සසුනඹර ඒකාලෝක කළ
සුපින්බර සුපුන් සඳ
අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා යතිවරයාණෝ
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ මහානායක
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නා හිමි
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධුරන්දර ව වැඩ විසූ
අග්ගමහාපණ්ඩිත, අභිධජමහාරට්ඨගුරු අතිගෞරවාර්හ දොඩම්පහල චන්දසිරි මහනායක මාහිමිපාණන්
වහන්සේගේ අපවත් වීම පිළිබඳ අප සංඝ සභාවේ සංවේගය පළමු ව ප්‍රකාශ කර සිටිමු.
හාරදහසකට අධික විහාරස්ථාන සහ දොළොස් දහසකට අධික මහා සංඝරත්නයකින් සමන්විත වූ
පාර්ශ්ව විසි දෙකකින් යුතු ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවිය
දෙවසරකට ආසන්න කාලයක් ශෝභමානවත් කොට වදාළ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වන
විට අසූ හතර වැනි වියෙහි පසු වූහ.
දකුණුලක මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල දොඩම්පහල ග්‍රාමයේ විසූ එදිරිවීර පටබැඳීගේ
සරනේලිස් සිල්වා මැතිතුමාගේ සහ එදිරිසූරිය කට්ටඩි ආරච්චිලාගේ මිසිනෝනා මැතිනියගේ
පුත් රුවනක ලෙස සුගුණදාස නමින් 1939 දෙසැම්බර් මස 20 වන දින මහ නාහිමිපාණන් වහන්සේ
ජන්මලාභය ලැබූහ.
නිසි වයස් එළඹීමෙන් පසු දොඩම්පහල මහාවිද්‍යාලයෙන් අක්ෂරෝද්ග්‍රහණය කරමින් සිටින
අතරතුර සාංසාරික පුණ්‍ය මහිමය ඉස්මතු වීමෙන් වර්ෂ 1950 නොවැම්බර් මස 25 වැනි දින
තංගල්ල කුඩාවැල්ලේ වාළුකාරාමයේ දී මාතර ශ්‍රී සද්ධාරාම නාහිමියන්ගේ ආචාර්යත්වයෙන්
ප්‍රව්‍රජ්‍යා සම්පත් ලැබීය. අතිපූජ්‍ය මහානාහිමිපාණන් වහන්සේ කතලුවේ ශ්‍රී
ගුණරතනතිස්ස මහනාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් සමාරම්භ අමරපුර කල්‍යාණිවංශ
මහානිකායේ නාඔටුන්නේ සඟ පරපුරට අයත් වෙති.
මාතර වීරබාහු පිරිවෙනින් හා ගාල්ල විද්‍යාලෝක පිරිවෙනින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ
කටයුතු සිදු කොට 1962 ජූනි මස 17 වැනි දින මාතර නූපේ ජයමහා විහාරාසන්න නිල්වලා නදී
උදකුක්ඛේප සීමාවේ දී මාතර ශ්‍රී මේධානන්ද මහනාහිමියන් උපාධ්‍යාය කොට අධිශීල ශික්ෂා
සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
උපසම්පදාවත් සමඟ ම කොළඹට වැඩම කළ මහනාහිමිපාණන් වහන්සේ ස්වකීය ජ්‍යෙෂ්ඨ පැවිදි
සහෝදර කුඩාවැල්ලේ වංගීස මාහිමියන්ගේ ඇසුරෙහි වැඩ හිඳීමින් විපස්සනා භාවනා පුහුණුව
ලදහ. 1962 සැප්තැම්බර් 09 වන දින තම පැවිදි සහෝදර වංගීස මාහිමියන්ගේ අනුශාසකත්වයෙන්
හා මාතිකමාතා සංගමයේ මූලිකත්වයෙන් කලපලුවාවේ ගෝතම තපෝවනය ආරම්භ කළහ.
තමන් වහන්සේ මෙතෙක් සිදුකරගෙන ආ සම්බුද්ධ ශාසනික හා ජාතික සේවය තවත් පුළුල් ලෙස
සිදු කිරීමට මෙය ඉමහත් අවකාශයක් විය. ආරම්භක අවස්ථාවේ පටන් අපවත් වන තෙක් ම එහි
වැඩසිටිමින් ආයතනික උන්නතිය මෙන්ම ථෙරවාද බුදු දහමේ හරය ලොවට දායාද කිරීම පිණිස තම
ජීවිතය කැප කළහ.
මිහින්තලේ කළුදියපොකුණ, පදවිය, කෑගල්ල, මහනුවර උඩවත්ත කැලේ ආදී තදීය තපෝවන
ශාඛාවන්හි අනුශාසක හිමියන් ලෙස වැඩ සිටිමින් කම්මට්ඨානාචාර්යයන් වහන්සේ නමක වශයෙන්
යෝගාවචරයන් දහස් ගණනකට භාවනා පුහුණුව ලබා දුන්හ. වර්ෂ 1982 දී කුඩාවැල්ලේ වංගීස
හිමියන්ගේ හදිසි අපවත්වීමෙන් පසු කලපලුවාවේ ගෝතම තපෝවනය ඇතුළු තදීය ශාඛා
මධ්‍යස්ථානයන්හි ප්‍රධාන අනුශාසකත්වයට පත් වූහ. එම අවස්ථාවේ දීම කල්‍යාණිවංශ
මහානිකායේ කාරක සභික පදවියට සහ තපෝවන සංඝනායක පදවියට පත්ව අනුක්‍රමයෙන් අධිකරණ
නායක, අනුනායක ආදී තනතුරුවලින් පුද ලදහ.
වර්ෂ 1986 දී තපෝවනය ආශ්‍රිතව ශ්‍රී වංගීස පිරිවෙන ආරම්භ කිරීමට ද චන්දසිරි
මාහිමිපාණන් වහන්සේ මූලික වූහ. විසිවන සියවස මැද භාගයේ දී කල්‍යාණිවංශ මහානිකාය
කොටස් තුනකට බෙදී මහා නාහිමිවරුන් තුන් නමක් යටතේ පාලනය සිදු වෙමින් වෙන වෙනම
උපසම්පදා කටයුතු සිදු කෙරුණි. බෙදී තිබූ පාර්ශ්ව සියල්ල නැවත ඒකාබද්ධ කිරීමට
නොපැකිළිව පෙරමුණ ගන්නා ලද්දේ දොඩම්පහල චන්දසිරි මාහිමිපාණන් වහන්සේ විසිනි.
පාර්ශ්ව තුනේම මහනාහිමිවරුන් ඇතුළු ප්‍රධාන හිමිවරුන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට
කැඳවා සම මහානායක හිමිවරුන් වශයෙන් පිළිගෙන එම මහානාහිමිවරුන් අපවත් වන විට නව
මහානාහිමිවරුන් පත් නොකොට අවසානයට අපවත් වන මහානාහිමියන් අපවත් වූ පසු සමස්ත
කල්‍යාණිවංශ නිකාය ම වෙනුවෙන් එක් මහානායක හිමිනමක පත් කර ගැනීමටත්, එම පාර්ශ්ව
තුනේම හිමිවරුන් කැමැති කරවා ගැනීමට චන්දසිරි මහ නාහිමිපාණන් වහන්සේ සමත් වූහ.
වර්ෂ 1996 මාර්තු මස 31 වන දින දෙවිනුවර රජමහා විහාරාධිපති දෙවිනුවර සිරි සුනන්ද
අනුනාහිමියන්ගේ යෝජනාවකට අනුව කොග්ගල සිරි විසුද්ධි මහනාහිමියන් අපවත්වීමෙන්
පුරප්පාඩු වූ කල්‍යාණිවංශ නිකායේ මහානායක පදවියට පත් මහ නාහිමිපාණෝ විසි හත් වසරකට
වැඩි කාලයක් නිකායේ මහානායක පදවිය හොබවන ලද අතර මේ වන විට ලක්දිව වැඩ සිටි දීර්ඝතම
මහානායක ධුර කාලය සම්පූර්ණ කළ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වූහ.
එසේම ඒ වන විට කල්‍යාණිවංශ මහානිකාය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවට සම්බන්ධ වී
නොතිබුණු බැවින් අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ සහ වජිරාරාමාධිකාරී
පියදස්සි හිමියන්ගේ මගපෙන්වීම මත කල්‍යාණිවංශ නිකාය අමරපුර මහා සංඝසභාවට සම්බන්ධ
කරවන ලදින් 1996 වර්ෂයේ සිට අමරපුර මහා සංඝසභාවේ පාලක සභික හිමිනමක වශයෙන් කටයුතු
කොට 2009 වර්ෂයේ එහි උපසභාපති පදවියට පත් වූහ. අමරපුර මහා සංඝ සභාවේ ප්‍රධාන
ක්‍රියාකාරී පදවිය සේ ම අමරපුර මහානිකායේ සමස්ත පාර්ශ්වයන්හි අනුනායක පදවිය වශයෙන්
සම්මත ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවිය සඳහා 2013 වර්ෂයේ දී තේරී පත්
වූ මහ නාහිමිපාණන් වහන්සේ එකී පදවියේ පස් වසරක ධුර කාලය සාර්ථකව නිමා කොට 2018 වසරේ
මහාමහෝපාධ්‍යාය පදවියෙන් පිදුම් ලැබූහ.
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවිය හොබවා වදාළ, ධර්මපාල වංශාලංකාර
ත්‍රිපිටක විශාරද, අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහානායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්ෂ 2021ක් වූ මාර්තු මස 22 වැනි දින අපවත් වී වදාළෙන්
පුරප්පාඩු වූ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවිය සඳහා ජූලි මස 21
වැනි දින අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ තෝරා පත් කර
ගන්නා ලදහ.
බුරුම රාජ්‍යයෙන් අතිසම්භාවනීය අග්ගමහාපණ්ඩිත හා අභිධජමහාරට්ඨගුරු ගෞරවෝපාධීන්ගෙන්
ද, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් ස්ථවිර වංශාලංකාර ශාසනකීර්ති ශ්‍රී ගෞරව
නාමයෙන් ද, අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායෙන් අමරපුර ගණපාමොක්ඛාචරිය ගෞරව නාමයෙන්
ද මහ නාහිමිපාණන් වහන්සේ පිදුම් ලබා තිබේ. මේ හැර තවත් බොහෝ ආයතන විවිධ ගෞරව සම්මාන
පිරිනමමින් මහ නාහිමියන්ගේ මෙහෙවර අගය කොට ඇත.
ආරෝහ පරිණාහ දේහධාරීත්වයෙන් ද, කාරුණික හා නිහතමානී ගුණයන්ගෙන් ද දුටුවන්ගේ
ප්‍රසාදයට පත්ව වැඩ සිට අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර
මහානායක ධුරන්ධර ව වැඩ විසූ, කලපලුවාවේ ගෝතම තපෝවනය ප්‍රමුඛ තදීය තපෝවන ගණයේ
අනුශාසක, අමරපුර කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක, කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී
වංගීසවංසාලංකාර, විපස්සනාකම්මට්ඨානාචාර්ය, මහාවිහාර වංශාලංකාර, අමරපුර
ගණපාමොක්ඛාචාර්ය, ස්ථවිර වංසාලංකාර ශාසනකීර්ති ශ්‍රී, අග්ගමහාපණ්ඩිත,
අභිධජමහාරට්ඨගුරු අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට
නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. |