Print this Article


බෞද්ධාලෝක වෙසක් උත්සවය මෙවරත් උත්කර්ෂවත් ලෙස ...

බෞද්ධාලෝක වෙසක් උත්සවය මෙවරත් උත්කර්ෂවත් ලෙස ...

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 22 වැනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් උත්සවය මැයි මස 05,06,07,08 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත..

ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කෙරෙන මෙම වෙසක් උත්සවයට වෙසක් පොහෝ දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ දී පැවැත්වෙන සීල සමාදාන වැඩසටහනට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයට යාබද නිදහස් භූමි භාගයේ දී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පන්දහසකකගේ සහභාගිත්වයෙන් මහා සීල සමාදන වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

පූජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කොළඹ දිසාවේ අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්තී ශ්‍රී කම්මට්ඨානාචාර්ය ශිරෝමණී පූජ්‍යපාද වැලිහලතැන්නේ කල්‍යාණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙමටගොඩ මහා විසුද්ධාරාමවාසී මන්දාරම්නුවර සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිකාරී ඇතුල්කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී උඩුකලකන්දේ අරියරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ රත්මලාන පුරාණ විහාරාධිකාරී ශාස්ත්‍රපති කොටනෙලුවේ පුඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුල්ලේරියාව නීලමල්ලිකාරාමවාසී දොරොව්වේ ඤාණරතන යන ස්වාමීන් වහන්සේ පෝ දින වැඩසටහන් සඳහා සම්බන්ධ වෙති. ඛධධථ තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන ගිහි සාකච්ඡාව වෙනුවෙන් ජනාධිපති නීතීඥ ප්‍රසන්න ලාල් ද අල්විස් , මහාචාර්ය චන්දන ජයරත්න ඉංජිනේරු ලලිත් ද සිල්වා යන මහත්වරු සහභාගි වෙති.

ඊට අමතරව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ ජනාධිපති කාර්යාලය එක්ව වෙසක් පොහෝ දින (මැයි 05) ජනාධිපති කාර්යාලය යාබද නිදහස් භූමි භාගයේ දී සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක සාධුනාද සීල සමාධි වැඩසටහන පෙරවරු 6.00ට ආරම්භ කිරීමට කටයුතු කර ඇත. පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහිදී පෝදා වැඩසටහන් සඳහා සහභාගි වෙති. මහාචාර්ය චන්දන ජයරත්න අමාත්‍ය ලේකම් අනුෂා ගෝකුල යන මහත්මීහු ද සහභාගි වෙති. කොල්ලුපිටිය පොල්වත්ත විහාරස්ථානය මඟින් පිරිත් සඡ්ඣායනය පවත්වනු ලැබේ.

මෙම ප්‍රතිපත්ති පූජාවන්ට අමතරව පවත්වනු ලබන ආමිස පූජාවන් වශයෙන් සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්, වෙසක් බැති ගී සංදර්ශනයක් සම්මේලන භූමියේ අඛණ්ඩව පැය 72 ක් පවත්වා ගෙන යන මහා දන්සැලක්, සම්මේලන මූලස්ථානයේ සිට ජනාධිපති කාර්යාලය දක්වා බෞද්ධාලෝක මාවත දෙපස අලංකාරවත් විදුලි ආලෝකය සහ තොරණක් ද ඇතුළුව බොදුසිත් පහන් කරන විශේෂාංග රැසක් මෙයට ඇතුළත් කර ඇත.

පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහයෝගයෙන් මෙම වෙසක් උත්සවය පැවැත්වේ.

බෞද්ධාලෝක වෙසක් උත්සවයේ සමාප්ති දිනයේ පහන් කූඩූ තරඟයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරේ.

ත්‍රිවිධ හමුදා සහ පොලිස් තූර්යවාදක කණ්ඩායම් සමාජිකයන්ගේ සහ පාසල් දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් ඒ ඒ දිනයන්හි පවත්වනු ලබන බොදුබැති ගී සංදර්ශනය සමාප්ත දිනයේ දී රූපවාහිනී නාලිකාවක් ඔස්සේ සජීවීව විකාශනය කිරීමට ද බලාපොරොත්තු වේ.