා

පයෝගේ මග්ගෙන මග්ග –

පතිපත්‍යාධි වාසන

ඉති කාමස්ස චිත්තාරෝ –

පයෝගේතෝසා හත්ථිතා

සේවනය නොකළ යුතු ස්ත්‍රියක හෝ පිරිමියකු වීම, සේවනය කරන සිත ඇති වීම, සේවනයට උත්සාහ කිරීම, සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම,

බොරුව

වත්ථූනෝ විත්තඤ්චේව – විසංවාදන මානසං

වායමනා පරිඤ්ඤානං – මුසාවාදස්ස චාතුරෝ

කියන කරුණ බොරුවක් වීම, අනුන් රවටන අදහස, ඇඟවීමේ උත්සාහය, අසන ලද තැනැත්තා කී දෙය තේරුම් ගැනීම.

රහමෙර පානය

සුරාභවේ පාතුකාමෝ – අජ්ජෝ හරණ යෝගතා

තේනේව අජ්ජෝ හරණං – සුරාපානස්ස චාතුරෝ

සුරාවත් වීම, ඒවා බොනු කැමැත්ත, ඒ අනුව බීමට උත්සාහ කිරීම, ඒ අනුව බීම

මෙම කරුණු හේතු කොටගෙන පන්සිල් පද පහ බිඳෙන බව සඳහන්ව ඇත.

බෝසතාණන් වහන්සේ ද කුරුධම්ම ජාතකයේ දී පංචසීල ප්‍රතිපත්තියෙහි පිහිටා රටවැසියන් ද එහි පිහිටුවා දැහැමින් රට පාලනය කර සාමයත්, සමඟියත්, සමෘද්ධියත් ඇති කළ අයුරු මනාව පැහැදිලි වෙයි. මේ නිසාම පංචසීල ප්‍රතිපදාව සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි බෞද්ධයන් අතර පවත්නා උතුම් පිළිවෙතක් බව වටහා ගත යුතු ය.

වර්තමාන සමාජයේ බොහෝ මිනිසුන් අපි බෞද්ධ යැයි ලේබල් ගසමින් කෑගසා කීවත් ඉන් බොහෝ දෙනා පන්සිල් පද පහවත් ආරක්ෂා නො කරන පිරිස් ය. බෞද්ධ පාසලක උපන්නත් නියම වශයෙන් බෞද්ධ වන්නේ තෙරුවන් සරණ ගතවීමෙනි.

පුහුදුන් තෙරුවන් සරණ කිලිටිවන සුළු ය. කැඩෙන සුළු ය. පන්සිල් ද එසේ ම ය. එහෙයින් තෙරුවන් සරණ යෑමත්, පන්සිල් සමාදන්වීමත් දිනපතා සිදු කිරීම සිරිතක් විය යුතුය.

රටත්, ගමත්, ප්‍රදේශයත් භෞතික සම්පත්වලින් දියුණුූ වීමෙන්ම ඵලක් නැත. රටේ ජීවත් වන මිනිසුන් සුචරිතවත් විය යුතු ය. ධාර්මික විය යුතු ය. සදාචාර සම්පන්න විය යුතු ය. එවිට ම රට ගුණගරුක රටක් බවට පත් වේ. පංචසීල ප්‍රතිපදාව ඒ සඳහා ඉවහල් වේ.