Print this Article


ලෝ සත අවිදු අඳුරෙන් මුදාගත් අසහාය ධර්ම සන්නිවේදකයාණෝ

ලෝ සත අවිදු අඳුරෙන් මුදාගත් අසහාය ධර්ම සන්නිවේදකයාණෝ

බුදුන් වහන්සේ සන්නිවේදනයේ දී දන්නා දෙයින් නොදන්නා දේ අවබෝධ කරලීම සඳහා අනුගමනය කළ ක්‍රියාපටිපාටිය සඳහා අභය රාජ කුමාර සූත්‍රය අග්ගිවච්චගොත්ත සූත්‍රය, නිදසුන් වේ.

ධර්ම සන්නිවේදනයේ දී බුදුන් වහන්සේ දක්ෂතා ඇති ශ්‍රාවකයන් වහන්සේ (සිව් පිරිසම) අගය කරමින් තනතුරු ප්‍රදානය කරමින් ගෞරවයට පත් කළහ. ධම්මචක්ක සූත්‍රයේ එන “අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤෝ හි යන ප්‍රකාශයෙන් ම පැහැදිලි වේ. අසූමහා චරිත කතා තුළින් ද එය පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේ ධර්ම සන්නිවේදනයේ දී ශ්‍රාවක සිත් වශීකෘත කරවූ දේශනා ක්‍රමවේදයක් ද අනුගමනය කළහ. එම දෙසුම අට ගුණයකින් යුතු බව මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ දැක්වේ.

විස්සට්ඨතා - ශබ්දය පහසුවෙන් පිටවීම, විඤෙඤය්‍යතා - අදහස වහා අවබෝධ වීම, මඤජුතා - මිහිරි බව, ස්වණියතා - සවනට සැප ගෙනදීම, බින්දුතා - අතර බිඳීම් නැති බව, අවසාරිතා - පැහැදිලි වීම, ගම්භීරතා - ගැඹුරු බව, හින්නාදිතා - පිරිස් කෙළවර සිටින අයට පවා ඇසීම යන අෂ්ටාංග සමුපේත බ්‍රහ්ම ස්වරයෙන් යුතු බුදුන් වහන්සේ කුරවී කොවුලන්ගේ හඬ පරදන කන් කලු මිහිරිතම හඬකින් යුක්ත වීම ද ධර්ම සන්නිවේදනයේ දී ශ්‍රාවක සිත ඇද බැඳ ගන්නට හේතු විය.

මේ ධර්ම සන්නිවේදනයේ දී කිසිවකුට හිංසාවක්, පීඩාවක්, අරාවුලක් පළිගැනීමක්, ලේ වගිරීමක් නොවූ අතර සන්සුන් බව, සැනසුණු බව ඇතිවේ. මෙවන් සන්නිවේදනයක් අද කාලයට අත්‍යවශ්‍යය වේ. මිනිස් සිත් නිවාලන සන්නිවේදන ක්‍රම අනුගමනය කිරීමට වර්තමාන මාධ්‍යකරුවන්ට මේ ධර්ම සන්නිවේදන ක්‍රම පූර්වාදර්ශයක් වේ.

බුදුන් වහන්සේ ශ්‍රාවකයාගේ චරිත ස්වභාවය, ඔවුන් පත්ව සිටින තත්ත්වය ඔවුන්ගේ ගතිගුණ ආකල්ප ආදිය මැනවින් වටහා ගෙන විවිධ උපාය මාර්ග අනුගමනය කරමින් ලෝකයේ යථාර්ථය ශ්‍රාවකයාට අවබෝධ කර ගැනීමට ඒ ධර්ම සන්නිවේදනය සිදුකළ බැවින් ශ්‍රාවකයන් එය උසස් කොට අගය කළ බව බොහෝ සූත්‍රවල අන්තයේ එන ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

අභික්කන්ත හෝ ගෞතම අභික්කන්නං හෝ ගෞතම, සෙය්‍යථාපී හෝ ගෝතම... ශ්‍රාවකයන් බුදුන් වහන්සේගේ දෙසුම් අසා මැනවින් සතුටට පත්ව

" මැනවි ස්වාමීනි, යටිකුරු කරන ලද්දේ උඩුකුරු කළා සේ, වසන ලද්ද විවර කළා සේ, මංමුලා වූවකුට මඟ හෙළි කළා සේ, ඇස් ඇත්තෝ රූප දකිත්වායි. අඳුරට ආලෝකයක් දුන්නා සේ අනේක පරියායෙන් ඔබ වහන්සේ අපට දහම් දෙසූ සේක."

අපමණ සතුටට පත් ශ්‍රාවකයන් මම මෙතැන් පටන් පළමුව, දෙවනුව, තෙවනුවත් ඔබ වහන්සේ සරණ යමි. බුදුන් වහන්සේ ඒ ධර්ම සන්නිවේදනයේ දී පිළිවෙළ කතාව (ආනුපුබ්බ කතා) දෙසූහ. දාන කථං සීල කථං සග්ග කථං කාමානං ආදිනවං ඕකාරං සං කිලෙසං නෙක්ඛමෙමච ආනිසංසං පකාසෙසි.

අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් පරිදි දන්දීම, සිල් රැකීම, ස්වර්ගයට යාම, කාමයේ ආදීනව, විවේකය, තපස ජීවිතයේ ඇති අනුසස් ක්‍රමයෙන් පෙන්වා දුන්හ. එවිට ශ්‍රාවකයා වේගයෙන් ඒ ධර්ම සන්නිවේදනයෙන් ධර්මයට බැස ගනී. ඒ තුළින් දීම, පරිත්‍යාගය, නිර්ලෝභී බව පරාර්ථය යහපත් ගතිගුණ සීලාදී වටිනාකම් අගයන්නට විය. ඒ අනුව බුදුන් වහන්සේ සන්නිවේදන කාර්යය සඵලත්වයට මඟ කීහ.

ධර්ම සන්නිවේදනයේ දී බුදුන් වහන්සේ ජනතාව ධෛර්යවත් කරන්නට, ඔවුන්ගේ ශාන්ත සන්සුන් බව ඇති කරන්නට, දහම් දෙසූහ.

ආරහථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනේ - අරඹව් නික්මෙව් සසුනෙහි යෙදවේ.”

අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනො පදං පරිනිර්වාණ මඤ්චකයේ දී ද ශ්‍රාවකයන්ට අවවාද කළේ,

වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ

අප්‍රමාදීව ක්‍රියා කරන්න. උට්ඨාන වීර්යයෙහි දෘඪතර වීර්යයෙහි අනුසස් කීහ. කුසීතකම, අලස බව බුදුන් වහන්සේ ගැරහූ අතර නිර්භීත බව ධෛර්යය අගය කළහ.

පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදී අලෝකෝ උදපාදි පෙර නොඇසූ විරූ ධර්මයන් දෙසූ බැවින් දහම් ඇස පහළ විය. නුවණ පහළ විය. විද්‍යාව පහළ විය. ප්‍රඥාව පහළ විය. ආලෝකය පහළ විය. මේ ධර්ම සන්නිවේදනයේ උපරිම තලයට ශ්‍රාවකයා ගෙන ඒම සඳහා මඟ කී ලොව අති දක්ෂ ධර්ම සන්නිවේදකයන් වහන්සේ වනුයේ බුදුරජාණන් වහන්සේ ය.