Print this Article


අයිති නැති දේ තමන් සතු කර ගැනීමෙන් උපදින්නේ ශෝකයයි

අයිති නැති දේ තමන් සතු කර ගැනීමෙන් උපදින්නේ ශෝකයයි

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටි සමයේ සිදු වූ කතාවක් තමයි මේ කියන්න යන්නේ. දඹදිව ජනතාවගෙන් වැඩි පිරිසක් ජීවත් වුණේ කෘෂි කර්මාන්තයෙන්. ජේතවනාරාමයට මදක් ඈතින් ජීවත් වුණා සාධාරණ, ධර්මයට අනුව ජීවත්වන තරුණයෙක්. ඔහු බොහොම උත්සාහවන්තයි.

මහන්සි වෙලා කුඹුරු වැඩ කළා. අඹුදරුවන් පෝෂණය කළේ දෑතේ මහන්සියෙන් හම්බ කරන දේවල්වලින්. කුඹුරු අස්වද්දන කාලයක් වුදා වුණා. දවසක් බොහෝම තදින් වහින්න පටන් ගත්තා. පාන්දර යාමය වන විට ක්‍රමයෙන් වැස්ස පායා තිබුණා. අධික සීතල නිසා නුවර වැසියෝත්, ගම්වැසියෝත් තද නින්දකට වැටී සිටියා. වැස්සත්, නගර වැසියන්ගේ තද නින්දත් වාසියට ගත්ත මං පහරන සොරු රංචුවක් කල්පනා කළා අද හොඳම දවසක් බඩු ටිකක් හොයා ගන්න. ඒත් රාතී‍්‍ර කාලයේ නගරයට ඇතුළු වන එක බොහොම අමාරු වැඩක්. ආරක්ෂකයන් දාලා ඉන්නවා.

අපි කොහොමද නගරයට ඇතුළු වෙන්නේ’යි සොර නායකයා අනෙක් සොර පිරිසගෙන් විමසා සිටියා. එක් සොරෙක්, අයියණ්ඩි, අපි නගරයේ කාණුවෙන් ඇතුළු වෙමු. කාටවත් එතකොට අපව අල්ලා ගන්න වෙන්නේ නෑ’යි කිව්වා. හොර නායකයා මේ ගැන හොඳින් කල්පනා කරලා ‘හරි මං දන්නවා හොඳ තැනක්. එතැනින් නගරයට ඇතුළු වෙන්න ගොඩක් ලේසියි’යි කියලා සොර රංචුවම පිටත් වුණා.

කාණුවෙන් නගරයට ඇතුළු වෙලා ධනවත් මිනිසෙකුගේ ගෙයකට ඇතුළු වුණා. ඔවුන් ඒ වෙනුවෙන් උමගක් ද හාරා තිබුණා. ගෙදර මිනිස්සු මධ්‍යයම රාති‍්‍රය නිසාත්, වැස්ස නිසාත් හොඳින් නිදාගෙනයි හිටියේ. නිදන කාමරයටත්, අනෙක් කාමරවලටත් ඇතුළු වෙලා රත්රන්, මුතු, මැණික්, කහවණු ආදී වටිනා වස්තු ඔක්කොම මලුවලට දාගෙන හෙමින් හෙමින් හාරපු උමගෙන් ම පිටතට ආවා. කුරුල්ලන්ගේ මිහිරි හඬ වටින් පිටින් ටිකින් ටික ඇහෙන්නත්, කුකුළන් හඬලන්නත් පටන් ගත්තා.

ඉක්මනින් ම හොරකම් කරපු බඩු ටික සම සේ බෙදා ගන්න ඕන’යි තීරණය කළ සොර නායකයා කුඹුරු යායක් මැදට ගියා. ගෙනා බඩු සම සේ බෙදන්න පටන් ගත්තා. සොර නායකයා අතේ තිබුණු දහසින් බැඳි කහවණු මල්ලක් තමන්ගේ ඔඩොක්කුවේ හංගාගෙන තමයි ඉතිරි බඩු සම සේ බෙදන්න පටන් ගත්තේ. බඩු ටික ඔක්කොම බෙදුවා.

එළිය වැටී ගෙන එන නිසාත්, ඉක්මනින් නිවෙස්වලට යා යුතු නිසාත් කලබලයෙන් හැමෝම යන්න පටන් ගත්තා. සොර නායකයාගේ ඔඩොක්කුවේ තිබුණු කහවණු දහසේ මල්ල ඔහුටත් නොදැනීම බිමට වැටුණා. මේ කටයුත්ත සිදු වෙලා තියෙන්නේ අර තරුණ ගොවියාගේ කුඹුරේ. පාන්දරින් ම අවධි වුණු තරුණ ගොවියා ගවයින් දෙදෙනාත් අරගෙන කුඹුරට ගිහින් හාන්න පටන් ගත්තා.

බුදුරජාණන් වහන්සේ අලුයම් සමයේ මහාකරුණා සමාපත්තියට සම වැදිලා බැලුවා අද මම පිහිට වෙන්නේ කාටද කියලා. එතකොට දැක ගන්න ලැබුණා අහිංසක, සාධාරණ හා ධාර්මිකව ජීවත් වන ගොවියෙක් ඔහු නො කළ වරදකට මරණීය දඬුවම ලබන්න වෙන බව. ගොවියාගේ සාධාරණ බව ඔප්පු කරන්න සාක්ෂියක් නැති වෙන බවත් දැක්කා.

බුදුරජාණන් වහන්සේ කල්පනා කළා ඔහුට පිහිට වෙන්න. අඳනය හැඳ සිවුර පොරවා පාත්‍රයත් අරගෙන සුගන්ධ කුටියෙන් වැඩම කරලා ආනන්ද මහතෙරුන්ට කතා කළා තමන් වහන්සේ සමඟ පිණ්ඩපාතයේ වැඩම කරන්න. ආනන්ද තෙරුන් වහන්සේත්, සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රයත් අරගෙන පිණ්ඩපාතයේ වැඩම කළා. දෙදෙනා වහන්සේ ම වැඩම කළේ තරුණ ගොවියා සී සාන කුඹුර සමීපයෙන්.

ගොවියා බුදුරජාණන් වහන්සේත්, ආනන්ද තෙරුන් වහන්සේත් දැකලා බොහොම පැහැදීමටත්, සතුටටත් පත් වුණා. දුවගෙන ගිහින් මඬපිටින් ම දණ්ඩ නමස්කාර කර වන්දනා කරලා කුඹුරට ඇවිත් ආයෙත් හාන්න පටන් ගත්තා. ඔහුට එක පාටරම ඇහෙන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ යමක් කියනවා.

හොඳින් ඇහුන්කන් දුන්නා. බුදුරජාණන් වහන්සේ කිහිප වතාවක් ම යමක් කියනවා. තවත් හොඳින් ම ඇහුන්කන් දුන්නා ‘ආනන්දය, සර්පයා දුටුවා ද? කියලා බුදුරජාණන් වහන්සේ අහන කොට ආනන්ද තෙරුන් වහන්සේ ‘එසේය ස්වාමිනි, දුටුවෙමි. ඌ ඝොරවිෂ ඇති සර්පයෙක්’යි කියන දෙබස ඇහුණා.

ගොවියා කල්පනා කළා මම හැමදාම වගේ කුඹුරට වේලාවේත්, අවේලාවේත් එනවා යනවා. ඒත් අද වෙනකම් නම් විෂ ඝෝර සර්පයෙක් දැකලා නෑ. බුදුරජාණන් වහන්සේ වැඩියාට පස්සේ මම ගිහින් බලන්න ඕන’යි තීරණය කරගෙන ආරක්ෂාවට මහ මුගුරකුත් අරගෙන කුඹුරේ නියරක් සමීපයට ගියා. එතකොට දකින්න ලැබුණා පාර්සලයක්. අරගෙන ලිහලා බැලුවා. අදහා ගන්නත් අමාරුයි. මසුරන් පිරුණු මල්ලක්. ඔහු ගණන් කරලා බැලුවා. මසුරන් දහසක් තියනවා. අයිතිකාරයෙක් නැති පාර්සලයක් නේ මේක. ඒ නිසා මම යන කොට ගෙදර අරං යනවා’යි තීරණය කරගෙන අතින් හා පාදවලින් කුඹුරේම පුංචි වළක් හාරලා ඒක දමලා උඩින් පස්වලින් හා මඩවලින් වහල දැම්මා. නැවතත් කුඹුර හාන්න පටන් ගත්තා.

ගෙහිමියා උදේම වුණු විපත දැනගෙන ආරක්ෂකයින්ටත් දෙස් දෙවොල් තබමින් නැති වුණු වස්තුව හොයන්න පටන් ගත්තා. වැසි දවසක් නිසා සොරුන්ගේ පා සටහන් අනුව අයිතිකරුවනුත්, ආරක්ෂකයිනුත් දඬු මුගුරු අතැතිව සොරු අල්ලා ගන්න පිටත් වුණා. පා සටහන් අනුව ගියේ ගොවියාගේ කුඹුරට. එතැන දී දැක්කා ගොවියාගේ පා සටහනුත්.

පැමිණි පිරිස ඒ පා සටහන් අනුව වසා තිබුණු වළ හාරා බැලුවා. මුදල් පසුම්බිය දැකලා චෝදනා කරන්න පටන් ගත්තා ‘රෑට සොරකම් කරලා’ දවාලට හොඳ මිනිහෙක් වගේ කුඹුරු හානවා. අද රජතුමාට අල්ලලා දීලා මරණීය දඬුවම් ලබා දෙනවා. මේ වගේ මිනිසුන්ගෙන් අපට නිදහසේ ජීවත් වෙන්න විදිහක් ඇත්තෙත් නෑ’යි කියමින් චෝදනා එල්ල කරමින් රජතුමා ඉදිරියට පමුණුවා සිටියා.

තරුණ ගොවියාට සාක්ෂියට ඉදිරිපත් කරන්න දෙයක් ඇත්තෙම නෑ. ඔහු ඇත්ත තත්ත්වය පහදලා දුන්නා. ඒත් රජතුමා විශ්වාස කළේ නෑ. මරණීය දණ්ඩනය දෙන්න වධකයන්ට නියෝග කළා. වධකයනුත්, රජුගේ ආරක්ෂක පිරිසත් වධකස්ථානයට ඔහුව අරගෙන යන අතරේ ‘ආනන්දය, සර්පයා දුටුවාද?’එසේ ය ස්වාමිනි, දුටුවෙමි. ඌ ඝොරවිෂ ඇති සර්පයෙක්’යි දිගටම කියන්න පටන් ගත්තා. එයට හේතු අහනකොට තරුණ ගොවියා කිව්වා ‘රජතුමා ඉදිරියට ගෙන ගියොත් මම එතැන දී මේ කාරණය පහදලා දෙන්නම්’යි කියලා.

ආරක්ෂක සෙබළු රජතුමා ඉදිරියට ගිහින් ‘ස්වාමිනි, මේ සොරා බුදුරජාණන් වහන්සේගේත්, ආනන්ද තෙරුන් වහන්සේගේත් නම් ප්‍රකාශ කරනවා. හේතුව ඇහුවම කියන්නේ නෑ. රජතුමනි, ඔබ වහන්සේ ඉදිරියේ දී පමණක් ඒක කියන්න ඉඩ ඉල්ලනවා’යි කියා සිටියා.

ඒ අවස්ථාවේ රජතුමා ඒ කාරණය විමසා සිටියා. එවිට ගොවියා සිදුවුණ සියල්ල කිව්වා. ‘හොඳයි, ඔබ කියන දේ ඇත්ත දැයි බලන්න බුදුරජාණන් වහන්සේ හමුවට යන්න සූදානම් වෙන්න ඕන’යි කියා ඔහුත් අරගෙන, ආරක්ෂකයින් පිරිවරා ගෙන බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් තොරතුරු විමසා සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ ‘රජතුමනි, ගොවියා කියන දේ ඇත්ත. මමත්, ආනන්ද තෙරණුවනුත් උදේ කුඹුරට වැඩම කළා. කහවණු පාර්සලය දැකලා එහෙම කතාවක් කිව්වා’යි පහදා දුන්නා.

රජතුමා ගොවියා ගැන පැහැදීමට පත් වෙලා ‘ස්වාමිනි, බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ සාක්ෂිකාරයෙක් කළ නිසයි මේ ගැන විමසා බැලුවේ. වෙන කිසිම කෙනෙක්ගේ නමක් සඳහන් කළත් මම දුන් දඬුවම නතර කරන්නේ නෑ. මරණීය දණ්ඩනය ම ලබා දෙනවා’යි කියා සිටියා.

එවිට බුදුරජාණන් වහන්සේ ‘රජතුමනි, මොහුගේ ජීවිතය තොර වෙන බව දැන ගෙන තමයි මම උදෙන් ම එතැනට වැඩම කළේ.

මොහුගේ සාධාරණ බව ඔප්පු කරන්න කවුරුත් ම පිහිට නොවන නිසා මම පිහිට වුණේ’යි දේශනා කරමින් ධම්මපදයේ බාල වග්ගයේ ගාථාවකින් ධර්ම දේශනා කළා. එතැන දී ගොවියා මරණීය දණ්ඩණයෙන් නිදහස් වූවා සේ ම සෝවාන් ඵලය ලබමින් සංසාර ගමනිනුත් නිදහස් වූ බව මේ කථා පුවතේ සඳහන් වෙනවා.

තරුණ ගොවියා කොතරම් සාධාරණ හා දැහැමි වුවත් හිමි නැති දෙයකට හිමිකම් කීමට ගිහින් මහත් විපතකට පත් වුණා. ඒ නිසා තමන්ට හිමි නැති, ඒ වගේම කරන යම් ක්‍රියාවකින් ප්‍රති ක්‍රියා ලෙස සිත්තැවුලට හෝ අඬන්න හෝ වෙනවා නම් කොපමණ වාසියක් පැමිණියත්, ප්‍රයෝජනයක් ලැබුණත් එවැනි කටයුතු නොකර සිටීම සතුටින් ජීවිත්වීමට හේතු වෙන බවත් මේ කතා පුවත පෙන්වා දෙනවා.