Print this Article


යහපතට පුරුදු කළ සිත යහපත ම ගෙන දෙයි

යහපතට පුරුදු කළ සිත යහපත ම ගෙන දෙයි

සිත කියල කියන්නේ පියවි ඇසකට දැකබලා ගන්න පුළුවන් දෙයක් නොවෙයි. රුවක් වගේ ඇඳලා, අඹලා පෙන්වා දෙන්නට හැකි දේකුත් නොවෙයි. කොටින්ම කියනව නම් වස්තුවකුත් නොවෙයි. ඒක නිසාම හැඩ තලයකින් යා කරල බලන්නත් බැහැ. එහෙම නම් මේ සිත කොහේ පවතීද කියල කුහුලකුත් මතු වෙනවා. සිත පවතින්නේ හදවත ඇසුරු කොටගෙනයි.

මේ සිතේ ගතිය කොහොමද කියලත් සොයා බලන්න ඕනේ. අප කවුරුත් දන්නවා දියපාර ලෙහෙසියෙන් ගලන්නේ පහළ ගං බලානේ. උඩුගං බලා යන්නෙ නෑනේ. පහළ ගම් බලා යන විට බොහොම ලෙහෙසියෙන් ඇදිල යනවා. එහෙම ඇදිල යනකොට ඒකට වැඩිපුරම එකතු වෙන්නෙ හොඳම දේවල් නොවෙයි. යහපත් දේවලුත් නොවෙයි. ලස්සන දේවලට වඩා අවලස්සන දේ ඉක්මණින්ම එකතුවෙලා උරාගන්න සිරිතක් තියෙනවා. ඒක නිසා මේ අසෝබන ගතියට බෙහෙවින් ඇදිල යන සිත සෝබන පැත්තට හරවගන්න ඕනේ.

ඒ විදියට හරවන්න නම් බොහොම මහන්සි වෙන්න ඕනේ. ඇප වෙන්න ඕනේ. ඒ වගේම කැපවෙන්න ඕනේ. ඒ විදියෙන් කැප වුණාම මේ හීලෑ කරගන්න අපහසු කුළුමීමෙක් බඳු වූ සිත හීලෑ කරගන්න පුළුවන්. ඒකට මහත් ආයාසයක් ගන්න ඕනේ. මහත් ආයාසයක් අරගෙන කීකරු කර ගත්තහම අනේ කොච්චර හොඳ දේවල් කරන්න පුළුවන්ද? ඒක නිසා මේ හිත නරක් කර ගන්නෙ නැතිව යහපත් ලෙසටම සකස ගන්න ඕනේ.

මේ සිත අතරක් නැතිවම ගලාගෙන යන එකක්. හරියට කම්බි රැහැන දිගේ ගලායන විදුලිය වගේ. විදුලි බුබුළ එළිය දෙමින් පත්තු වෙනවා. ඒ වුණාට දහරාව අතරක් නැතිව ගලාගෙන ගලාගෙනම යනවා. අපේ ජීවිතයත් එක්ක මේ සිත පරම්පරාවෙන් පරම්පරාවට උරුමවෙලා තියෙන ආකාරයට ඇදී ඇදී රෝදයක් වගේ පෙරළී යනවා. ඒ වුණාට මේ ගමන කවදා හෝ කෙදිනක හෝ ඉඩක් ලත් විට ගතින් ඈත් වෙනවා. ඒකට කියනවා මරණය කියලා. මරණයෙන් පස්සේ මේ සිත නතර වෙනවා ද? නෑ. නතර වීමක් නැහැ. ඒ කුණු කය අත්හැරල වෙනින් සුදුසු තැනක සිත ගිහින් නවතිනවා. නැවතිලා නැවතත් ගමන ආරම්භ කරනවා.

මැරෙන මොහොත ආවාම කොහොමද මේ සිත වැඩ කරන්නේ. කය නිසලව තිබුණත් සසල වෙලා තියෙන සිත ජීවිත කාලය තුළ අප පුරුදු කරපු හොඳ නරක ක්‍රියාවෙන් සෙලවෙන සිතුවමක් වගේ. බොහොම බලසම්පන්නව වැඩ කරනවා. වඩාත් හොඳ සෝබන සිතිවිල්ලක එහෙම නැත්නම් සිල් සුවඳින් සුවඳවත් කරගත්තු මැනවින් වඩල තැන්පත් කරගෙන තිබුණා නම් නොවරදින වෙඩිල්ලක් වගේ ඉලක්කයටම ගිහින් යහපත් තැනකම රැඳෙනවා. සමහරු මේ චුති සිත සෝබන කරවන්නට මරණ මොහොතේ බණ කියනවා. පිරිත් කියනවා. අසෝබන නුහුරු නුපුරුදු සිතකට නම් ඒ පිරිත් බණ අල්ලන්නේ නැතිවෙන්න පුළුවන්. ඒකත් හරියටම කියන්න අපහසුයි. ගති නිමිත්ත පෙර වාසනාවකට දැඩිකොට අල්ලා ගත්තා නම් අර පුරුදු කරගෙන ආ නරක සිතිවිලි හා නරක ක්‍රියාවන් සියල්ල අහෝසි වෙලා යහපත් අරමුණු ඔස්සේ ගිහිල්ලා සුගතියක උපත ලබනවා. කවරදාකවත් පිනක් නොකරපු මට්ටකුණ්ඩලී බුදු එළිය දැකලා දිව්‍ය ලෝකයේ උපන්නා වගේ.

බුදුරජාණන් වහන්සේගේ සුමදුර දහම් හඬ අහල සැරයටියට හිරවෙලා, සිත පහදවාගෙන බණ අහල මැරිල ගිහින් මැඩියෙක්, මණ්ඩක දේව පුත්‍රයා වෙලා දිව්‍ය ලෝකයේ උපන්නා වගේ, මුළු ජීවිත කාලයම පින් දහම් කරපු මල්ලිකා දේවිය බොරුවක් කියල කොසොල් රජ්ජුරුවෝ රවටපු එක මැරෙන මොහොතේ මතක් වෙලා හත් දවසක් නරකාදියේ ඉපදිලා හිටියා. ෙමි නිසා තමයි හැම විටම හිත සකස් කරල පුරුදු කරල පුහුණු කරල ඉදිරියට ගෙනගියොත් නරක තැනක උපදින්නේ නැහැ.

තුන් මසක් ම එකම ගාථා පාඨයක් පාඩම් කරගන්න බැරුව හිටිය චුල්ලපන්ථක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ නිසාම ශාසනයේ රැඳුණා. ඒ විතරක් නොවෙයි, සුළු වේලාවක් ඇතුළත අර සිතම සකස් කරගෙන මැනවින්ම ඒ සිත දැකලා, පිරිසුදු රෙදි කඩේ කිළුට දැකලා ඒක වටහාගෙන අවබෝධ කරගෙන ඒකම පාදක කරගෙන රහතුන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. බලන්න සිතක මහිම.

ජීවිත රෝදය පෙරළීගෙන යනකොට ගල්, මුල්වල හැපිල ඇද කුද වෙන කොට හිත කුරුවල් වෙනවා. එහෙම නැතිව අටලෝ දහම ගැන මෙනෙහි කරල හිත හදාගෙන සැනසිලි සුවය ළඟා කරගන්න ඕනේ. ඒකට සිත පුරුදු කරන්නට ඕනේ. එහෙම පුරුදු කළ සිත කිසිම දේකට සෙලවෙන්නේ නැහැ. යකඩ ඉන්න මහ සුළඟට වැනෙන්නේ නැතිවා වගේ හිත හදාගත්තෙ නැති වුනාම දුක් වෙනවා. පසුතැවිලි වෙනවා. උකටලීව කම්පාවෙලා ඉන්නවා. එහෙම ඉන්න අයට තමයි, අනේ අපට කොයිම වෙලාවකවත් සැනසිල්ලක් නෑනේ කියන්නේ.

ඉඳගන්නකොට, නැඟිටිනකොට, කනවිට, බොන විට, අඳින පළඳින විට, යන එන විට කරන කියන හැමදේක දී ම සිත මුල්කරගෙන එකම අරමුණකින් යුතුවම කරගෙන යන කොට පුදුම පහසුවක් සැනසිල්ලක් ඇතිවෙනවා. ඒ සැනසිල්ල ඇතිවෙන විට මැදහත් බවකින් හැම දෙයක් පිළිබඳ පිරිසිඳ දැක ගන්න පුළුවන්. එහෙම වෙන කොට අසිරිමත් සැනසිලි සුවයකින් සිත වෙලෙනවා. ඒ සැනසිලි සුවය තුළින් විනිවිද දකින්න පුළුවන්. ඒ කොහොමද කියනව නම් උදකප්‍රසාද මැණික, කැළඹුණු දියට වැටුනහම ඒ කැළඹුණු ගතිය මැකිල පැහැදිලිවම පතුල පෙනෙනවා වගේ. එපරිදිම විනිවිද දකින්න පුළුවන් වෙනවා. පවතින හැම දෙයකම ඇති තතු විනිවිද දකිනවා. එනිසාම සාර දෙය සාර හැටියට ගන්නත් අසාර දෙය බැහැර කරන්නත් පුළුවන් වෙනවා. ඇතිවීම, පැවතීම, නැතිවීම දකින්න පුළුවන්. සිතේ පැවතුන බර ගතිය වියැකී සැහැල්ලු ගතිය හොඳට ඇතිවෙන බවක් දැනෙනවා. මේ පිරිසිඳ දැකීම තුළින් සිත තව තවත් සුමගටම ඇදෙනවා. අරමුණු ගැනීම් අඩුවෙනවා. නියත නැති නිසා දුකක් ඇතිවෙන බව වැටහෙනවා. ඒ දුකත් ඒ ආකාරයෙන් ම නොපවතින නිසා අනාත්ම බවත් වැටහෙනවා. ඒ ආකාරයෙන් සිත ගැනත් මෙනෙහි කරන විට මැනවින් දැකීමේ නුවණැස වැඩෙනවා. ඒ වැඩීම තුළින්ම සියලු කෙලෙසුන් නැසීම දක්වා සිත දියුණු කිරීමෙන් තවත් සිතක් පහළ නොවන ස්වභාවයට පත්වෙන්න පුළුවන්.