Print this Article


ඇසුරක වෙනස ජීවිතය ම වෙනස් කරයි

ඇසුරක වෙනස ජීවිතය ම වෙනස් කරයි

“බාලයන්” යැයි කී පමණින් හැඟෙන්නේ වයසින් බාල වූ පුද්ගලයන් පිළිබඳය. එහෙත් බුදු දහමෙහි බාලයන් යන්න අර්ථ ගැන්වෙන්නේ මෙසේ ය. එනම් ගුණ නැණින් බාල වූ, හීන වූ පාපී පුද්ගලයන් ය.

මෙලොව යහපත පිණිස, පරලොව යහපත පිණිස ද හැසිරීමක් නැත්තා වූ තමාගේ මෙන් ම අන් අයගේ ද දෙලොව වැඩ නසන්නා වූ, දුශ්චරිතයන් පුරන්නා වූ මෙන් ම වඩන්නා වූ පුද්ගලයා “බාලයා” යැයි දත යුතු ය.

මේ ආකාර වූ බාලයා හඳුනා ගැනීමට උපකාරවන ලක්ෂණ තුනක් ඇති බව බුදුරජාණන් වහන්සේ “අංගුත්තර නිකායේ තික නිපාතයෙහි වදාරා ඇත. ඒ, බාලයා නපුරු සිතිවිල්ලක් ම සිතන්නේ ය. නපුරු වචන ම කියන්නේ ය. නපුරු දෙයක් ම කරන්නේ ය.

මේ ආකාර වූ බාලයා ලොවට මහත් අනර්ථ කරන්නා වූ, ලොවට ම සාපයක් වූ පුද්ගලයෙකි. යම් අයකුට පැමිණෙන සියලු දුක් – විපත්, භය කරදර සිදුවන්නේ බාලයන් ඇසුර නිසා ම ය. පණ්ඩිතයකු ගේ ඇසුරෙන් කිසිවකුට කිසිවිටෙකත් විපතක්, කරදරයක් ඇති නොවන බව සියල්ල දැන වදාළ බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

බාලයා සේවනය නොකිරීම, ඇසුරු නො කිරීම දෙලොව සැපතට හේතු වේ. එසේ හෙයින් එය මංගල කරුණකි. දියුණුවට කරුණකි.

යමෙක් ධනයෙන්, ඥානයෙන්, ගුණයෙන් භාග්‍ය සම්පන්නයකු වනුයේ ද ඒ වගේ ම ධනය, ඥාන ගුණයෙන් පිරිහී මහත් වූ අවාසනාවන්තයකු වන්නේ ද තමන් ඇසුරු – නිසරු කරන්නාගේ බලපෑමෙනි. මිනිසා රාක්ෂයකු කිරීමට ද, උගතා – නූගතා කිරීමට ද බලවතා – දුබලයකු කිරීමට ද, සිල්වතා – දුශ්ශීලයකු කිරීමට ද, ගුණවතා – පව්කාරයකු කිරීමට ද, පව්කාරයා – ගුණවතකු කිරීමට ද, දුශ්ශීලයා සිල්වතකු කිරීමට ද ඇසුර ප්‍රබල වේ. තමන් ඇසුරු කරන්නා තුළ පවතින යහපත් ගුණ හෝ අයහපත් ගුණ ඇසුර ලබන්නා තුළ ද ඇතිවීම ස්වභාවික ය.

“බාලයා” නම් සමාජයට පව්කාරයෙක් නිර්මාණය කරන්නෙකි. එසේ හෙයින් බාලයාගේ ඇසුර ලබන්නාට පව්කාරයකු නොවී, ඇසුරෙන් ඈත් වීම ඉතා දුෂ්කර ය.

බාලයාගේ ඇසුර නිසා වෙනස් නොවෙන යමෙක් වෙතොත් ඔහු හෝ ඇය බොහෝ ගුණ ධර්මයන්ගෙන් මනස දියුණු වූවෙකි. අපට මේ සමාජයේ දී දක්නට ලැබෙනවා ඉතා යහපත්, ගුණගරුක මව්පියන්ගේ දරුවන් පවා බාලයන් ඇසුර නිසා අයහපත්, පව්කාර පුද්ගලයන් බවට පරිවර්තනය වන අයුරු.

එදා බුදුරජාණන් වහන්සේ දවස බිම්බිසාර රජු බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසූ පළමු දිනයේ දී ම සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයෙකි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයෙක් ද විය. සෝවාන් ඵල ලබන්නට තරම් පිනැති තම පුත් අජාසත්ත කුමරු, දෙව්දතුන්ගේ අසත්පුරුෂ, බාල, පව්කාර ඇසුර නිසා මහා පව්කාරයෙක් විය. තම පිය රජු වු බිම්බිසාර රජතුමාට වද හිංසා පමුණුවා පීතෘ ඝාතනය කළ නිසා අදටත් නිරයෙහි පැසෙයි. අජාසත් රජු අසත්පුරුෂ බාල අදහස් දරණ දෙව්දත් තෙරුන් ඇසුරු නොකර පණ්ඩිතයන් ඇසුරු කළා නම් විශාඛා, අනාථපිණ්ඩික ආර්ය ශ්‍රාවකයන් මෙන් අද ද දෙව්ලොව සැප විඳින්නට හැකියාව තිබුණිය.

පෙර දවස දඹදිව එක් පර්වතයක ගිරවුන් වසන ඉඹුල් ගස් විය. එක් ඉඹුල් ගසක ගිරා පැටවුන් දෙදෙනෙක් වෙසෙන බෙනයකි. මේ පර්වතයෙහි එක් පැත්තක සොරුන් වෙසෙන ගමක් ද, අනෙක් පැත්තේ තාපසයන් වෙසෙන ආරාමයක් ද විය. ගිරා පැටවුන්ට පියඹා යා නොහැකි අවධියේ දිනක් සුළඟත් සමඟ මහ වැසි වැස්සේ ය. ඒ සුළඟට හසු වූ ගිරා පැටවුන් දෙන්නාගෙන් එක් පැටවෙක් සොරුන් වසන ගමටත්, අනෙක් පැටවා තාපසයන් වෙසෙන ආරාමයටත් වැටුණි. සොරුන්ට අසු වූ ගිරා පැටවා සොරුන් සමීපයෙහි ද, ආරාමයට වැටුණු ගිරා පැටවා තාපසයන් ඇසුරෙහි ද වැඩුණි.

දිනක් උත්තර පංචාල නුවර රජු පිරිවර සමඟ දඩයම සඳහා වනයට ඇතුළු විය. මුවෙක් පසු පස ලුහු බැඳ ගිය රජු වනය මැදට පිවිසියේ ය. එහි දී සොරුන් වසන ගම අසල සිත්කලු දොළක් දැක එයින් නා, පැන් බී, ගිමන් නිවා ගන්නට ගසක් සෙවණේ මදක් හාන්සි විය. සොර මුල සමඟ වෙසෙන ගිරවා ගස් සෙවණේ සිටින රජු දැක ‘අරූ අල්ලා මරා බඩු ගනිමු” යැයි කෑ ගැසීය. ඒ හඬ ඇසූ රජු බියට පත්ව ගස් සෙවණෙන් නැඟිට වහ වහා පලා ගියේ ය. ඒ යන අවස්ථාවේ තවුසන් වෙසෙන ආරාමය දැක රජු එහි ළං විය.

එහි යන විට ආරාමයේ සිටියේ තාපසවරු ඇසුරේ වැඩෙන ගිරවා පමණි. තාපසවරු පලවැල පිණිස වනයට ගොස් ය. රජු දුටු මේ ගිරවා “පින්වත් මහ රජ, ඔබ මෙහි පැමිණීම ඉතා යහපත්, මෙහි වාඩි වී ගමන් විඩා හැර මේ පලවැල වළඳන්න. අපගේ තාපසවරු පලවැල පිණිස වනයට ගියහ. දැන් දැන් ම වඩිති. මිහිරි හඬින් පැවසී ය.

මේ කතාවෙහි පැහැදුණු රජු “මේ තමයි පරම සත්පුරුෂ ඇසුර. මට පළමු හමු වූ ගිරවා මා මරා පැළැඳි ආභරණ ගැනීමට සූදානම් විය. ඒ පරම අසත්පුරුෂ ඇසුරයි. ආරමයෙහි වූ ගිරවාට රජු “තොප ඉතා යහපත් යැයි මුව නො සෑහෙන්නට ස්තූති කළේ ය.

රජුගේ මේ වදන් ඇසූ ගිරවා පැවසුවේ මහරජ, ඔහු හා මම එක මව්කුස උපන්නෙමු. ඔහු බාල ඇසුරෙහි හැදී වැඩුණු හෙයින් බාලයෙක් ම විය. මම සත්පුරුෂ ඇසුරෙහි හැදී වැඩුණු හෙයින් සත්පුරුෂ ගතිගුණ ඇති වී යැයි කරුණු පහදා දුනි.

“යමෙක් කුසතණ අගින් කුණු වූ මස් ඔතා තබන්නේ ද, ඒ හේතුකොට කුසතණ ද දුගඳ හමන්නේ ය. එසේ ම බාලයා ඇසුරු කිරීමෙන් අපකීර්තිය, දුර්ගන්ධය ම හමන්නේ යැයි ද, යමෙක් යම් කොළයකින් සුවඳ ද්‍රව්‍යයක් ඔතා තබයි ද, ඒ හේතුකොට ඒ කොළය ද සුවඳ හමන්නේ ය. එසේම පණ්ඩිතයන් ඇසුරු කිරීමෙන් කීර්ති ප්‍රශංසා වූ සුවඳ ම හමන්නේ යැයි පැහැදිලි කර රජුට දහම් දෙසීය.

මෙසේ හෙයින් තමන් පළමුව ඇසුරට ළං කර ගත යුත්තා හා නොකර ගත යුත්තා කවරෙක් දැයි හොඳින් හැඳින ගත යුතු ය. ඒ සඳහා ඇසුරට පෙර ඇසුරු කරන්නාගේ නියම ගති ගුණ හොඳින් විමසිය යුතු ය. ඇසුරට ළං කර ගන්නා තුළ කොතෙක් දුරට හොඳ ගති ගුණ තිබේ දැයි විමසා බලා නිගමනයට ලක් කළ යුතු ය. යමෙක් ධනවත් වුවත්, බලවත් වුවත්, කුලවත් වුවත් යහපත් ගතිගුණ නැති නම් ඔහු හෝ ඇය ඇසුරට නුසුදුස්සෙකි. ඒ වගේ ම කුලයෙන් පහත් වුවත්, දුප්පත් වුවත් ගති ගුණවලින් යහපත් නම්, උසස් නම්, ඔහු හෝ ඇය ඇසුරට සුදුස්සෙකි.