Print this Article


උදාවන වෙසක් මංගල්‍යය අර්ථවත් ලෙස සරසමු

උදාවන වෙසක් මංගල්‍යය අර්ථවත් ලෙස සරසමු

 

අපගේ මහ බෝසතාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂ වාරයක් උතුම් පාරමීධර්ම සම්පූර්ණ කර ලුම්බිණි සාල වන උද්‍යානයේ දී මහාමායා මව් කුසින් මේ මනු ලොවට වැඩම කිරීම සිදුවූයේ වෙසක් පුන් පෝ දිනක යි.

ඒ වගේම පාරමීධර්ම සපුරාගෙන සිටි මහා බෝසතාණන් වහන්සේ බුද්ධගයාවේ නේරංජනා ගංගාව අසබඩ වජිරාසනය මත ජය ශ්‍රී මහා බෝධි සෙවණේ දී දසමාර සේනාව පරදවා උතුම් සම්බුද්ධත්වයට පත්වූ සේක.

අපට වෙසක් පෝ දා සිහිවන අනෙක් කරුණ නම් උන්වහන්සේ බුද්ධකෘත්‍ය අවසන් කර කුසිනාරානුවර උපවර්තන සල් උයනේ දී සල් රුක් සෙවණේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ ආකාරය යි. එදා අපගේ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරානුවර උපවර්තන සල් රුක් සෙවණේ අවසන් වතාවට සැතපී වදාළ මොහොතේ බොහෝ අසිරිමත් දේ සිදු වුණා. පිපුණ සල් මලින් සල් රුක් වැසී ගියා.

තථාගතයන් වහන්සේට පූජා පිණිස මල් ගිලිහී සම්බුදු සිරුර මත පතිත වුණා. ඒ වගේම තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය මදාරා මල් උන්වහන්සේගේ සම්බුදු සිරුර මතට වැටෙන්නට වුණා. දිව්‍ය සඳුන් කුඩු අහසින් විසිරී මුළු උද්‍යානය ම එකම සුගන්ධයෙන් සුවඳවත් වුණා. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය තූර නාද අහසේ වාදනය වුණා.

සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් ආනන්ද, මෙ පමණකින් නම් තථාගතයන් වහන්සේට සත්කාර කළා වන්නේ නැහැ. බුහුමන් දැක්වූවා වන්නේ නැහැ. තථාගතයන් වහන්සේ පිදුවා වන්නේත් නැහැ. පින්වත් ආනන්ද, යම් භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා. උපාසකයෙක් වේවා, උපාසිකාවක් වේවා, ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත ද, සාමීචිපටිපන්න ප්‍රතිපදාවෙන් යුක්ත ද, ඔහු තථාගතයන් වහන්සේට පරම වූ ප්‍රතිපදාවෙන් පූජා සත්කාර කරන, ගෞරව කරන, බුහුමන් දක්වන කෙනෙක්. ඔහු නම් තථාගතයන් වහන්සේට නියමාකාරයෙන් පූජා පවත්වන කෙනෙක් කියලා.

මේ ලෝකයේ තථාගතයන් වහන්සේ නමක් පහළ වන්නේ ඉතා කලාතුරකින්. උන්වහන්සේ ලෝකයට පහළ වන්නේ උදාර ශ්‍රේෂ්ඨ අරමුණක් ඇතුවයි. දස පාරමිතා ධර්මයන්, විශිෂ්ට පාරමිතා ධර්ම සම්පූර්ණ කර ගනිමින් විශිෂ්ට ඤාණයන් උපදවාගත් භාග්‍යවතුන් වහන්සේගේ ඒ තෙමඟුල සමරන්න පෙළ ගැසෙන මේ මොහොතේ අපට පුළුවන් නම් තවත් ගැඹුරෙන් උතුම් ප්‍රතිපත්ති ඇසුරේ රැඳෙමින්, තථාගතයන් වහන්සේට පූජා පවත්වන්නට එය උතුම් වෙනවා.

අපි මේ සංසාර ගමනේ පැටලිලා ගමන් කරන පිරිසක් ලෙස අපගේ සිත කෙලෙස්වලින් කිළිටිවෙලා, කෙලෙස්වලින් බරවෙලා තිබෙන්නේ. අපේ ජීවිත මේ කෙලෙස් නිසා වෙහෙසට පීඩාවට පත්වෙලා තිබෙන්නේ. ඔබට පුළුවන් නම් උතුම් වෙසක් පෝදා නිමිති කරගෙන සිත පිරිසුදු කරන වැඩපිළිවෙළක් අනුගමනය කරන්න එවිට මේ සිතේ උපදින එක අකුසලයක් හෝ බැහැර කර ගන්නට පුළුවන්කම ලැබෙනවා.

තමා ශ්‍රවණය කළ එක දහම් පදයක් ජීවිතයට ගලපාගෙන තමාට අත්හරින්නට අපහසු එක අකුසලයක් හෝ එදින සිට අත්හරින්නට උත්සාහ කරනවා නම්, ඒක වෙසක් පුන් පෝ දා මල් ලක්ෂයක් පූජා කරනවාටත් වඩා, පහන් දහසක් දල්වනවාටත් වඩා, වෙසක් සැරසිලිවලින් මුළු ප්‍රදේශයම සරසනවාට වඩා උතුම් වෙනවා. මේ අන්ධකාර සිතට ආලෝකයක් ලැබෙන විදිහට තමාගේ අකුසල් හඳුනාගෙන ඒවා නිවැරැදි කර ගන්නට උදාවෙන වෙසක් පෝ දින අපි උත්සාහ කරනවා නම් එය සැබෑම බුද්ධ වන්දනාවක් කියා හඳුන්වන්නට පුළුවන්.

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළ කියා දෙන්නේ කුමක් ද? අපගේ ජීවිතය තුළ ඇතිවන ඉවසීම ධර්මය යි. ලෝ සතුනට මෙත් සිත පැතිරීම ධර්මය යි. උතුම් දහම් කතාවේ යෙදෙනවා නම් එයත් ධර්මය යි. කලණ මිතුරන් ඇසුරු කරනවා නම් එයත් ධර්මය යි. ධර්මචාරීව වාසය කරනවා නම් ධර්මය යි.

කැඩපතකට එබී බලමින් සිරුරේ අඩුපාඩු හදා ගන්නට උත්සාහ කරනවා වගේ ධර්මය නම් වූ කැඩපතට එබී අඩුපාඩු හදා ගන්නවා නම් එයත් ධර්මයක්.

එහෙම නම් අපට පැහැදිලියි වෙසක් පෝ දා සැමරීමට තොරණ ගැහුවත්, කූඩු හැදුවත්, මහා පහන් ආලෝක දැල්වුවත්, දන්සැල් පැවැත්වුවත්, භාග්‍යවතුන් වහන්සේ වදාළ ප්‍රතිපත්තියේ ගමන් කරන්නේ නැත්නම් ඒ ශ්‍රාවකයා බුද්ධ ශාසනය තුළින් බොහෝ ඈතයි.

තමාට රකින්නට අමාරු සිල්පද අධිෂ්ඨානයක් ඇතිකර ගෙන මේ වෙසක් පෝදා පටන් හෝ රකින්ට උත්සාහ කරන්න. තමන්ගේ ශාස්තෘන් වහන්සේට සමීප වෙන්න කැමැති ශ්‍රාවකයා රැකීමට අපහසු සීලය සමාදන් වෙලා ගෞරවයෙන් ආරක්ෂා කරනවා. අද සිට මම මේ බුද්ධ වර්ෂය පුරාවට ම සමාදන් වූ සිල්පදවලට හානියක් වීමට නොදී රැක ගන්නවා කියලා, බලවත් අධිෂ්ඨානයකට එනවා. එසේ කරනවා නම් අපි හිතනවාට වඩා ආධ්‍යාත්මික සුවයක් අපට ළං කර ගන්න පුළුවන්කම තිබෙනවා.

එක්තරා අවස්ථාවක අපගේ බුද්ධ මාතාව වන මහා ප්‍රජාපතී ගෝතමී රහත් තෙරණිය තමන් වහන්සේගේ ථේරි ගාථාවේ හරි ලස්සන ප්‍රකාශයක් වදාළා. "යම් කෙනෙක් පටන්ගත් වීර්යයෙන් ඉන්නවා නම්, දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙනවා නම්, නිතරම දැඩි වීර්ය පරාක්‍රමයෙන් යුක්තව, සමගි සම්පන්නව ශ්‍රාවක සංඝරත්නය දකිනවා නම් බුද්ධ වන්දනාව කියන්නේ ඒකයි" කියලා. බුද්ධ වන්දනාව උන්වහන්සේ ඉස්මතු කරන්නේ පටන්ගත් වීර්ය තුළින් මෙම ධර්ම මාර්ගයේ ගමන් කරන්න කියල යි.

ඒ සම්බන්ධයෙන් අපූරු සිදුවීමක් තිබෙනවා. ඈත අතීතයේ තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වීමට පෙර යුගයක එක්තරා තාපසයෙක් හිටියා. මේ තාපසතුමා බොහෝ ශිෂ්‍ය පිරිසක් සහිතවයි සිටියේ. මේ තාපසතුමාට උදේ සවස දහස් ගණන් ශිෂ්‍ය පිරිස පැමිණ වන්දනාමාන කරනවා. බුහුමන් දක්වනවා. දිනක් තාපසතුමා කල්පනා කරනවා. මගේ සිසු දරුවෝ මට ගෞරව කරනවා. පුදසත්කාර කරනවා. හැබැයි මම කාට ද ගෞරව කළ යුත්තේ? මම කාටද වන්දනා කළ යුත්තේ, ගුරුවරයෙක් ලෙස මම කාට ද සැලකිය යුත්තේ ද කියා නුවණින් විමසුවා.

එවිට මෙම තාපසතුමාට දැන ගන්නට ලැබුණා තමන් වහන්සේගේ විස්මිත නුවණින් සියල්ල අවබෝධ කළ, සසරින් එතෙරට වැඩිය ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ උත්තම මනුෂ්‍ය රත්නයක් කලාතුරකින් මේ ලෝකයට පහළ වෙනවා කියලා.

ඒ තාපසතුමා බුදුරජාණන් වහන්සේ දැක තිබුණේ නැහැ. අද අපට වගේ වෙසක් මංගල්‍යයක් සමරන්න අවස්ථාව ලැබිල නැහැ. ඒ නිර්මල සද්ධර්මය මේ ආකාරයට විස්තර ලෙස අහන්න ලැබිලත් නොවෙයි. අඩුම ගානේ තථාගතයන් වහන්සේගේ නාමයෙන් ප්‍රතිමාවක්, බෝධින් වහන්සේ නමක්, ධාතුන් වහන්සේ නමක් දකින්නට ලැබිලත් නෑ. නමුත් මේ තාපසතුමාගේ සිතේ යම් පැහැදීමක් ඇතිවුණා මේ ලෝකයට කලාතුරකින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියලා.

ඉතින් මේ තාපසතුමා මමත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සත්කාර, පුද පූජා පවත්වන්න ඕනෑ කියලා හිතලා තමාගේ ශිෂ්‍ය පිරිසට නො දන්වා ආරාමය පහළින් ගලා යන ගඟ ඉවුරේ වැලි දෑතින් එකතු කරමින් වැලි සෑයක් ඉදි කළා.

මේ වැලි සෑයට බුදුරජාණන් වහන්සේ සිහි කරමින් උදේ සවස වන්දනා කළා. වන්දනා කරලා හිතනවා " මමත් දැන් ගුරුවරයෙක් සහිත කෙනෙක්. මේ ලෝකයට කලාතුරකින් පහළ වෙන තථාගතයන් වහන්සේ මම ඇසුරු කරන ගෞරව කරන කෙනෙක්. උදේ සවස භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්න යන මම කෙලෙස් සහිතව ජීවත් වන්නේ කොහොම ද?" කියා වැලි සෑය මුල් කරගෙන විශාල ගැඹුරු අර්ථයක් ඒ ජීවිතය තුළ ක්‍රියාත්මක වුණා. නිතරම ශාස්තෘන් වහන්සේ ඇසුරට යන මම රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා එකටෙක කිරීම, ගුණමකුකම, මාන්නක්කාරකම, උඩඟුකම වැනි කෙලෙස් සහිත අදහස් ඇතිව ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කිරීම මට සුදුසු නැහැ කියා නිතර කල්පනා කළා.

ධාතුන් වහන්සේ නමක්වත් නැති යුගයක ඒ තථාගතයන් වහන්සේ සිහි කරල වැලි සෑයකට පූජා දක්වමින් අකුසල් දුරු කරන ප්‍රතිපදාවේ සිට එතුමා කටයුතු කළා.

එනිසා මේ එළඹෙන වෙසක් මංගල්‍යය අර්ථවත් කර ගන්න අපත් අකුසල් දුරු කරන ප්‍රතිපදාවේ සිට " මම මගේ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරනවා" කියන අදහසකට එන්න ඕනෑ. ඇත්තෙන්ම අපි රාග, ද්වේෂ, මෝහ දුරු කරමින් ශාස්තෘන් වහන්සේ ඇසුරු කරනවා නම් ලක්ෂ ගණන් වියදම් කොට මල් පූජාවක් කරනවාට වඩා, පහන් දස දහසක් දල්වනවාටත් වඩා එය අපේ ජීවිත සුවපත් කරන සැබෑම බුද්ධ වන්දනාවක් බවට පත්වේවි. අපගේ සසර ගමනට සුගති රැකවරණ සලසා දෙන සුන්දර බුද්ධ වන්දනාවක් බවට පත් වේවි.

එනිසා උදාවෙන වෙසක් මංගල්‍යය අකුසල් දුරු කරන ප්‍රතිපදාවේ යෙදෙමින් ඒ අමා මහා නිවන සාක්ෂාත් කර ගැනීමට අපට ශක්තිය ලැබේවා.