Print this Article


බන්ධනයන් තුළ සිරවී සිටින තාක් ...

බන්ධනයන් තුළ සිරවී සිටින තාක් ...

අද ඇඳුම් පැළඳුම් තරම් ප්‍රකට වී ඇති දෙයක් තවත් නොමැති තරම් ය. විවිධ මාදිලියේ ඇඳුම් පැළඳුම් වෙළඳපොළෙහි පිරී ගොස්ය. ඒවාට ඇති ඉල්ලුම ද ඉතා විශාල ය. ගිහි සමාජයේ ඇඳුම් පැළඳුම් විවිධ තරාතිරමේ ඒවා බවත්, ඒවාට මිම්මක් ගණනක් නැති තරමට ම සීමා රහිත වී ඇති බවත් පැහැදිලිව පෙනෙන්නකි.

ඉහළ වටිනාකමක් සේ ම ඒවායෙහි හැඩය හා වර්ණයන් ද විවිධව පවතී. අද බොහෝ දෙනා විශාල වියදමක් දරන්නේ ඇඳුම් පැළඳුම් සඳහා ය. එය තරගකාරී ස්වරූපයෙන් අනුන් පරයා පෙනී සිටීමට භාවිත කරන අංගයක් වී ඇති බව ද පෙනී යන්නකි.

පැවිදි සමාජය දෙස නෙත් යොමා බැලීමෙන් ගිහි ඇඳුම්වල විච්චූර්ණ බවත්, පැවිදි සිවුරේ සැහැල්ලු බවත් මනාව පෙනී යනු ඇත.

ගිහි පැවිදි සමාජය තුළ අහසට පොළව සේ විෂම ඇඳුම් භාවිතය සිදු වේ. සිවුර පිළිබඳ විමසා බැලීමෙන් ගිහි සමාජයේ ඇඳුම් මොන තරම් සංකීර්ණ වී ඇද්ද යන්න පැහැදිලි ය. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ උදෙසා හඳුන්වා දුන් චීවරයට අරහත් ධජය කියා ව්‍යවහාර කරනු ඇත. කහ වත (කාසාය වස්ත්‍රය) කියා ද කීම වරදක් නොවේ.

සිවුර පිළිබඳ ආරම්භක අවස්ථාව හමුවන්නේ ඇසළ පොහෝ දිනක පැවිදි වූ සිදුහත් කුමරුට ඝටීකාර මහා බ්‍රහ්මයා කළ අටපිරිකර පූජාවත් සමඟ ය. සිදුහත් බෝසතාණෝ සව් කෙලෙසුන් නසා බුදු බව ලැබීමත් සමඟ භික්‍ෂු ශාසනය ආරම්භ විය. එම ආරම්භයත් සමඟ භික්‍ෂූන් වහන්සේ සිවුරු පරිහරණය කිරීම සිදුවිය.

බුදු සසුනේ මුල් යුගය වන විට පාංශුකුලික වස්ත්‍ර පිරිසුදු කොට සිවුර සකස් කොටගෙන ඇති බව පැහැදිලි වේ. එය සිදු වූයේ පාරවල්, සොහොන් පිළවල්, කැලිකසල ගොඩවල් ආදී අපිරිසුදු තැන්වලින් අහුලා ගත් පස්, මඩ, කැළිකසල තැවරුණු වස්ත්‍ර පිරිසුදු කොටගෙන එයින් සිවුරු සකස් කොට ගෙන ඒවා පෙරවීමෙන් ය. ඒ තුළින් භික්‍ෂු ජීවිතයේ අල්පේච්ඡ ගුණය ද ඉස්මතු වේ. පාංශුකූල වස්ත්‍ර එදා සුලභව සොහොන්වල තිබුණි. මියගිය අය ඔතා සොහොනට ගෙනගොස් විසිකිරීම එදා සුලබව සිදු වූවකි. පාංශුකූල වස්ත්‍ර පරිහරණය කළ බවට හොඳම උදාහරණයක් ලෙස තෙලෙස් ධූතාංග අතර පාංශුකූලිකාංග ධූතාංගය ද තිබීම පෙන්වා දීමට පුළුවන.

තව ද දේවදත්ත හිමි ඉදිරිපත් කළ පංචවර අතර ද “දිවි ඇති තෙක් භික්‍ෂූන් පාංශුකූලිකාංග විය යුතු ය.” යන්න පෙන්වා දීමට පුළුවන.

තෙලෙස් ධූතාංග ධාරීන් අතර අග්‍රස්ථානය හිමි වූයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේටයි. දිනක් මහ කාශ්‍යප මහරහතන් වහන්සේත්, බුදුරජාණන් වහන්සේත් මහ මඟ වඩින කල්හි බුදු හිමිට අතරමඟ ගසක් යට වාඩිවීමට සිත් විය. ඒ අවස්ථාවේ මහා කශ්‍යප හිමි උන්වහන්සේ පොරවා සිටි පටපිළියෙන් කළ සඟල සිවුර නවා ගසමුල අසුනක් පැනවීය. බුදු හිමි එහි වැඩ සිට කාශ්‍යප හිමිගේ සිවුර අතින් පිරිමැද "කාශ්‍යප ඔබගේ මේ සඟල සිවුර ඉතා මෘදු" යැයි වදාළහ.

එවිට එම සිවුර කාශ්‍යප හිමි බුදු හිමිට පූජා කළහ. එවිට බුදු හිමි කාශ්‍යප ඔබ දැන් කුමක් පොරවන්නේ දැයි විමසූහ. එවිට කාශ්‍යප හිමි, බුදු හිමි පොරවා සිටින දිරාගිය රළු වූ පාංශුකූල සිවුර ලැබෙන්නේ නම් ඉතා මැනවැයි කීහ.

ධම්ම පදයේ පණ්ඩිත වග්ගයේ සඳහන් ගාථාවක් ඒ සම්බන්ධව ඉතා වැදගත් වේ. එනම්,

යෙච ඛො සම්ම දක්ඛාතෙ
ධම්මෙ ධම්මානු වත්තිනො
තෙ ජනා පාර මෙස්සන්ති
මච්චු ධෙය්‍යං සුදුත්තරන්ති

සම්බුදු රදුන් මනා කොට දේශනා කළ සද්ධර්මය අනුව ප්‍රතිපත්ති පුරන අය මහත් ආයාසයෙන් තරණය කළ යුතු වූ සංසාර සාගරය තරණය කොට නිවන් දකිත්.

බොහෝ සත්ත්වයින් සසර දුක් වි½දිමින් ගැවසෙන අයුරුත්, ස්වල්ප දෙනෙක් ධර්මාවබෝධයෙන් සසරින් එතෙර වන අයුරුත් ඉහත ගාථා ධර්මය තුළින් මනාව පැහැදිලි කොට ඇත.

රාගයෙන් රත්ව, ද්වේෂයෙන් දූෂිතව, මෝහයෙන් මුළාව සත්වයා සසර කතර තුළ අනන්ත අප්‍රමාණ දුක්වලට මැදි වී ගමන් කරනු ඇත.

ලොව බුදු කෙනෙක් පහළ වන්නේ දුක් විඳීන සත්වයා සසර කතරින් මුදවාලනු පිණිස ය. නමුදු සියල්ලෝ ම සසර කතරින් එතෙර නොවෙති. එයට හේතුව වන්නේ කාමයෙන් ඇලී ගැලී අස්මිමානය, මමායනය ආදී බන්ධනයන් තුළ සිරවී සිටින බැවිනි.

“පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස”

මාගේ ධර්මය ප්‍රඥාවන්තයින් උදෙසායි. අනුවණයින්ට නොවේ යනුවෙන් පැහැදිලි වන්නේ ප්‍රඥාවන්තයින් ධර්මය පහුරක් කොටගෙන සසර කතරින් ජය ගන්නා ආකාරයයි.

අද බහුල වශයෙන් විවිධ ආමිසමය පූජාවන් පිරුව ද ධර්ම මාර්ගයෙන් දුරස් වී ඇති බව පෙනෙන්නට තිබේ.

මානය ප්‍රධාන අකුසලයක් වශයෙන් පැනනැඟීම හේතුවෙන් අකුසල් සිදුවීමේ ප්‍රවණතාව වැඩි වී ඇත. ධර්මය ඇසුව ද බොහෝ දෙනෙක් තුළ හදවතේ ධර්මය නැත. එනිසා දුක් ගිනිදැල් මොහොතින් මොහොත උත්සන්න වෙමින් පවතී. ස්වභාව ධර්මය හා දෙවියන් පවා කෝප වන අයුරින් අධාර්මික ක්‍රියා නිරන්තරයෙන් සිදුවේ.

“ධම්මේ ධම්මානුවත්තිනො” යනුවෙන් දහමට අනුව පැවැත්ම අනුමත කළේ එම හේතුවෙනි.

බුදු හිමි තම ගුරුවරයා වශයෙන් තබා ගන්නා ලද්දේ ද උතුම් ශ්‍රී සද්ධර්මයයි. මවකට පියකුට කළ නොහැකි දෙයක් ධර්මය විසින් සිදු කරනු ඇත. එනම් සසර දුක් දුරුකොට නිවන් සැපත ලබා දීමයි. එවැනි උතුම් ශ්‍රී සද්ධර්මයක් හරහා සත්වයා සසර කතරින් එතෙර වීමට උත්සාහවත් වීම බුද්ධිමත් ක්‍රියාවයි. එසේ නොවන්නේ නම්, සත්වයා මෙතෙරට ම එති. මැරි මැරී නැවත නැවත දුකට ම පත් වේ.

උසස් මනසක් ඇති සෑම දෙනෙක් විසින් ම උතුම් ශ්‍රී සද්ධර්මය අනුගමනය කිරීම හා ප්‍රායෝගික ජීවිතය තුළ එය ක්‍රියාත්මක කිරීම ප්‍රඥාගෝචර ය. එසේ කිරිම මෙලොව පරලොව දුක් දුරු කර නිවන් පිණිස හේතු වේ. ඉහත කරුණු සැලකිල්ලට ගෙන දුර්ලභව ලද මිනිසත් බව ගුණධර්ම තුළින් පෝෂණය කොට ගෙන ගෙවන කෙටි කාලය තුළ යුතුකම් හා වගකීම් ඉටු කරමින් මිනිසත් බව අර්ථවත් වන අයුරින් ජීවත් වීම ඉතා වැදගත් වේ.