Print this Article


මහින්දාගමනයේ අසිරිය

මහින්දාගමනයේ අසිරිය

ලක් දෙරණේ අභිමානයේ ඇරඹුම සනිටුහන් වන්නේ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ වැඩම වීමෙනි.

මිහිඳු මාහිමි ලාංකේය ජනතාවට තථාගත ශ්‍රී සද්ධර්මය හඳුන්වා දීමෙන් පසු භූමිය සිසාරා ඒ උතුම් දහම මැනවින් ස්ථාපිත විය. එකල පැවැති විවිධ පුද සිරිත් චාරිත්‍ර වාරිත්‍රවලට බුදුදහමින් තදබල විවේචනයක් සිදුවූයේ නැත.

මිහිඳු හිමි ලංකාවට වඩින සමයේ සිටි හෙළයෝ කෘෂිකාර්මික ජීවිතයක් ගතකළ පිරිසකි. පණ්ඩුකාභය සමය පිළිබඳ මහාවංශයේ දැක්වෙන විස්තරයෙන් ඔවුන් යක්ෂ, දේව විශ්වාස හා ගස් ගල් ඇදහූ බවට පැහැදිලි වේ. මිහිඳු මාහිමි අසල්වැසි විශාල රාජ්‍යයක බලසම්පන්න රජකු වූ අශෝක අධිරාජ්‍යයාගේ පුත්‍ර රත්නයක් විය. එය ලාංකිය ජනතාව විශේෂ පිළිගැනීමකට ද හේතුවිය.

මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජු මුණගැසුණේ ක්‍රීඩා පිණිස සතුන් දඩයම් කරමින් සිටිය දී ය. මිහිඳු මාහිමියන් දුටු සැණින් බිම වැටුණු, දුණු,ඊතල, සත්ව හිංසනය සඳහා නැවතත් යොමු නොවුණි. මිනිසුන්ගේ දෛනික ජීවිතය සකසා ගැනීමට ද මිහිඳු මාහිමියන්ගේ වටිනා අර්ථවත් උපදෙස් ජනතාවට මාහැඟි දායාදයක් විය. තවද බුද්ධ ශ්‍රාවකයන්ගේ බ්‍රහ්මචාරි ජීවිතය ජනතාවට ආදර්ශයක් විය.

ඈත අතීතයේ විවිධ ඇදහිලි හා යකුන් පිළිබඳ මතිමතාන්තර තිබුණු බවට මහාවංශය පෙන්වා දෙයි. මෙම තත්ත්වයට මහින්දාගමනයෙන් සුවිශේෂි ප්‍රතිසංස්කරණ යොමුවිය. නිදහස් නිවහල් චින්තනයට අවකාශ ලැබුණූ ආගම් අතර, අද්විතීය ස්ථානයක් බුදුදහමට හිමි වේ. චින්තනයෙන් පන්නරය ලැබූ ලාංකිකයා මෙලෙස ක්‍රියාත්මකවීම ඔවුනගේ චින්තනයේ ප්‍රගතියට හේතුවිය.

සාමානාත්මතාව ද බුදුදහමේ ඉගැන්වෙන ශ්‍රේෂ්ඨ සමාජ ධර්මයකි. කුල භේදයට බුදුදහම එකහෙලාම විරුද්ධ ය.

චිත්‍ර, කැටයම්, මූර්ති, ගෘහ නිර්මාණ, අක්ෂර විද්‍යාවන් පිළිබඳ විශේෂ දියුණුවක් ඇති විය. බ්‍රාහ්මී අක්ෂරවල ආභාෂය සිංහල භාෂාවට බලපෑවේ ය.

ධර්ම දූතයන් වහන්සේගේ පැමිණීමත් සමඟ බෞද්ධ නිර්මාණවල සුවිශේෂි දියුණුවක් ඇති විය. ලෝවාමහාපාය වැනි සුවිසල් මන්දිර ද සංවර්ධනයේ ප්‍රගතිය මොනවට කියාපායි. මහින්දාගමනය හේතුවෙන් චෛත්‍යකරණය ද, ඇති විය. ලාංකික කලාකරුවන්ගේ අදහස් අනුව චෛත්‍යයන් විවිධාකාරයෙන් නිර්මාණය විය.ලෝක ජනතාවගේ විශේෂ ගෞරවාදරයට පාත්‍රවී ඇති සමාධි බුදු පිළිම වහන්සේ ද ලාංකික කලාකරුවන්ගේ සුවිශේෂි නිර්මාණයකි.

බෞද්ධ භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනයට විහාරාරාම සහ විශේෂ ගොඩනැඟිලි සාදන ලදී. සඳකඩ පහණ, අර්ධකවාකාර සඳකඩ පහණ, නෙළුම් මල්, ආදර්ශ චිත්‍ර ද විශිෂ්ට ලෙස කැටයම් කර තිබේ. ආන්ද්‍රා දේශයේ ආන්ද්‍රා කලාශිල්ප ආදර්ශයට ගෙන ගොඩනැඟිලිවල ද ගල්කැටයමින් සැරසිලි කිරීම ආරම්භ විය.

බෞද්ධ සිද්ධස්ථාන අධ්‍යාපනය පිළිබඳ මධ්‍යස්ථාන බවට පත්විය. ඉගැන්වීම්, කටයුතු භික්ෂූන් වහන්සේට භාර කළ අතර, රාජ කුමාරවරු, රදල කුමාරවරු ද පන්සල්වල ඉගෙන ගත්හ. පසුකලෙක මේවා පිරිවෙන් බවට පත් විය. වෛද්‍ය, නක්ෂත්‍ර, තර්ක, සංස්කෘත ආදී විෂයයන් ද ඉගැන්වීය. මේ අනුව පාලි භාෂාවේ වචන බොහෝමයක් ම සිංහල භාෂාවට එක් විය.

බුද්ධාගම නිසා සිංහල සාහිත්‍යය ද පෝෂණය විය. පැරැණි ගද්‍ය, පද්‍ය, සාහිත්‍ය ග්‍රන්ථ, බෝධි සත්ව චරිත, බුද්ධ චරිතය හා බෞද්ධ දර්ශන ග්‍රන්ථ ද එක්විය.

මේ අනුව මහින්දාගමනය ලංකා සමාජයේ ආශ්චර්යජනක විපර්යාසයක් ඇති කළ බව පැහැදිලි වේ. එබැවින් පරපුරෙන් පරපුරට හෙළදිව බෞද්ධයෝ ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කීමට සමත් විය. එහෙයින් මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ ආගමනය සැදැහැවත් දනන් ලක්ෂ සංඛ්‍යාත ගණනින් සිහිපත් කරනුයේ බලවත් සතුටකිනි.

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් වැඩමවූ දඹදිව බුද්ධගයාවේ වූ ජයසිරි මහ බෝධි ශාඛාව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණය කරන උත්සවයට ලංකාවේ රජ දරුවන් ද පැමිණුන පුවත මහා බෝධිවංශයේ සඳහන් වේ. බුද්ධාගම කොයිතරම් ඉක්මනින් මහජනතාවගේ සිත් සතන් තුළ කාවැදි ගියේ ද යන්න ඉන් පැහැදිලි වේ.

මිහිඳු මාහිමි චුල්ලහත්ථිපදෝපම සූත්‍රය, සමචිත්තපරියාය සූත්‍ර දේශනාව, පේතවත්ථු හා විමානවත්ථු දේශනා, සච්චසංයුත්ත සූත්‍ර දේශනාව, ආසිවිසෝපම සූත්‍ර දේශනාව, අනවතග්ග සූත්‍ර දේශනාව, අග්ගික්ඛන්දෝපම සූත්‍ර දේශනාව, අප්පමාද සූත්‍ර දේශනාවන් ආදී වදාළහ.

මෙම සූත්‍ර කිහිපයේ අන්තර්ගතයෙන් පැහැදිලි වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ඉතා විධිමත් සැලසුමකින් යුතුව මෙරට ජනයාගේ සංස්කෘතිය හා ජීවිතාබෝධය හා සංස්කෘතික හැසිරීම සමස්ත ලෝකයාට ම ආදර්ශයක් වන පරිදි සැකසීමට ශක්තිමත් පදනමක් දමා ඇති බවයි.

පරිපූර්ණ ශිෂ්ඨාචාරයක් ගොඩනැඟීමට අවශ්‍ය සංවිධානාත්මක ආගමක් හා දියුණු වූ භාෂාවක් ජනතාව සතුවීම නිසා ශ්‍රී ලාංකේය ජනතාවට ඒකරාශි වී උදාර ශිෂ්ඨාචාරයක් ගොඩනැඟීමට අවස්ථාව උදාවුණේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය නිසා ය.