දියුණුවේ දොරටු
අරිනවාද ? වසනවාද ? තීරණය කළ යුතු තමන් ම ය
ගැටමාන්නේ සීවලී හිමි
ගිහියාගේ අවශ්‍යතා බොහෝ වෙති. තම දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දීම මවුපියන්ගේ
පැතුමයි. අද කාලයේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා බොහෝ වියදම් කිරීමට මවුපියන්ට සිදු
වෙයි.
සිය මව්පිය වැඩිහිටි ඥාති මිත්‍රාදීන්ගේ වුවමනා එපාකම් බලමින් අනෙකාටත් උපකාර කර තම
අවශ්‍යතා ඉටුකර ගැනීමට මුදල් හදල්, දේපළ වස්තු අවශ්‍ය වෙයි. එසේ සම්පත් නොමැති වීම
ගිහි දිවිය දුකට පත් කරයි. මුදල් හදල් උපයා ගැනීමට, ජීවිකාව ගෙන යාමට ගිහියාට වෙහෙස
මහන්සිව ධනය ඉපයීමට සිදු වෙයි.
කුඹුරු කරන ගොවියා ද, ගෙවිලිය ද බොහෝ මහන්සි වී දහඩිය මුගුරු වගුරුවා ලබා ගන්නා
අස්වැන්නෙන් තම ගෙදර දොරේ වුවමනාවන් සම්පාදනය කර ගනිති. දුවා දරුවන්ගේ අධ්‍යාපන
කටයුතු ද අනෙකුත් දෑ සපයා දීම් ද කරති. මෙලෙසින් ජීවිතය පවත්වා ගෙන යෑමට සැමට
ජීවනෝපායන මාර්ගයක් අවශ්‍ය වෙයි. තම තමාගේ ආදායම් මාර්ග, රැකී රක්ෂා කටයුතු ආදිය
මනාව ඉටු කිරීමෙන් හරි හම්බ කරන ධනය ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා ද, අනාගත
අවශ්‍යතාවලට ද ව්‍යාපාර කර්මාන්තාදියේ මතු දියුණුවට ද සමාජ යුතුකම් පුණ්‍ය කටයුතු
සඳහා ද වැය කිරීමට සිදුවෙයි.
අද බොහෝ දෙනාගේ ආදායමට වඩා වියදම් වැඩි ය. වියදම වැඩි වුවහොත් ඉතිරිකිරීම්,
ව්‍යාපාර කර්මාන්තාදියේ මතු දියුණුව සෑදීම කෙලෙස සිදු කළ හැකි වේ ද? අවශ්‍යතා ඉටුකර
ගනිමින් ම ඉතිරිකිරීම් කළ යුතු වෙයි.
ඉතිරි කිරීම් යැයි කී විට බොහෝ දෙනාගේ සිතට නැඟෙනුයේ සතෙන් සතේ රුපියලෙන් රුපියල
මුදල් ඉතිරි කිරීම ගැන පමණි. මුදල් මෙන්ම කාලය, ජලය, වචන ඉතිරි කිරීමෙන් අත්වන ලාභය
සලකා බැලීම වටී. සරල දිවි පැවැත්ම, අල්පේච්ඡතාව පුරුදු පුහුණු කර ගත් විට ජීවිත ගමන
පහසු ය. අය වැය සමව පවත්වා ගැනීම සමජීවිකතාවයයි. සමජීවිකතාව දියුණුවට මඟයි.
තම දිවි මඟ සරු කර ගැනීමේ දී යහපත් ජීවන මාර්ගයක් තෝරාගත යුතු ය. මස් පිණිස සත්ව
වෙළඳාමෙන් ද, මත්පැන්, මත්ද්‍රව්‍ය විකිණීමෙන් ද, වස විස වෙළඳාම, වහල් වෙළඳාම, ආයුධ
විකිණීම යන වැරැදි වෙළඳාමෙන් වෙන් වී බුදුරදුන් දේශනා කළ සම්මා ආජීවයෙන් දිවිපෙවෙත
සකසා ගැනීමට නුවණැතියා ක්‍රියා කරයි.
ධනය උපයන්නේත්, වස්තුව සම්පාදනය කරන්නේත් සතුටු දිවි පැවැත්මට ය. අවහිර බාධාවලින්
තොරව සැපදායක ජීවිතයක් ගත කිරීමට ය. දින, මාස, අවුරුදු ගණන් දුක්විඳ ඉපයූ ධනය,
වස්තුව, දේපළ යනාදිය ගිහියා විසින් මනාව ආරක්ෂා කර නොගතහොත් ඔහු මෙන්ම ඔහුගේ පවුලේ
සාමාජිකයන් ද දුකට වැටෙයි. හරි හම්බකර ගත් දේ රැක බලා ගැනීමට ගිහියා වග බලා ගත යුතු
ය.
පුද්ගලයා තම කායික, මානසික නිරෝගී බව ගැන ද සිතිය යුතු ය. ආර්ථික නිරෝගී බව ගැන ද
සිතිය යුතු ය. ආර්ථිකය ලෙඩ වූ විට සතුට, සමඟිය පලා යයි.
බුදුරජාණන් වහන්සේ පුද්ගලයා ද ඔහුගේ වස්තුව ද විනාශයට පත්වන දොරටු හයක් සිඟාල කුල
පුත්‍රයාට ඉගැන්වූහ. ඒවායින් වැළකී ක්‍රියා කරන්නාගේ යසස ද වස්තුව ද දින දින දියුණු
වනුයේ පස් කැට එකතු කොට වේයකු බඳින තුඹසක් පරිදි ය. එනිසා තමාගේ යසස ද, වස්තුව ද
විනාශ වන ධන පරිහානි අවස්ථා හය මැනවින් දැන උගෙන යහපෙතහි හැසිරී තමාගේ මෙලොව
දියුණුව ද පරලොව සුගතියට ද වැඩ සාදා ගනිමු.
ධනය වැනසෙන ධන විනාශ මුඛ හය කෙරෙහි අපේ අවධානය යොමු කරමු.
කතමානී ඡ භොගානං අපායමුඛානි න සෙවති? සුරාමේරයමජ්ජපමාදට්ඨානාවුයොගො ඛො ගහපතිපුත්ත
භොගානං අපායමුඛං. විකාලවිසිඛා චරියානුයොගො භොගානං අපායමුඛං. සම්මජ්ජාභිචරණං භොගානං
අපායමුඛං. ජූතප්පමාදට්ඨානානුයොගො භොගානං අපායමුඛං. පාපමිත්තානුයොගෝ භොගානං
අපායමුඛං. ආලස්සානුයෝගෝ භොගානං අපායමුඛං
වස්තු විනාශයට හේතුවන කරුණු හය නම්,
මත් පැන් බීම - සුරාපානය, (සුරාමේරය මජ්ඣපමාදට්ඨානුයොගෙ), නුසුදුසු කාලයේ වීථි
සංචාරය කිරීම (විකාලවිසිකාචරියානු යොගෙ), නැටුම් ගැයුම් වැයුම් උත්සව දර්ශන ආදියේ
ලොල්වීම, (සම්මජ්ජාභිචරණෙ), දූ කෙළියෙහි යෙදීම. (ජූතපමාදට්ඨානානු යොගෙ), පාප
මිතුරන් ඇසුරු කිරීම (පාපමිත්තානු යොගෙ) හා අලසකමයි. (ආලස්සානු යොගෙ)
මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන රහමෙර පානයෙන් වෙන්වීම බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පංච
ශීලයට ද ඇතුළත් ය. එදා මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් දෙවනපෑතිස් මහ රජතුමා ඇතුළු
පිරිස පන්සිල් සමාදන්ව බෞද්ධයෝ වූහ.
එදා පටන් හෙළයින් විසින් මත්වන දැයින් වෙන්ව පණ මෙන් පන්සිල් සුරකිනු ලැබුවේ
වර්තමානයේ ගමක්, ගමක් පාසාම වාගේ මත්පැන් අලෙවි ශාලා විවෘත වීම ධර්මද්වීප නමට
කැළලකි. පන්සිල් සුරකින බෞද්ධයා මත්වීමට ප්‍රමාදයට හේතුවන දැයින් සැමදා වෙන් වෙයි.
දිනකට රට තුළ අලෙවි වන දුම්වැටි ගණන මත්පැන් බෝතල් ප්‍රමාණය ගැන සිතා බැලීම වටියි.
විශේෂයෙන් ම ඉන් රටේ ජීවනාලිය වන තරුණ පරපුර වැනසෙයි. ජාතියට පිළිලයන් වූ මත්
උවදුරින් රටවැසි ජනතාව මුදවා ගැනීමට ඇති එකම පිළියම කුඩා කල පටන් සිරිලක් දරුවා
ධර්මයට අනුගත කිරීමයි.
පවුලක් හසුරුවන ගෙදරක මූලිකයා, ඒ නිවසේ පියා මත්පැනට ඇබ්බැහි වූ විට ඉන් පිරිහෙන්නේ
ඔහු පමණක් නොවේ. ඔහුගේ පවුලේ ඉගෙනුම ලබන දුවා දරුවන් ද බිරිය ද ඉන් පීඩා විඳිති. තම
දුවගේ පුතාගේ, පවුලේ දියුණුවට උපයන ධනය, බේබදුකමට වැය කිරීමෙන් බලා සිටිය දී ම
ඔහුගේ ධනය නැතිවෙයි. මත්පැන් බොන්නාගේ ධනය බලා සිටියදීම විනාශ වී යයි. (සන්දිට්ඨිකා
ධනජානි)
ලෙඩ රෝගාදී දුක් ඇති වීම ස්වභාවික ය. එවිට ඊට මුහුණ දීමට අපට සිදු වෙයි. ලෙඩ වූ කල
කිසිවක් කරකියාගත නොහැකි වෙයි. එදිනෙදා කළ යුතු සියලු දේ එනම්, පවුලේ කාර්යයන්,
දුවා දරුවන් ගැන සොයා බැලීම්, ව්‍යාපාර කර්මාන්තාදියේ කටයුතු යන මේ සියල්ල
ඇනහිටියි. ලෙඩ සුවපත් කර ගැනීමට ඉපයූ ධනය ද වැය වෙයි. ගෙදර ප්‍රධානියා ලෙඩ වීමෙන්
මුළු පවුලම අපහසුවට පත්වෙයි.
මිනිස් කය දුර්වලවීමට ද, රෝගයනට, රෝග කාරක විෂබීජයනට ඔරොත්තු දීමට ගතේ සවිය
නැතිවීමට ද මත්පැන් බීම හේතු වෙයි. එවිට මත්පැන් බොන්නා රෝග පීඩාදියනට වහා ගොදුරු
වෙයි. (රෝගානං ආයතනං)
මත් පැන් බී ලෙඩ සාදා ගැනීම රෝග මිලදී ගැනීමකි. අනුවණ බවින් මිදුණු, ඉහමොළ ඇති
කිසිවෙක් වසවිෂ ශරීරගත කර ගෙන දුක්පීඩා ඇති කර නොගනී. කෙනෙක් ටික ටික දින දින
මත්පැනට පුරුදු වීමෙන් ඒවා නොමැතිව ජීවත්විය නොහැකි තත්ත්වයකට පත්වෙයි. මෙසේ
මත්පැන් බීමට පුරුදුවීමෙන් ඔහු සමාජය පිළිනොගන්නා, අපකීර්තියට පත් වූවකු වෙයි.
මුලින් මුලින් අම්මාට, තාත්තාට, ගුරුවර, වැඩිහිටියනට හොරෙන් හොරෙන් හැංගි හැංගි
කිසිවකුට නොදැනෙන්නට ටික ටික මත්පැන් බීමට යම් තැනැත්තෙක් පෙළඹෙනුයේ ඒවා සමාජය
පිළිකෙව් කරන බැවිනි. එහෙත් කෙනෙක් ඊට හුරුවෙත් ම ඔහු කෙරෙන් ලජ්ජාව අතුරුදන් වෙයි.
හෙතෙම ලජ්ජාවෙන් තොරව හැසිරෙයි. (කොපීන නිදංසනී)
සිතා මතා ක්‍රියාකිරීමේ හැකියාව මත්පැන් ගන්නාට නැත. සිතීමේ ශක්තිය නැති වූවකු,
දරුවන්ට පවුලට මඟ පෙන්වනුයේ කෙසේද? වෙළහෙළදාම් රැකී රක්ෂා කටයුතු මනාකොට ඉටුකිරීමට
එවැන්නකුට ඇති හැකියාව ගැන කවර කතා ද? මෙසේ මත්පැන් බීමෙන් තම කටයුතු මනාව ඉටුකර
ගැනීමට අත්‍යවශ්‍ය වන ඥානය මොට වෙයි. නුවණ දුර්වල වෙයි. (පඤ්ඤාය දුබ්බලීකරණීත්තේව)
අප නම් මධුවිතින් සප්පායම් වන්නේ සාදයක දී පමණි. අන් අවස්ථාවල එසේ නොබොතියි ඇතැම්හු
පුරසාරම් දොඩති. නරක දෙයට විශේෂ අවස්ථා ය, එසේ නොවේ ය කියා දෙයක් නැත. මොන තැනක දී
වුව ද මත්වතුර බී ගන්නේ නම්, එය බෞද්ධයා කර ගන්නා වරදකි. ඉන් සිල් බිඳෙයි. බලවත් ම
වරද නම් ශාස්තෘන් වහන්සේගේ වචනයට අගෞරව කිරීම ය. උන්වහන්සේගේ ඉගැන්වීම නොපිළිපැදීම
ය. බුදුවදනට පිටුපාන්නා පිරිහෙයි. පිළිපදින්නා දියුණු වෙයි. එහෙයින් අපි මියෙන
තුරාවට මත්පැනින් දුරු වෙමු. මෙලොව ද, පරලොව ද අභිවෘද්ධිය ම පතමු.
සිඟාලෝවාද සූත්‍රයෙහි ධනය විනාශයට පත්වන කරුණු සය අතර නොකල්හි වීථි සංචාරය ද ධන
විනාශ මුඛයකි. අවේලාවේ නුසුදුසු කල වීථීන්හි තැනින් තැන ඇවිදීම නොකළ යුත්තකි.
හේතුවක් නොමැතිව මඟතොට ඇවිදීම කාලය කා දැමීමකි. අපතේ යැවීමකි. අවේලාවේ රස්තියාදුවේ
යෙදීමෙන් බොහෝ කරදරවලට මුහුණපාන්නට සිදුවෙයි.
ඇති කරදර දුරු කර ගෙන සැප සේ වාසය කරනවා වෙනුවට නැති කරදර ළං කර ගැනීම අණුවණයාගේ
ගතියකි.
අපගේ ජීවිතය රැකබලා ගැනීම ආරක්ෂා කර ගැනීම අප විසින් ම කළ යුතු ය. නැතහොත් නැති
කරදර ප්‍රශ්න අප වෙත ළං වෙයි. මෙලොව ගැන කල්පනා නොකොට සිතා නොබලා නිකරුණේ මඟතොට
ඇවිදීමෙන් අපගේ ජීවිතය අනාරක්ෂිත වෙයි. බාහිර උපද්‍රවයන්ට ලක් වී දුක් විඳීමට
සිදුවෙයි. යම් තැනැත්තෙක් නොකල්හි වීථිවල සැරිසැරීමෙන් ඔහුගේ අඹුදරුවන්ගේ ආරක්ෂාව ද
නැතිවෙයි.
හොඳ ස්වාමිපුරුෂයෝ නිතරම තම බිරිඳට දරුවන්ට මනා රැකවරණය සලසයි. මෙසේ මඟ ඇවිදීමෙන්
එම යුතුකම ඉටු නොවෙයි. කෙනෙක් වේලාව අවේලාව නොබලා මඟ ඇවිදීමට යාමෙන් තමාගේ ද, තම
අඹුදරුවන්ගේ ද පමණක් නොව තමා දුක සේ ඉපයූ වස්තුව ද ආරක්ෂාවෙන් තොරවෙයි. අනාරක්ෂිත
වෙයි.
එපමණක් නොව ඔහු වැරැදි ක්‍රියාවලට සැක කටයුතු තැනැත්තෙක් වෙයි. අවේලාවේ තැන්තැන්වල
ඇවිදීමට යාමෙන් වැරැදි ක්‍රියාවලට සැකකරුවකු වෙයි.
අවේලාවේ මහ මඟ සැරිසරන්නා ගැන අභූත දෝෂ කථා ද ඇතිවෙයි.
නොකල්හි මෙලෙස මඟ හැසිරෙන්නාට බොහෝ දුක් කරදරවලට මුහුණ පෑමට ද සිදුවෙයි.
යම් තැනැත්තෙක් මෙලෙස අවේලාවේ වීථි සංචාරය කරයි ද එය නැති දුක් කරදර ළං කර ගැනීමකි.
ඉන් ඔහු ද ඔහුගේ අඹු දරුවන් ද ඔහු සන්තක දේපළ වස්තුව ද බොහෝ උපද්‍රවයනට ලක්වේ.
මෙලෙස බොහෝ දුක් හිරිහැර ගෙන දෙන අවේලාවේ වීථිවල හැසිරීමෙන් වැළකී සිටිමු.
උත්සව දර්ශනාදියෙහි ලොල්වීම ද ධන විනාශ මුඛයෙකි. එහි දොස් සයක් ඇති බව බුදුපියාණෝ
වදාළ සේක.
නැටුම්, ගැයුම්, වැයුම් අසන්නට, බලන්නට විනෝදවීමට නැටුම් දර්ශනාදිය ඇති උත්සවපළවල
හැසිරීම පුද්ගලයාගේ ධනය විනාශයට පමුණුවයි. ඇතැමුන් නැටුම් ගැයුම්, වැයුම් ඇති උත්සව
තැන් සොය සොයා එහි ආස්වාදයට හුරුවූවෝ වෙති. ඉන් ඔවුහු රන් සදිසි වටිනා කාලය ද තම
ධනය ද විනාශ කර ගනිති.
තම දියුණුව සිතන පතන ඊට වැඩ කරන නුවණැත්තා නැටුම් ගැයුම් උත්සව දර්ශනාදියෙහි ලොල්
නොවි ඉන් වැළකි තම දියුණුව සාදා ගනියි.
අප රටේ ද ඇතැම් දෙනා නාට්‍ය දර්ශන චිත්‍රපට ආදියට ලොල්වී නාටිකාංගනාවන්ගේ නැටුම්,
ගැයුම්, වැයුම් දකින්නට, බලන්නට, අසන්නට රැඟුම් ශාලා වෙත ඇදෙති. විනෝදාස්වාද ලබමින්
පසිඳුරන් පිනවීමට ලොල්වීමෙන් නැති කර ගන්නා ධන සම්භාරය සුළුපටු නොවේ. තරුණයන් පමණක්
නොව ඇතැම් විලිබිය නැති කාන්තාවෝ ද රාත්‍රී සමාජ ශාලා වෙත ඇදෙති. අපේ මේ දහම්
දිවයිනේ බොහෝ දෙනකු පිරිහීමට පත් වී ඇති අයුරු ඉන් පිළිබිඹු වෙයි.
දූ කෙළියෙහි යෙදීම ද කෙනකුගේ භෝග විනාශ මුඛ කරුණුූ සයෙන් එකකි. විනෝදය පිණිස ද?
තණ්හාවෙන් ද? තම ධනය වැඩි කර ගැනීමේ අදහසින් ද බොහෝ අය සූදුවෙහි නිරත වෙති. දූ
කෙළියෙහි, සූදුවේ වරක් දෙකක් යෙදුණේ නිතර නිතර දූ කෙළිති. ඊට පුරුදු වූවෝ
නොපැකිළෙති. ඉක්මනින් සූදුවෙන් පොහොසත් වෙමි’යි සිතා කෙනෙක් දූ කෙළියෙහි යෙදෙති.
ඉන් වරක් දෙකක් ජය ලැබුව ද ඒ මුදල් සූදුවට යෙදවීමට සූදුවට බර වූ කෙනා ක්‍රියා කරයි.
අවසානයේ ඔහු තම උපභෝග, පරිභෝග සම්පත් ද අහිමි කර ගනී. පවුලේ දුක් කරදර වැඩි කර
ගනියි. තමා සතුව තිබූ වස්තු සම්පත් නැති කරගෙන තමා ද දුකට වැටෙයි. තම අඹුදරුවන් ද
දුකට පමුණුවයි.
පව්කම්හි නිරත වන පව්කාරයන් හා ඇසුරට යන්නා ද පිරිහෙයි. ඔහුගේ ධනය විනාශයට පත්වේ.
පවිටු මිතුරන් යනු කවරහුද? කෙනෙක් දූ කෙළියෙහි යෙදෙන්නේ ද? එවැන්නකු හා ආශ්‍රය
කරන්නාගේ ද ධනය නැති වෙයි.
ගැහැනුන් කෙරෙහි ලොල්වූවන් ද ඇසුරට නුසුදුසු ය. සුරාවේ ඇලී ගැලී සිටින්නා ද ඇසුරට
නොගත යුතු ය. කපටි කෛරාටිකකම් කරන්නා ද ඇසුරින් බැහැර කළ යුතු ය. වංචා ප්‍රයෝග
කරන්නා ද, මංකොල්ලකෑම්, බියවැද්දීම් යන සැහැසිකම් (යෙ සාහසිකා) කරන්නවුන් ද යනාදි
වශයෙන් මෙසේ ඉහතින් දැක්වූ පවිටු මිතුරන් ඇසුරින් බැහැර නොකළ හොත් එය ධන විනාශ
මුඛයකට හේතුවන බව සිඟාල කුල පුත්‍රයාට තථාගත බුදුපියාණන් වහන්සේ උගන්වා වදාළහ.
නරක, වැරැදි වැඩ කරන අය නිසා දුකට පත්වන, අමාරුවේ වැටෙන අය බොහෝ වෙති. කාලයේ
වෙනසකින් තොරව පවිටු මිතුරු ඇසුර සැම කල්හිම අයහපත ම ගෙන දෙයි. එදා දේවදත්ත සමාගමය
නිසා පවිටු ඇසුරින් අජාසත්ත ආදීන්ට අපා දොරටු විවර වූයේ ය.
ධූර්තයෝ, සූදුව ද, සල්ලාලකම කරන්නෝ එම දුරාචාර ක්‍රියා ද, බේබද්දෝ තම බේබදුකම,
අනෙකාට ද බෝ කරති. හුරු කරවති. පසුව ඔහුගේ හොඳ හිතවතා සගයා වනුයේ තමන් හා දුරාචාරයේ
පවතින්නා ය. ඒ නිසා මනා සිහියෙන් නුවණ මෙහෙයවා ධූර්තයන්,සල්ලාලයන්, බේබද්දන්, සමඟ ද
රැවටිලිකරුවන්, වංචනිකයන් හා සාහසිකයන් ද ඇසුරින් දුරු කොට මේ වංචාකාරයෙක් ය.
රැවටිලිකාරයෙක් ය යනාදි වශයෙන් අවබෝධ කරගෙන මනාව සෙවිලි කළ වහලය අව්වෙන්, වැස්සෙන්
නිවසක නිවැසියන් රැක ගන්නා සේ, තමාගේ සිත හා නුවණ යොදා මෙවැනි පවිටු මිතුරන්ගෙන්
බේරි ක්‍රියා නොකළහොත් එය තමාගේ ධනය විනාශ වී යාමට හේතුවක් වෙයි. ධන විනාශය නොපතන
අය සිඟාලට බුදුරදුන් දුන් මේ උපදෙස තරයේ සිහි තබා හැසිරෙති. |