Print this Article


රුවින් අගතැන්පත් අශෝකමාලා චණ්ඩාල කුලයේ ඉපදුණේ ඇයි?

රුවින් අගතැන්පත් අශෝකමාලා චණ්ඩාල කුලයේ ඉපදුණේ ඇයි?

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලොව පවතින කාලයේ දඹදිව බරණැස් නුවර ජීවත් වුණා බොහෝම දුප්පත් වයසක කාන්තාවක්. ඇය දන් දෙන්න, පින්කම් කරන්න නිතරම උත්සාහ කළා. තමන්ගේ වතුපිටිවලින් ලැබෙන ආදායමෙන් හැමදාම දන් දුන්නා. ගෙවල් සමීපයේ ම පිහිටලා තිබුණ ආරාමයක තෙරුන් වහන්සේ දෙනමක් දිනපතාම දහවල් දානයට වැඩම කරන්නේ මේ නිවසටයි.

දවසක් එක් නමක් වේලාසනින් ඒ නිවසට වැඩම කළා. ඒ වෙන විට දානය සකස් කරලා අවසන් වෙලා තිබුණේ නෑ. මහලු කාන්තාව තෙරුන් වහන්සේට වන්දනා කර ‘ස්වාමීනි, තවම දානය සකසා අවසන් කර ගන්න බැරි වුණා. අර ශාලාවට වැඩම කර මද වේලාවක් වැඩ ඉන්න. දානය සකසාගත් සැණින් ම ඔබ වහන්සේට ආරාධනා කරන්නම්’යි කියා සිටියා.

තෙරුන් වහන්සේත් නිවසට මදක් ඈතින් පිහිටා තිබුණ ශාලාවට වැඩම කර වැඩ සිටින විට තවත් ආගන්තුක භික්ෂූන් වහන්සේ නමක් එතැනට වැඩම කළා. දැන් දෙදෙනා වහන්සේ ම ආගිය තොරතුරු දැනගෙන ධර්මය ගැන කථා කරන්න පටන් ගත්තා. ධර්ම සාකච්ඡාව දිගින් දිගට ම පවත්වාගෙන ගියා. උන්වහන්සේලාට දානය වේලාව පැමිණි බවවත් මතක නෑ.

දානය සකසා අවසන් වුණ මහලු කාන්තාව තමන්ගේ දුව අමතා ‘පුතේ, ඉක්මනින් ම ශාලාවට ගිහින් තෙරුන් වහන්සේට දානයට වැඩම කරන්න ආරාධනා කරන්න’යි කියා පිටත් කර හැරියා. තරුණිය ශාලාවට යන විටත් ධර්ම සාකච්ඡාව අවසන් වෙලා තිබුණේ නෑ. දැන් අවසන් වෙයි, දැන් අවසන් වෙයි කියලා ටික වේලාවක් බලා සිටියා. ඒත් කථාව අවසන් වුණේ පිණ්ඩපාත වේලාව ඉක්මවා යන්න ටික වේලාවකට පෙරයි.

‘ධර්ම සාකච්ඡාව අවසන් වෙනවාත් සමඟ ඇය සාධුකාර දී පින් අනුමෝදන්ව දානයට ආරාධනා කළා. පෙරමඟ බලා සිටින මැහැල්ල මොහොතින් මොහොත කේන්ති ගන්න පටන් ගත්තා. පණිවිඩය අරගෙන ගිය දියණිය පැමිණි වහාම ‘චණ්ඩාල කෙල්ල, තොප කොහේ ඇවිද ඇවිද ඉඳලද භික්ෂූන් රැගෙන ආවේ?’යි කියලා දොස් කියන්න පටන් ගත්තා. ඇනුම් බැනුම්වලින් දුවගේ හිතටත් බොහෝම වේදනා දුන්නා. ඉවසාගෙන සිටිය නොහැකි ම තැන ‘මම දෙදෙනා වහන්සේගේ ධර්ම සාකච්ඡාව අවසන් වෙනකම් හිටියා. ඒකට බාධා කරන්න ගියේ නෑ. ඒ නිසයි ප්‍රමාද වුණේයි කියලා ඇත්ත තත්ත්වය පැවසුවත් දිගින් දිගටම දොස් කියන්න පටන් ගත්තා. ඉවසා ගත නොහැකි ම තැන’චණ්ඩාලිය, මම නොව තොපම තමයි’යි කියමින් මවටත් දොස් කියන්න පටන් ගත්තා.

මේ සිදුවීමෙන් දෙදෙනාම පව් සිදු කර ගත්තා. ආයු කෙළවර දෙදෙනා ම බොහෝ පින්කම් කර තිබුණ නිසා දෙව්ලොව උපත ලැබුවා. බොහෝ කාලයක් දිව්‍ය සම්පත් විඳ ලංකාද්වීපයේ දුටුගැමුණු රජතුමා රාජ්‍ය කරන කාලයේ අනුරාධපුරයේ හෙල්ලොලිය නම් ගමේ චණ්ඩාල නායකයාට දාව උපත ලැබුවා. උපතින්ම දෙවඟනක මෙන් රූප සම්පත්තියක් හිමි කරගෙන තිබුණ නිසා මවුපියන් ‘දේවී’ යි නම් තැබුවා.

රූපයෙන් අගතැන්පත් මේ දැරිය දකින දකින අය මෝහනයට පත් වුණා. ඔවුන්ගේ සිත් සතුටින් පිරී ඉතිරී ගියා. රූපය වගේම වචනත් ඉතාම මිහිරියි. කතා කරන විට මුවින් අශෝක මල් සුවඳ විහිදෙනවා. ඇගේ ශරීරාලෝකයෙන් හාත්පසම එළිය වෙනවා. ඒ විතරක් නොවේ ශරීරයෙන් නිතර සඳුන් සුවඳ වහනය වුණා. ඇය පිසින ආහාර හාර මසක් ඉක්ම ගියත් පිළුණු වෙන්නේ නැති අත් ගුණයකින් ද යුක්ත වුණා.

පෙර ආත්මයක ධර්ම සාකච්ඡාවක් අවසානයේ සාධුකාර දුන් පිනෙන් මිහිරි හඬක් සහ සුවඳවත් මුවක් ලැබීමේ භාග්‍ය උදාවී තිබුණා. දන්දීම නිසා සුවඳවත් ශරීරයක් වගේම වර්ණවත් රූපයක් ලැබී තිබුණා. සද්ධර්මාලංකාරයේ කතා පුවතක සුවඳවත් මුව, සුවඳවත් ශරීරය හා රූප සම්පත්තිය ලැබී ඇත්තේ බෝ මළුවක් ඇමදීමේ කුසලය නිසා යැයි පැවසෙනවා.

එදින මව සහ දියණිය අතර බහින් බස්වීමක දී දියණියගේ මුවින් ‘චණ්ඩාල කෙලී නම් තොපමය’යි මවට චෝදනා කළ අකුසලයෙන් චණ්ඩාල කුලයේ උපත ලැබූ බවත්, එම කතා පුවතේ ම සඳහන් වෙනවා.

දුටුගැමුණු රාජ්‍ය කාලයේ උපත ලැබූ කුමරිය ක්‍රමයෙන් වැඩිවියට පැමිණ අවුරුදු දොළස සම්පූර්ණ කරනවා. ඇගේ මුවින් අශෝකමල් සුවඳ විහිදුණු නිසා ගම්වැසියනුත්, යහළු- යෙහෙළියෝත්, අසල්වැසියනුත් ඇයට ‘අශෝකමාලිනී’යි නමක් තැබුවා. මවුපියන් දුන්න නම ‘දේවී’ වුණත් වැඩි වශයෙන් ම ඇය ප්‍රසිද්ධයට පත් වුණේ මිනිසුන් පටබැන්ද නමින්. දවසක් ඇය කිසියම් කටයුත්තකට යෙහෙළියන් එක්ක අනුරාධපුරයට යන ගමනේ දී ඇයට මුණගැහෙනවා දුටුගැමුණු මහ රජතුමාගේ පුත් සාලිය කුමාරයා. තමන් පහත් කුලයක උපන් නිසා වහාම පාරෙන් ඉවත් වෙලා නගරයේ තිබුණු බිත්තියකට හේත්තු වුණා.

කුමාරයා අශ්ව කරත්තයෙන් යන ගමනේ දී බිත්තියේ ඇඳ ඇති රූමත් කාන්තා සිතුවම දැක

රියදුරා අමතා අහනවා ‘රථාචරිය, වෙනදට මම මේ සිතුවම දැකලා නෑ. කවරෙක් ද මේ සිතුවම ඇඳ තියෙන්නේ? ඉතාම සිත්කළු සිතුවමක්’යි යැයි කියා සිටියා. රියදුරා කුමාරයාට පිළිතුරු දෙමින් ‘කුමරුනි, මේ සිතුවමක් නොවෙයි, චණ්ඩාල කුලයේ දැරියක්. ඔබතුමා පෙරමඟ එනවා දැක බියට පත්ව, ඔය සැඟ වී සිටින්නේ’යි පිළිතුරු දුන්නා. කුමාරයා රාජ පුරුෂයන් යවා ඇය ගෙන්වා සස්වාමික-අස්වාමික බව දැනගෙන තමන්ගේ අන්ත:පුරයේ අගමෙහෙසිය කිරීමට කටයුතු සූදානම් කරන්න අණ කළා. සේවිකාවන් සියලු ආභරණවලින් ඇය සරසා අගමෙහෙසිය වශයෙන් අභිෂේක කරවනවා. ‘සාලිය කුමාරයා සැඬොල් කෙල්ලක් අගමෙහෙසිය කර ගත්තා’යි යන පුවත දුටුගැමුණු රජතුමාට ආරංචිවෙලා මහත් සේ කෝපයට පත් වෙනවා.

මුලින් ම අන්තඞපුර කාන්තාවන් යවනවා තොරතුරු දැනගෙන එන්න. ආරංචිය ඇත්ත බව එයින් දැන ගන්නවා. දෙවනුව කරන්නේ ඡ්‍යොතිෂවේදීන් යවා ඇගේ දේහ ලක්ෂණ පරීක්ෂා කර ගැනීම යි. ඔවුන් තොරතුරු පරීක්ෂා කරගෙන ඇවිත්

‘මහරජතුමනි, ඇයගේ දේහ ලක්ෂණ වචනවලින් පැවසීමට බැරි තරම් ඉතා ඉහළ යි. රූප සම්පත්තිය වර්ණනා කරන්න බැරි තරම් රූමත්’යි කියා සිටිනවා. රජතුමාට ම සිත් වෙනවා ඇය දැක ගන්න.

දිනක් තමන් සාලිය කුමරුගේ මාලිගයට එන බව දන්වා යවනවා. සාලිය කුමරු ඒ බව අශෝකමාලාවට දැනුම් දුන් විට ඇය රන් භාජනයකට ජලය අරගෙන මාලිගය දොරටුව සමීපයට ගිහින් රජතුමා පැමිණියායින් පස්සේ පා දෝවනය කරලා, වැඳලා, රජමාලිගයට කැඳවාගෙන ගිහින් ඇගේ අතින්ම සකස් කළ රස ආහාරවලින් සංග්‍රහ කරනවා.

රජතුමා ඇගේ රූප සම්පත්තිය දැක කුමාරයා අමතලා කියනවා ‘සාලිය, ඔබේ බිරිඳ හරිම ලස්සනයි. දෙව්දුවක් වගෙයි.

ආදරය ඇති වුණහම එයට කුලය හෝ ගෝත්‍රය හෝ බාධාවක් වෙන්නේ නෑ;පුතේ, ඔබේ ජීවිතයට සුබ පතනවා’යි කියා සියලු සැප සම්පත් ලබා දීමට කටයුතු කළා'යි පුවතක් සීහළවත්ථුවේත්, සද්ධර්මාලංකාරයේත් සඳහන් වෙනවා.

දන් දීමෙන්, ධර්මය ශ්‍රවණය කිරීමෙන්, ධර්මයට සාධුකාර පැවැත්වීමෙන් හා බෝමළු ඇමදීම් ආදීයෙන් ආයුෂය, සැපය, බලය, ප්‍රඥාව වගේම කාගේත් සිත් ගන්නා වර්ණවත් රූප සම්පත්තියක් ලබා ගැනීමේ හැකියාවත් ලැබෙනවා.

කළ කුසල් විපාක දෙමින් නිවන් දක්නා තුරු සසර පුරා සෙවනැල්ල මෙන් තමන් පසුපස ගමන් කරන බවත්, වචනයෙන් හෝ සුළු වරදක් කළේ නම් එයත් විපාක දෙමින් තමා පසුපස ගමන් කරන බවත් මේ කතා පුවත පෙන්වා දෙනවා.

ජීවත් වන ටික කාලයේ දී හැකි අයුරින් තමන්ගේ සිත, කය හා වචනය සංවර කරගෙන කුසල් දහම්වල යෙදීම කළ යුතු බවත්, එය දෙලොවට ම වැඩදායී වෙන බවත් තවදුරටත් මේ පුවතින් විස්තර කර දෙනවා.