Print this Article


දෙලොව දියුණුව ගැන සිතනවා නම්....

දෙලොව දියුණුව ගැන සිතනවා නම්....

ගිහි බෞද්ධයාගේ ඒකායන අරමුණ විය යුතු දෙලොව දියුණුව සැලසෙන ලෙස ජීවිතය පවත්වා ගැනීම ය. හේ අලස වූයේ නම්, ඒ අරමුණට යා නොහැකි ය.

දියුණුව බලාපොරොත්තු වන පුද්ගලයාට උත්සාහය, වීර්යය අත්‍යවශ්‍ය ය. කෙනෙක් සියල්ල හිමි වන්නේ කළ පින් හා තම වාසනා ගුණය මත බව සිතති. එසේ ලැබෙන දෙයක් ලැබේ යැයි කල් හරින්නේ අලසයන් ය.

උත්සාහවත් පුද්ගලයා සතු ගුණාංග අතර, දක්ෂ බව, අනලස් බව, තැනට සුදුසු නුවණ, සුදුසු දේ කිරීම, මනාව සංවිධානය වීම ආදිය සුවිශේෂී වේ. යම් කෙනකුට මෙම ගුණයන් වේ නම් ඔහුට මෙලොව ලද නොහැකි ජයග්‍රහණයක් නැත.

එක් අවස්ථාවක සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කොට වදාළේ අලස පුද්ගලයකු දැකීමට පවා තමන් වහන්සේ අකැමැති බව ය.

ස්ථානෝචිත ප්‍රඥාව යනු තැනට සුදුසු නුවණ යි. ජීවන ප්‍රතිපදාව මනාව හසුරුවා ගැනීමේ දී තැනට සුදුසු නුවණ අත්‍යවශ්‍ය ය. සෑම අවස්ථාවක දී ම එක හා සමාන තීන්දු තීරණ ගත නොහැකි ය. දැඩි විය යුතු තැන දැඩි තීරණ ගැනීමටත්, මෘදු විය යුතු තැන මෘදු තීරණ ගැනීමටත් හැකි විය යුතු ය. ඒ තීරණය තමන්ට හෝ අනුන්ට හෝ අනර්ථයක් නොවිය යුතු ම ය.

සමබර ජීවිතයක් ගත කිරීමට නම් උපාය කෞෂල්‍යය ඇත්තෙක් විය යුතුය. පොතපතින් ලබා ගන්නා දැනුම සේ ම ජීවන අත්දැකීම් ඇසුරින් ද ඒ ගුණාංගය ඔපමට්ටම් කර ගත හැකි වේ.

ජීවන ප්‍රතිපදාව තුළ සරු නිසරු දෙය තෝරා බේරා ගැනීමේ හැකියාව ද වෙසෙස් ය. බුද්ධි ගෝචර පුද්ගලයා නුසුදුසු දෑ බැහැර කොට සුදුසු දෙයම තෝරාබේරා ගනී. එහි දී තමන් කරන කියන දැයෙහි අනුසස් හා විපාක හඳුනා ගනිමින් පාපයෙන් බැහැරවේ. එම පුද්ගලයා ආත්මාර්ථකාමී හැඟීමෙන් පෙළෙන්නෙක් නොවේ. අන්‍යයන්ගේ සුබ සිද්ධිය ද ඔහුගේ බලාපොරොත්තුවයි.

මෙවැනි ගුණාංග ජීවිතයට පුරුදු පුහුණු කරන ඒ සඳහා උත්සාහවත් වන පුද්ගලයාට දෙලොව අභිවෘද්ධිය සලසා ගැනීම අසීරු නො වනු ඇත.