නොදියුණු බව අභිබවා දියුණුවට යන සුපසන් මාවත...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
රාජකීය පණ්ඩිත
පයාගල සුමනසාර හිමි
සමාජය පරිණාමය වීමේ දී කාලීනව මිනිසා මුහුණ දුන් අභියෝග ජය ගැනීමේ ප්‍රතිඵලයක්
වශයෙන් සමාජය විවිධ අංශයන්ට බෙදී ගියේ ය. මිනිසා විසින් තෝරාගනු ලැබූ වෘත්තීන්හි
නාමයෙන් කුල ක්‍රමය බිහි විණ. නො එසේ නම් දේව නිර්මාණයක් නිසා නොවේ.
ලෝකෝත්පත්ති කථාවක් සේ චතුර්වර්ණයේ ප්‍රභවය විස්තර කරන අග්ගඤ්ඤ සුත්‍රය ලෝකය හටගත්
කාලයේ ආභස්සර බඹ ලොවින් චුතව මෙලොව පහළ වූ මිනිසුන්ගේ සිත්හි ක්‍රමයෙන් පවිටු ගති
පැවතුම් ඇති වූ බවත්, එකී විෂමාචාරයන් පාලනය කිරීමට හා ජනතාවගේ දේපළවල ආරක්‍ෂාවට
මහජනයා විසින් පත්කර ගන්නා ලද පුද්ගලයාගෙන් ක්‍ෂත්‍රිය වංශය බිහි වූ බවත් කියයි.
ජනතාව සතුටු කරමින්, දැහැමින් පාලනය කළ බැවින් “රාජා” යන නාමය ද, මහජන සම්මතයෙන්
පත් වූ බැවින් “මහාසම්මත” යන නාමය ද, කෙත්වලට අධිපති වූ බැවින් “ක්‍ෂත්‍රීය ” යන නම
ද ඔහුට ව්‍යවහාර වූ බව සුත්‍රයේ වැඩි දුරටත් දැක්වේ. මෙකල විසූ මිනිසුන් අතර ඇතැම්
පිරිසක් සමාජයේ සිදුවන අපචාරී ක්‍රියාවන් දැක ඉන් මිදෙමු යැයි කතිකා කොට ක්‍රියා
කළෝ ය. එතැන් පටන් ඔවුන්ට “බ්‍රාහ්මණ” යන ව්‍යවහාරය ඇති විය.
මේ අතර සමහරු මෙවුන්දම් සේවනය කරමින් ගව රක්‍ෂණය වෙළඳාම ආදී ප්‍රසිද්ධ
කර්මාන්තයන්හි යෙදෙන්නට විය. ඔවුහු වෛශ්‍යයන් වශයෙන් ප්‍රසිද්ධියට පත් වූහ.
මෙකී සමාජයේ ඇතැම් කොටස් රෞද්‍ර වූ ද, සැඩ පරුෂ අධම වූ ද, ගති පැවතුම්වලින් යුක්ත
වූ අතර ඔවුන් ශුද්‍රයන් වශයෙන් හඳුන්වන ලදී. මෙසේ අග්ගඤ්ඤ සූත්‍රය චතුර් වර්ණයේ
ප්‍රභවය දේව නිර්මාණයක් වශයෙන් නොව සමාජ පරිනාමයේ ප්‍රතිඵලයක් ලෙස දකී.
මනුෂ්‍ය සංහතිය ආරම්භ වූ දා පටන් ම ඔවුන්ගේ විශේෂ ජාතිමය ලක්‍ෂණ ඇති බවත්, එකී
ලක්‍ෂණ නොනැසි පවත්නා බවත් කලකට පෙර ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කළ නමුදු නූතන ජීව
විද්‍යාඥයෝ මානව සංහතියේ වෙන් වෙන් ව හඳුනාගත හැකි ජාති ප්‍රභේද නැතැයි ප්‍රකාශ
කරති.
එහෙත් ක්‍රි.පූ. 6 වන සියවස තරම් ඈත අතීතයේ දී බුදුන් වහන්සේ මානව වර්ගයාගේ ඒකත්වය
ජීව විද්‍යාත්මක පදනමකින් විග්‍රහ කර තිබෙනු වාසෙට්ඨ සුත්‍රයෙන් පැහැදිලිව දත හැකි
ය. වාසෙට්ඨ හා භාරද්වාජ නමැති තරුණ බ්‍රාහ්මණයන් දෙදෙනා අතර බමුණකු වන්නේ ජාතියෙන්
ද? නැතහොත් ක්‍රියාවෙන් ද ? යනුවෙන් ගැටලුවක් උපන්නේ ය. මෙයට පිළිතුරු සෙවීම් වස්
බුදුන් වෙත ගිය ඔවුන්ට අනෙක් ජාතීන්ගේ විවිධත්වයත් මානව වර්ගයාගේ ඒකත්වයත් ප්‍රකාශ
කළ අයුරු මෙකී සූත්‍රයේ දැක්වේ.
තෘණ හා වෘක්‍ෂ ලතා අතර, විවිධ ජාති ඇත. ඒ ඒ ජාතියට අයත් සලකුණු ද ඇත. එසේම විවිධ
වර්ගයාගේ කුරා කුහුඹුවන්, කෘමීන්, වැනි ප්‍රාණීන් ඇත. ඔවුන්ගේ ද විවිධ ජාති හා
ඔවුන්ට අයත් සලකුණු ද ඇත. උරගයින් පක්‍ෂීන් හා මත්ස්‍යයන් අතර, ද විවිධත්වයක් තිබේ.
ඔවුන් වෙන් වෙන් ව හඳුනාගත හැකි සලකුණු ද තිබේ. එහෙත් මිනිසුන් අතර එසේ වෙන් වෙන්ව
හඳුනාගත හැකි විවිධ ලක්‍ෂණ නොපෙනේ.
මිනිසුන්ගේ කෙස්, හිස්, කන්, ඇස්, ඇට, නැහැය, තොල, බැම, ගෙල, දසරුව, උදරය, පිට,
උකුල, පපුව, යෝනිය යනාදි අංගයන් සම්බන්ධයෙන් අන්‍ය ජාතීන් අතර මෙන් ජාතියට අයත්
සලකුණු නැත. මිනිසකු තවත් මිනිසකුගෙන් හඳුනා ගන්නේ සංඥා නාමයෙන් පමණි. මේ නිසා මානව
සංහතිය ම එකම වර්ගයකට අයත් වන අතර, ජාති කුල ගෝත්‍ර වශයෙන් බෙදීම හුදු දෘෂ්ටි
මාත්‍රයක් හෝ සම්මතයක් පමණක් වන බව තුලනාත්මකව හා තාර්කිකව බුදුන් වහන්සේ පෙන්වා
දුන්හ.
යමෙක් දුනු හරඹයෙන් ජීවිකාව කෙරෙයි ද ඔහු සෙබළෙකු මිස බමුණකු නොවේ. යමෙක්
කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවයි ද ඔහු ගොවියෙකි. බමුණකු නොවේ. යමෙක් නානා ශිල්පයෙන්
දිවි ගෙවයි ද ඔහු ශිල්පියෙකි. බමුණකු නොවේ. වෙළඳාමෙන් දිවි ගෙවන්නා වෙළෙන්දෙකි.
සොරකමෙන් දිවි ගෙවන්නා සොරෙකි. බමුණකු නොවේ. උපතින් ම හැම මිනිසෙක්ම වෘත්තීය අනුව
ඔහු විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලැබේ.
පුද්ගලයාගේ ජන්මය ඔහුගේ වර්ණය නිර්ණය නො කරයි. බමුණකු හෝ අබ්‍රාහ්මණයකු වන්නේ
ක්‍රියාවෙන් බව වාසෙට්ඨ හා භාරද්වාජ තරුණ බමුණන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර
දුන්හ. මෙයින් බ්‍රාහ්මණ ආගම විසින් සමාජය තුළ තහවුරු කොට තිබු වර්ණ භේදය පදනම්
විරහිත එකකැයි සනාථ කරන ලදී.
අස්සලායන සුත්‍රයේ වරක් අස්සලායන මානවකයා විසින් බුදුන් හමුවේ බමුණන්ගේ
ශ්‍රේෂ්ඨත්වයත්, පාරිශුද්ධියත් වර්ණනා කරන ලදී.
‘බ්‍රාහ්මණයෝ ශ්‍රේෂ්ඨ ය. සෝභා සම්පන්න වූ වර්ණ ඇත්තෝ ය. අනෙක් වර්ණයෝ හීන ය. කෘෂ්ණ
වර්ණ ය. අපිරිසුදු ය. බ්‍රාහ්මණයෝ මහා බඹු විසින් නිමවන ලද නිසා ඔහුගේ ඖරස පුත්‍රයෝ
ය. යනුවෙනි. මෙහිදී බුදුන් වහන්සේ විශ්ව ගත අනෙක් මිනිසුන්ගේ උපත සිදුවන ආකාරයටම
බමුණු ස්ත්‍රීන්ගේ ගැබ් ගැනීම, දරුවන් වැදීම, කිරි පෙවීම ආදිය පෙනි පෙනී තිබිය දී ම
බමුණන් මහ බඹුගේ මුඛයෙන් උපන් බව පැවසීම අර්ථ ශුන්‍ය බවත්, එය මහ බඹුට කරන අවමානයක්
බවත් පෙන්වා දෙමින් වර්ණයන්ගේ ශ්‍රේෂ්ඨත්වය ජන්මීය සාධක මත පදනම් නොවන බව පෙන්වා
දුන්හ.
බමුණන් අතිමානයෙන් සැලකූ කුල පාරිශුද්ධිය ද මිත්‍යා විශ්වාසයක් බව දීඝ නිකායේ
අම්බට්ඨ සුත්‍රය පැහැදිලි කරයි.
බ්‍රාහ්මණයකුගේ මවුපිය දෙපාර්ශවයෙන් ඔවුන්ගේ පරපුර සොයා ගිය විට එම පරපුරේ මුතුන්
මිත්තන් ශාක්‍යයන්ගේ දාසියකගෙන් උපන් බව ප්‍රකට වේ. එසේ නම් ශුද්‍ර වර්ණයට අයත්
නැනැත්තියක් බමුණකුගේ මව වී නම් ඇගේ පුත්‍රයා බමුණකු වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කොට
බමුණන්ගේ කුල පාරිශුද්ධිය මිත්‍යාවක් බව හෙළි කොට තිබේ.
වර්ණ භේදයක් හෝ ජාති භේදයක් මිනිසුන් අතර නොපැවතිය හැකි යැයි ආර්ථික හා සමාජ
විද්‍යාත්මක පදනමකින් යුතුව බුදු දහම කරුණු ගෙනහැර දක්වා තිබෙන අයුරු මජ්ක්‍ධිම
නිකාගේ මධුර සූත්‍රයෙන් පැහැදිලි වේ.
මහා කච්චායන තෙරුන් හා අවන්ති රජු අතර පැවති සාකච්ඡා චතුර් වර්ණය පිළිබඳ බ්‍රාහ්මණ
ඉගැන්වීම් ව්‍යවහාර මාත්‍රයක් බවත්, පොදුවේ මිනිසුන් සමාන බවත් මනු නීතියෙන්
ශුද්‍රයාට විශේෂ රැකියාවක් පනවා තිබුණු නමුදු සමාජමය වශයෙන් ප්‍රමාණවත් ධන ධාන්‍ය
රැස්කොට ගෙන ධනවත් වූ විටෙක අනිකුත් තුන් කුලයෙහි ම පිරිස තම යටතට ගත හැකි යැයි
මෙහි දී පෙන්වා දි තිබේ. මජ්ක්‍ධිම නිකායේ අස්සලායත සුත්‍රයේ දී ඇතැම් ප්‍රදේශවල
ඇත්තේ පාලක පාලිත දෙපක්‍ෂයෙක් මිස චතුර්වර්ණයක් නොවේ යැයි ද වරින් වර ඔවුනොවුන්
පරදවා රටේ පාලන බලතළ අල්ලා ගැනීමෙන් ආර්යයන් දාසයන් බවටත්, දාසයන් ආර්යයන් බවටත්
පත්වන බව තහවුරු කිරීමෙන් ද කුල භේදය පිළිබඳ බ්‍රාහ්මණ මතය නිෂ්ප්‍රභා කොට තිබේ.
ලෝභය, ද්වේෂය, මෝහය, මානය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි මනෝභාවයන්ගේ
ක්‍රියාකාරිත්වය කුල භේදයකින් තොරව සියලු පුහුදුන් මිනිසුන්ට සාධරණ බව බුදුසමය
පෙන්වා දෙයි. සියලු මිනිස් ක්‍රියාකාරකම් මනෝමූලිකව සතර අගතියට අවනතව සිදුකරනු
ලැබේ. මිනිස් ක්‍රියාකාරකම් මානසික ක්‍රියාකාරීත්වය මත පදනම් වේ නම් මානව වර්ගයාගේ
නානත්වයන් පැනවිය නොහැකි ය. එබැවින් වර්ණ භේද වාදයට මනෝවිද්‍යාත්මක පදනමක් ද නැත.
බ්‍රාහ්මණයන් විසින් විමුක්තිය ලැබීම ද එක්තරා කොටසකට පමණක් ඇති අයිතියක් හා
හැකියාවක් වශයෙන් සලකන ලදී. එහෙත් බුදු සමය එවැනි සීමාවක් නො පනවයි. බ්‍රාහ්මණයා
ගඟට ගොස් නා ශරීරයේ කුණු ඉවත් කරන්නාක් මෙන් අන් අය ද එම ක්‍රියාවේ සමත් වෙතැයි ද,
වර්ණ හතරට ම අයත් ඕනෑම කෙනකුට නිවන් අවබෝධ කළ හැකි යැයි බුදුන් වහන්සේ ප්‍රකාශ කළහ.
මේ නිසාම ආචීර්ණ කල්පිත බ්‍රාහ්මණ චින්තනයට අභියෝග කිරීම සම්බන්ධයෙන් බුදුන්
වහන්සේට ‘ශ්‍රමණ භවත් ගෞතමයන් චතුර් වර්ණයට ම ශුද්ධිය පනවයි’ යන චෝදනාව ද එල්ල විය.
උන්වහන්සේ න්‍යායිකවත්, ප්‍රායෝගිකවත් විමුක්තිය සම්බන්ධයෙන් කුලය ජාතිය වැනි සාධක
බල නො පාන බව ප්‍රකට කළහ. ආධ්‍යාත්මික වශයෙන් නිසි තත්ත්වයට පත් ඕනෑම කෙනකුට
විමුක්තිය ලැබීමට බාධාවක් නැත. අවශ්‍ය වන්නේ වීර්ය පමණි. එම වීර්යයෙන් ලත්
ආධ්‍යාත්මික සුවයෙහි වෙනසක් නැත. කොසොල් රජු වරෙක බුදුරදුන්ගේ ඇසු පැනයකට දෙන ලද
පිළිතුරින් මේ පිළිබඳ බෞද්ධ ස්ථාවරය තවදුරටත් තහවුරු වේ.
භාග්‍යවතුන් වහන්ස ක්‍ෂත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යන මේ වර්ණ සතරක් ඇත. ඔවුන්
නිර්වාණය උදෙසා පස් වැදෑරුම් අංගවලින් යුක්ත යැයි සිතමු. නිර්වාණාධිගමය විසින්
ඔවුන් අතර වෙනසක් ඇත්ද? මහරජතුමනි, විමුක්ති සම්බන්ධයෙන් ඔවුන් අතර වෙනසක් නොමැත.
උදාහරණයක් කියමි. මහරජ එකෙක් වියළි පරඩලායෙන් ගිනි දල්වයි. එකෙක් වියළි සල් දරින්
ගිනි දල්වයි. තවකෙක් වියළි අඹ දරින් ගිනි දල්වයි. මහරජ මේ නොයෙක් දරින් කරන ලද
ගිනිවල දැල්ලෙහි හෝ පැහැයෙහි හෝ දීප්තියෙහි වෙනසක් නොවන්නේ ද? එසේම මහරජ
ව්‍යායාමයෙන් හා පධානයෙන් දල්වන ලද අභ්‍යන්තර ආලෝකය ද එසේ ම ය. මෝක්‍ෂය අතින්
එකිනෙකා අතර ප්‍රභේදයක් නොවෙයි.
වර්ණ භේදයකින් තොරව කර්මවල ඵල විපාක ලැබෙන බව බුදු දහම අවධාරණය කරයි. මෙය මානව
සංහතියේ ඒකත්වය පිළිබඳ දක්වන ආචාර විද්‍යාත්මක තර්කයකි. වරක් බුදුන් වහන්සේ මධුර
රජතුමාට ප්‍රකාශ කරනුයේ මෙලොව ක්‍ෂත්‍රීයෙක්, බමුණෙක්, වෛශ්‍යයෙක්, ශුද්‍රයෙක්
කාමයේ වරදවා හැසිරෙනුයේ, මුසාබස් බණනුයේ, පිසුණු බස් ඇතියේ, පරොස් බස් ඇතියේ, හිස්
බස් ඇතියේ අභිධ්‍යා බහුල වුයේ, ව්‍යාපාද සිත් ඇත්තේ, මිසදිටු ඇත්තේ වේ ද, ඔහු
මරණින් මතු සැපයෙන් පහ වූ දුගතියේ උපදනා බවයි.
එසේ ම මෙකී කුල සතරෙහි යමෙක් මෙම අකුසල ධර්මයන්ගෙන් වෙන් වුයේ සුගතියෙහි උපදනා බව
ය. මේ අනුව කුලය මෙහි තීරණාත්මක සාධකයක් වී නොමැත.
බ්‍රාහ්මණ සමාජ දර්ශනය තුළ කුලවාදය මුල් බැසගෙන තිබූ ආකාරයත්, ඉන් පහත් යැයි සම්මත
කුලයන් පීඩනයට ලක් වු ආකාරයත් ඒසුකාරී නම් බමුණකු බුදුන් වහන්සේට ඉදිරිපත් කළ
බ්‍රාහ්මණ සංකල්පයක් තුළින් ප්‍රකට වේ.
ඒසුකාරී බමුණා බුදුන් වහන්සේ වෙත පැමිණ බ්‍රාහ්මණයන්ට කුල සතරම මෙහෙ කටයුතු ය.
ක්‍ෂත්‍රියන්ට බමුණු කුලය හැර සෙසු කුල තුන ද, වෛශ්‍යයන්ට ක්‍ෂත්‍රීය බ්‍රාහ්මණ
දෙකුලය හැර සෙසු කුල දෙක, ශුද්‍රයන්ට ශුද්‍ර කුලය ද මෙහෙ කටයුතු ය යනුවෙන් මතයක්
පවත්නා බව ප්‍රකාශ කොට මේ පිළිබඳ බුදුන් වහන්සේගේ අදහස විමසීය.
එහි දී බුදුන් වහන්සේ බමුණන්ගේ මෙකී පැණවීම හුදෙක් පුද්ගලයාගේ කැමැත්ත අකැමැත්ත නො
විමසා බලහත් කාරයෙන් පවරනු ලබන්නෙකැයි වදාරා තමන් වහන්සේ සියලු පරිචර්යාවන් කළ යුතු
යැයි ද, නොකළ යුතු යැයි ද ප්‍රකාශ නොකරන බවත්, පරිචර්යා කිරීමෙන් ඔහුට යහපතක් වන්නේ
නම්, පාපයක් නොවන්නේ නම් එබඳු පරිචර්යා කළ යුතු යැයි ද, නො එසේනම් නොකළ යුතු යැයි ද
අවධාරනය කළහ.
අනතුරුව ඒසුකාරී බමුණා බමුණන් අතර පවත්නා තවත් එවැනිම වූ පිළිගැනීමක් පිළිබඳ
ප්‍රකාශ කොට එහිදී ද බුදුන් වහන්සේගේ මතය විමසීය.
එනම්, බ්‍රාහ්මණයෝ ධන සතරක් පනවත්. ඒ ධන ඉක්මවන්නා නොදුන් දෙය ගන්නා ගෝපකයකු මෙන්
නොකොටයුත්තක් කෙරේ.
කුලය අනුව ඔවුන්ට අයත් වන ඒ ධන සතර නම් දුනු හී ක්‍ෂත්‍රීයන්ට අයත් ස්වකීය ධනය යි.
බ්‍රාහ්මණයාට භික්‍ෂාටනය යි. වෛශ්‍යයාට ගොවිතැන වෙළඳාම හා ගව පාලනය යි. ශුද්‍රයාට
අයත් ස්වකීය ධනය නම් තණ කපන දෑකැත්ත හා කදයි.
බමුණන්ගේ මේ සතර ධනයන් සියලු ලෝකයා පිළිගනී දැයි ප්‍රකාශ කළ බුදුන් වහන්සේ
පුද්ගලයාගේ කැමැත්ත අකැමැත්ත නොමැතිව පනවන ලද මෙකී පැනවීම ද බලහත්කාරකමකැයි දක්වා
ආර්ය වූ ලෝකෝත්තර ධර්මය පුද්ගලයාගේ ස්වකීය ධනය වශයෙන් පෙන්වා දුන්හ.
අනතුරුව කුල ව්‍යවහාර පිළිබඳ බුදුන් වහන්සේ අදහස් දක්වමින් ඒසුකාරි බ්‍රාහ්මණයාට
ප්‍රකාශ කළේ පැරැණි වූ මවුපියන් සතු වංශය සිහි කරන පුද්ගලයාගේ ආත්ම භාවය යම් යම්
කුල වංශයක ඉපදීම වේ ද ඒ අනුව ව්‍යවහාරයට එන බවයි.
ක්‍ෂත්‍රීය කුලයෙහි ආත්මභාවයක ඉපදුනේ නම් ක්‍ෂත්‍රීය යැයි ව්‍යවහාරයට පැමිණේ. බමුණු
වෛශ්‍ය ශුද්‍ර කුලය ද එසේ ම ය. මෙකී කුලවල කවරකු හෝ ප්‍රාණ ඝාතයෙන් වැළකී,
අබ්‍රහ්මචර්යාවෙන් වැළකී, බොරුකීමෙන් වැළකී, පිසුණු බසින් වැළකී, පරොස් බසින්
වැළකී, අභිධ්‍යා බහුල නොවී, අව්‍යාපාද සිතින් යුක්තව, සම්මා දිට්ඨියෙන් යුක්තව කුසල
ධර්මයෙහි පිහිටා ද ඒ සැමට ආධ්‍යාත්මික සුවය ලද හැකි යැයි පෙන්වා දුන්හ.
බමුණා ගඟට ගොස් නා ශරීරයේ කුණු ඉවත් කරන්නාක් මෙන් සෙසු සියලු කුලවලට ද ආධ්‍යාත්මික
සුවය ලද හැකි යැයි මානව සංහතියේ ඒකත්වය ප්‍රකට කළහ. මෙයින් පැහැදිලි වන්නේ බුදු දහම
පුද්ගලයාගේ ශ්‍රේෂ්ඨත්වය අගය කරනුයේ ආචාරාත්මක පදනමකින් මිස ජන්මීය පදනමකින් නොවන
බවයි.
තමො තම පරායන සුත්‍රයේ දි බ්‍රහ්මණ සමාජයේ කුල වාදය අනුව කොටස් සතරක් විය. එහෙත්
බුදුරජාණන් වහන්සේ එය අන් ලෙසකින් ඉදරිපත් කළහ. තමොතම පරායන සුත්‍රයේ දී පුද්ගලයෝ
සතර දෙනෙක් ඉදිරිපත් කළහ.
තමො තම පරායනො, තමො ජොති පරායනො, ජොති තම පරායනො, ජාති ජොති පරායනො වශයෙනි.
වර්ණය අනුව වෛදික සාමජයේ බෙදීම් සිදු වූ අතර බෞද්ධ සමාජයේ ආලෝකය අනුව බෙදා ඇත. මෙසේ
බලන විට බෞද්ධ සමාජ දර්ශනය ගෘහත්මක සමාජ දර්ශනයක් බව පැහැදිලි වෙයි.
හොඳ අය නරක් විය හැකිවාක් මෙන් නරක අය හොඳ විය හැකි අතර , හොඳ අය වඩාත් හොඳ අය විය
හැකි වීමයි. මේ අනුව හොඳ - නරක වශයෙන් දෙකොටසකට පමණක් බෙදා නැත. එයින් පුද්ගලයා
අඳුරෙන් ආලෝකයට කැඳවුනු ලබයි.
ජාතිය කුලය වැනි සංකල්ප මත පදනම්ව පුද්ගලයාගේ වර්ගීකරණය නොකර බුදු සමය ආධ්‍යාත්මික
හෝ ආචාරාත්මක සංවර්ධනයේ ප්‍රමාණය අනුව කිසියම් වර්ග කිරීමක් කරනු ලබයි. වසල
සුත්‍රයේ දී පුද්ගලයා උසස් වන්නේ ඔහුගේ ක්‍රියාකාරිත්වය අනුව බව දක්වා තිබේ. ගිහි
පැවිදි, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් වශයෙන් ද දක්වා ලැබෙන වර්ගීකරණය තුළ ද
ඇත්තේ මෙකී පදනමයි. මෙම වර්ගීකරණය කිසිලෙසකින්වත් බ්‍රාහ්මණ චින්තනය හා සමගාමී
නොවේ. ඊට හේතුව බුදු සමය නිරතුරුව ම පුද්ගලයා පහත් තත්ත්වයෙන් උසස් තත්ත්වය කරා
යෑමට අනුබල දීමත්, ඊට අදාළ පසුබිම ඕනෑම පුද්ගලයකුට විවර කර දීමත් නිසාවෙනි.
ආධ්‍යාත්මික වශයෙන් හෝ ආචාරාත්මක වශයෙන් නොදියුණු (පහත්) පුද්ගලයකු එසේ සිටිය යුතු
නොවේ. එය අභිබවා යා යුතු යැයි අවධාරණය කරන බුදුදහම සියලු පුද්ගලයන් උසස් පුද්ගලයන්
බවට පත්වීම අපේක්‍ෂා කරයි. බමුණු මවගෙන් උපන් පමණකින් කෙනකු බමුණකු නොවන බව අවධාරනය
කරන බුදු දහම කෙලෙස් නැති, දැඩි සේ ගැනීම් නැති සියලු සංයෝජන සිඳ දැමූ, සිල්වත් වූ,
ක්‍රෝධයෙන් තොර ආදී ආධ්‍යාත්මික සංවර්ධනයෙන් යුත් පුද්ගලයා බමුණකු වශයෙන් හඳුන්වා
දී තිබේ. |