Print this Article


ධර්මචාරී දිවියේ අනුසස් කියන ලතා විමානවත්ථුව

ධර්මචාරී දිවියේ අනුසස් කියන ලතා විමානවත්ථුව

පින්වත් සක් දෙවිඳුන්ට, දිව්‍ය දියණිවරු පස්දෙනෙක් සිටිනවා. ඔවුන්ගේ සිරුරු බබලනවා. ලතා,සජ්ජා, පවරා,අච්චිමුඛී, සුතා ඔවුන්ගේ නම්. ඒ දිව්‍යාංගනාවෝ යහපත් ගතිගුණ නිසාමයි බබලන්නේ.

දවසක් මේ දිව්‍යාංගනාවෝ පස් දෙනා හිමාල පෙදෙසේ සුන්දර නදියකට දිය නෑමට ගියා. ඒ නදියේ වතුර හරිම සීතල යි. නිලුපුල් මල් පිපිලා තියෙනවා. ඔවුන් දිය නාමින් සතුටු වුණා. නැටුවා. සිංදු කිව්වා. සුතා දෙව්දුව ලතා දෙව්දුවට මෙහෙම කිව්වා.

නැගණිය, ඔබට රන්වන් සමක් තිබෙනවා. රන්වන් මලින් සැරසිලා ඉන්නේ. මහනෙල් මල් මාලාවන් පැලඳ සිටිනවා. තඹ පාට ලස්සන ඇස් දෙකක් තිබෙනවා. ඔබ සරත් කාලයෙහි ආකාසය වගේ ලස්සනයි. දීර්ඝායුෂ තියෙනවා. ඇත්තට ම ඔබට මේ යසස් ලැබුණේ මොන වගේ පිනක් කරලා ද?

පින්වත් දෙව්දුව, මම ඒ කාලයේ මනුස්ස දුවක්. යෞවන වයසේ දී මම පතිවත රැක්කා. පහන් සිතින් ස්වාමියා සතුටු වෙන ආකාරයට ජීවත් වුණා. පවුලේ වැඩිහිටියන්ට, නෑයන්ට දැසි දස්සන්ට මම සැලකුවා. ඔවුන්ව සතුටු කළා. මම ඒ පින තමා කර ගත්තේ.

ඒ උතුම් පින නිසා ආයු, වර්ණ, සැප බල කියන කරුණු හතරින් අග්‍ර වුණා. මම දැන් අප්‍රමාණ දිව්‍ය ක්‍රීඩාවලින් සතුටු වෙනවා. මම ස්වාමියා කෙරෙහි තිබුණ අප්‍රමාණ පතිභක්තිය නිසාමයි පතිවත සුරකින ස්ත්‍රීන් අතර, අග්‍ර වුණේ. පතිවත රැකපු නිසායි මේ සැප ලැබෙන්නේ.

කඳු මිටියාවත්වල සිංහයා ගොදුරු හොයනවා. ඒ සිංහයා ඒ පර්වත මිටියාවත්වල හැසිරෙමින් අනෙක් සිව්පාවන් මැඬගෙන දඩයම් කරනවා. මාංස භෝජනය කර ගන්නේ දුර්වල සතුන්ව යි.

ඒ වගේම තමයි ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවිකාවක් වෙලා ධම්මචාරීව ජීවත්වෙනවා නම් ස්වාමියා නිසා පතිවත රකිමින් ඉන්නවානම්, ක්‍රෝධය යටපත් කරනවා නම්, මසුරුකම යටපත් කරනවා නම්, ඇය සතුටු වෙන්නේ ස්වර්ගයේ ඉපදිල යි. හරියට මේ මම වගේ. මේ කතා පුවත ඛුද්දක නිකායේ විමානවත්ථු පාළියේ ලතා විමානවත්ථුවේ සඳහන් වෙන්නේ.