Print this Article


පරම ධනය අහිමි ජීවිතය නිසරු ය

පරම ධනය අහිමි ජීවිතය නිසරු ය

‘සන්තුට්ඨි පරමං ධනං’ යනුවෙන් සතුට පරම ධනය ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක. කරණීය මෙත්ත සූත්‍රයේ දී ‘සන්තුස්සකෝ’ යනුවෙන් දක්වා ඇත්තේ ද සතුටයි. පැවිදි බව සපුරා ගැනීමට උත්සාහ දරන භික්ෂුව සතු පූර්වලක්ෂණයක් ලෙස එය දක්වා තිබේ. පුද්ගලයකුගේ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයකි සතුට. සතුටෙන් තොර ජීවිතයේ කිසිම අගයක් නැත. කොතරම් ධනය ඇතත් සතුට නමැති ධනය නැති තැන ජීවිතය නිසරු ය.

බුදු දහමෙහි ත්‍රිවිධ සතුටක් පිළිබඳ සඳහන් වෙයි. ඒවා නම්

යථාලාභ සන්තුෂ්ටිය, යථාබල සන්තුෂ්ටිය හා යථාසාරුප්ප සන්තුෂ්ටියයි.

යථාලාභ යන්නෙන් අදහස් වන්නේ ලද පමණින් සතුටට පත්වීමයි. සෑම අයෙක් ම වැඩි වැඩියෙන් සම්පත් ලබා ගැනීමට කැමැත්තක් දක්වයි. ඇතැමකු දෛවයේ බලයෙන්, එනම් පෙර කරන ලද කුසල් බලයෙන් වස්තු සම්පත් ලබා ගැනීමට තම ශ්‍රමය කැප කරති. කෙසේ වෙතත් ඉඩකඩම්, වතුපිටි, දේපළ, මිල මුදල්, ආහාරපාන වැඩි වැඩියෙන් ලබා ගැනීමට කැමැත්තක් දැක්වීම පුද්ගල ස්වභාවයයි. ඒ සඳහා ආර්ථික ශක්තියක් නොමැති නම් ණයකරුවෙක් වෙයි. නොඑසේ නම් වංචා, දූෂණ, මැරකම් ආදියට පෙළඹෙයි. එවිට සිදුවන්නේ ඔහුට දෙලොවම දුක්විඳීමටයි.

‘න කහාපණ වස්සේන තිත්ත කාමේසු විජ්ජති’ යන ධම්ම පදයේ බුද්ධ වග්ගයේ එන ගාථා පාඨයෙන් පැහැදිලි වන්නේ කහවනු වර්ෂාවකින් වුව ද පෘථග්ජන පුද්ගලයා සෑහීමකට පත් නොවන බවයි. කොපමණ ලැබුණත් ඇති වීමක් නැති මිනිසුන් සදාකාලිකව ම අසහනයෙන්, දුකෙන් වේදනාවෙන්, පශ්චත්තාප වන්නේ ය. රන් වැසි වැස්සවීමට සමත් වූ මහා මන්ධාතු රජතුමා ද තෘප්තිමත් බවට පත් වූයේ නැත. අතෘප්තිකර ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයාට සතුටක් කිසිසේත්ම නොලැබේ.

බුදු දහමෙහි යථාබල සන්තුෂ්ටිය ලෙස දැක්වෙන්නේ බලය ඇති පමණින් සතුටට පත්වීමයි. තමාගේ හැකියාව, දක්ෂතාව, උගත්කම, පලපුරුද්ද ආදිය ගැන සලකා ඊට සරිලන අයුරින් නිලතල නම්බුනාම ආදිය ලබාගත යුතු ය. සුදුසු නිලතල දැරිය යුතු ය. සුදුසුකම් ඉක්මවා යන නිලතල නොපැතිය යුතුය. බලලෝභී වූ කල්හි බලය ලබාගැනීම පිණිස අපරාධ, මිනීමැරුම්, හොර බොරු ආදියෙහි නියැළෙන්නකු බවට පත්වෙයි. ඒ මඟින් සමස්ත සමාජය ම පිරිහීමට ලක්වෙයි.

යථා සාරුප්ප යනු තමාට යම් පදවියක්, තනතුරක් ලැබුණු කල්හි තමන්ට වඩා ඒ සඳහා සුදුස්සකු සිටියි නම් ඔහුට එම තනතුර, පදවිය පිරිනැමීම තුළින් ඇතිවන සතුටයි. මෙය මහත්මා ගුණයකි. අපහසු වුවත් කළයුතු උදාර පිළිවෙතකි. මේ අනුව දෙලොව ම සැප ලබන්නකු බවට පත් වෙයි.

වත්මන් සමාජය දෙස බලන විට වස්තු සම්භාර හිමි කර ගැනීමට, උසස් නිලතල නම්බුනාම ලබා ගැනීමට බොහෝ දෙනා නින්දිත ක්‍රියාවන්හි නිරත වෙන බව පෙනී යයි. මෙම තත්ත්වය සාමකාමීව ජීවත්වීමට ප්‍රයත්න දරන අයට පවා තර්ජනයකි. ජීවිතය ටික කලකට පමණක් සීමා වී පවතින්නකි. එබැවින් සියලු දෙනා විසින් ම කළ යුත්තේ ඒ ටික කාලය අනුනට කරදරයක් නොවී සතුටින් ජීවත් වීමයි.

ලද දෙයින් සතුටුවීම යනුවෙන් බුදු දහමේ පෙන්වා දෙන්නේ අලස වීම හෝ කුසීත වීම හෝ නොවේ. කාහට වුවත් තම ජීවිතය සතුටින් ගත කිරීමට නම් යම්කිසි ධනයක් අවශ්‍ය වෙයි. මෙහිදී ධනය ඉපයීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විසින් ව්‍යාග්ඝපජ්ජ කුල පුත්‍රයාට දෙන ලද උපදේශය සිහිපත් කළ යුතු ය.

උට්ඨාන විරියාධිගතේහි
බාහා බල පරිචිතේහි
සේද චක්ඛිත්තේහි
ධම්මිකේහි ධම්ම ලද්දේහි භෝගේ හි

උට්ඨාන වීර්යයෙන් යුක්තව, බාහු බලයෙන්, දහඩිය වගුරුවමින් ධනය ඉපයිය යුතු බව මෙහිදී පෙන්වා දී ඇත. සිඟාලෝවාද සූත්‍රයේ දී ධනය රැස් කළ යුතු ආකාරය උපමා දෙකක් මඟින් පෙන්වා දී තිබේ. “භමරස්සේව ඉරියතෝ” ‘බඹරකු මල නොතලා මල් පැණි රැස් කොට විශාල වූ වදයක් තනන්නා සේ ‘ධම්මිකෝ වුප චීයතී’ වේයකු මැටි පිඩ බැගින් ගෙන ගොස් විශාල වූ තුඹසක් බඳින්නා සේ යනු එම උපමා දෙකයි. මෙසේ ධනය උපයන්නාගේ දියුණුව කෙමෙන් කෙමෙන් සිදු වුවත් එය ස්ථාවර ස්වභාවයක් ගනී. ඔහුට යහපතක් වන්නා සේ ම එයින් සමාජයට ද යහපතක් සිදු වෙයි. එසේම ඔහුට සතුටින් ජීවත් වීමට ද ඉඩ කඩ සැලසෙයි.

බුදුරජාණන් වහන්සේ විසින් අනේපිඬු සිටුතුමාට ගිහියකු විසින් විඳිය යුතු සැප හතරක් පිළිබඳ දේශනා කරන ලදී. එනම්,

අත්ථි සුඛය, භෝග සුඛය, අනණ සුඛය, අනවජ්ජ සුඛය යනුයි.

තමා විසින් දැහැමින් සෙමින් උපයාගත් ධනය තමන්ට ප්‍රමාණවත් යැයි ඇතිවන සතුට අත්ථි සුඛයයි. තමා විසින් උපයා ගත් ධනය තමාගේ පරිභෝජනය සඳහාත් තම පවුලේ සාමාජිකයන්ගේ ඥාති හිතමිතුරන්ගේ යුතුකම් ඉටු කිරීම සඳහාත් පරලොව සුගතිය සඳහාත්, යෙදවීමෙන් ලැබෙන සතුට භෝග සුඛය නම් වේ.

තමන් කිසිදා කිසිවකුට ණයක් නැත යන හැඟීමෙන් ඇතිවන සතුට අනණ සුඛයයි. අත්ථි සුබ, භෝග සුඛ, අනණ සුඛ සහ ත්‍රිවිධ සුඛයෙන් යුක්ත පුද්ගලයා තිදොරින් නිවැරැදි ක්‍රියාවලින් යුක්තව තමාගේ දිවි පෙවෙත විමසා, ඒ පිළිබඳ සොම්නසට පත් වේ නම් එය අනවජ්ජ සුඛයයි.

අද අපට දැකිය හැකි වන්නේ මුදල් පසුපස වේගයෙන් හඹායන සමාජයකි. එසේ වුවත් දේපළ මිල මුදල් ආදී භෞතික සම්පත් වැඩි වූ තරමට දුක, වේදනාව, අසහනය, සොර සතුරු උවදුරු ආදිය වැඩි වෙයි. සම්පත් වැඩි වූ තරමට ලෝභය තරගකාරීත්වය, මානය හා අහංකාරය ද වැඩිවෙයි. මිනිසා නොමිනිසෙක් වෙයි.

දිනක් බුදුරජාණන් වහන්සේට ශෝකයෙන් පෙළෙමින් සිටි ගොවියෙක් හමු විය. එවිට උන්වහන්සේ ගොවියාගෙන් ශෝක වීමට හේතු විමසූ සේක. ගොවියා පැවසුවේ තමාට සරුසාර තල හේනක්, පුෂ්ටිමත් ගවයන්, කීකරු බිරිඳක්, සුව පහසු ඇඳක් ආදිය තිබී, ඒ සියල්ල අහිමි වීම නිසා ශෝකයෙන් පෙළෙන බවයි.

ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ “ඒ කිසිවක් මට නැති බැවින් මම සුව සේ වෙසෙමි.” යනුවෙන් වදාළ සේක.

තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං

ධම්මපදයේ පිය වග්ගයේ එන මෙම ගාථාවෙන් පෙන්වා දෙන්නේ ආශාව නිසාම ශෝකය හා බිය හටගන්නා බවත් ආශාවෙන් වෙන් වූ කල්හි ඒ දෙකම නැතිවන බවත් ය.

මේ නිසා අනවශ්‍ය ආකාරයේ වස්තු, සම්පත් ලබා ගැනීමට, නිලතල නම්බුනාම ලබා ගැනීමට යෑමෙන් සිදුවන්නේ තමන්ගේ සතුට නැති කර ගැනීමයි. මානසික තෘප්තියට සතුට ඉවහල් වෙයි. නීරෝගි භාවය රැක ගැනීමට ද ඇති හොඳම මාර්ගයක් ලෙස සතුට දැක්විය හැකි ය. සිදුහත් තවුසාණෝ පැවිදි වී සිංසපා වනයේ දී නිරාහාරයෙන් ගත කළේ පැවිදි වීමෙන් ලැබූ සතුට හේතුවෙනි. එසේම බුද්ධත්වයට පත් වූ උන්වහන්සේ නිරාහාරව සත් සතියක් ගත කළේත් බුදුවීමෙන් ලැබු, සතුට හේතුවෙනි.

වරක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පස්ව සිට මෙසේ පැවසීය. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඇඟ රැළි වැටුණු, පඬුවන් පාට වූ, නහර ඉල්පුණු, මස් සිඳීගිය ඇතැම් ශ්‍රමණයන් දුටුවෙමි. දැකුම්කලු මස්, ලේ ඇති මනා රූ සපුවෙන් යුත් ඔබ වහන්සේගේ සවුවන් ද දුටුවෙමි. මෙහිදී කල්පනා වූයේ කෙසේ නමුත් ඒ ශ්‍රමණයින් රහසින් හෝ පව් කරනු ඇත කියා ය. එබැවින් මෙහි රහස කියනු මැනවි. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

මාගේ ශ්‍රාවකයෝ අතීතය ගැන කතා නොකරති. අනාගතය ගැන ද කතා නොකරති. වර්තමානයේ ම ජීවත් වෙති. එබැවින් වර්ණය ප්‍රසාද ජනක වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ තමාගේ අතීතය ගැන මෙනෙහි කරමින් කාලය ගත නොකළ යුතු බවයි.

තිබෙනවාට වඩා අනවශ්‍ය පමණට ප්‍රාර්ථනා නොකළ යුතු ය. තම අවශ්‍යතා හඳුනාගෙන ඒවා සම්පූර්ණ කරගනිමින්, තෘෂ්ණාව පාලනය කරගත යුතු ය. අන් සතු වස්තු දෙස ලෝභීව නොබලා තමාට ලැබුණ දෙයින් සෑහීමට පත්විය යුතු ය. සමාජය සමඟ අන්‍යොන්‍ය සබඳතා පවත්වා ගෙන යාමට නම් සිනාමුසු මුහුණක් අවශ්‍ය වේ. සිනාව නැති තැන සහයෝගයක් නැත. සහයෝගයක් නැති තැන පොදු බවක් ද නැත. හුදෙකලා වීම ද දුකකි. එයින් අනිෂ්ට ප්‍රතිඵල උදාවිය හැකි ය. එබැවින් අසතුටට හේතුවන ක්‍රියාවන්ගෙන් වැළකී, අන්‍යයන් අතරේ හොඳහිත දිනාගත්, දුටුවන් ප්‍රිය ජනක ප්‍රසාද ජනක පුද්ගලයකු වීමට ප්‍රයත්න දැරිය යුතු ය.