Print this Article


ඉවසීම නිරෝගී සුව දෙන ඔසුවකි

ඉවසීම නිරෝගී සුව දෙන ඔසුවකි

ඉවසීම යන වචනයම කනට මිහිරකි සිතට සහනයකි. සැබැවින්ම ඉවසීම යන ක්‍රියාව තුළත් මහත් සහනයක්, සුවයක් සතුටක් ඇත. ඒ නිසා “ඉවසීමෙන් සැනසීම ලැබේ” යන කියමන සදාතනික සත්‍යයක් වී ඇත.

ඉවසීම යනු ගුණධර්මයකි. එය උතුමන්, සත්පුරුෂයන් පුරුදු - පුහුණු කරන්නකි. එනිසා ඉවසීම ඇති පුද්ගලයා උතුමෙකි. සත්පුරුෂයෙකි.

සක් දෙවිඳු යනු සත්පුරුෂයෙක් බව සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයෙන් පැහැදිලි වේ. ඔහු තුළ ද ඉවසීම විය. එනිසා ඔහු ඉවසීමේ ගුණ කියයි. ඉවසීම ගැන කතා කරන විටදී සක් දෙවිඳුන්ගේ පැහැදිලි කිරීම් මොනවා දැයි හඳුනා ගනිමු.

දිනක් සක්දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් විය. එහිදී දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුණහ. යුද්ධයට පෙර වූ ගිවිසුමක් වූයේ පැරදුණු රජු අත් පා බැඳ තම සභාවට ගෙන ආ යුතු බවයි. ඒ අනුව අසුරයන්ගේ රජු සක්දෙව්ගේ රාජ සභාව වූ සුධර්මා සභාවට ගෙන ආහ.

එහිදී අසුරයන්ගේ රජු සක්දෙවිඳු දකින දකින අවස්ථාවල ඔහුට බැණවදියි. පරුෂ වචන කියයි. හෙළා දකියි. මේ වෙලාවේ සක් දෙවිඳු නිහඬව සිටියි. මෙය දුටු සක් දෙවිඳුගේ රියැදුරු මාතලී මෙසේ කීවේ ය.

“දෙවියනි මොහුගේ හෙළාදැකීම හමුවේ ඔබ ඉවසන්නේ ඔහුට ඇති බිය නිසා ද?

එවිට සක් දෙවිඳු ඉවසීම ගැන කරුණු කීවේ ය. ඒ අනුව මේ ලෝකයේ ඉවසීමේ ක්‍රම දෙකක් වේ.

තමා දුර්වලයකු ව සතුරා බලවතකු වීම නිසා ඉවසීම හා

තමා බලවතකු ව සතුරා දුර්වලයකු වීම නිසා ඉවසීමය.

යම් කිසිවෙක් සතුරා පරාජය කරන්නට හැකියාව නැති නිසාත්, සතුරා බලවත් නිසාත් ඉවසයි. එය වෛර කරනවාට වඩා, ගැටෙනවාට වඩා ඉතා යහපති.

එසේම යම් කිසිවකු තමා ශක්තිමත්ව, බලවත්ව සිට, සතුරා දුර්වලයකු බව දැන, ඔහු මෙල්ල කිරීමට, පරාජය කිරීමට හැකියාව තිබියදීත් ඉවසයි නම් එය වඩා වටියි. එය නිවැරැදි ඉවසීම වේ.

දුර්වලයා සෑම විටම ඉවසයි. ඒ තමාගේ දුර්වල බව නිසා ය. හැකියාව ඇතිව ඉවසීම උතුම්ම ඉවසීමයි.

ඇතැමෙක් ඉවසන පුද්ගලයා දැක මොහු මට ඇති බියෙන් ඉවසයි’ යැයි සිතයි. එසේ අන් අය කුමක් සිතුවත් නැතත් ගුණවතා ඉවසයි. ඉවසීම තමාගේ දියුණුව මෙන්ම අනුන්ගේ දියුණුව ද ඇති කරන හෙයිනි.

ඉවසීම හැර, දියුණුව ඇති කරන වෙනත් මඟක් නැති තරම් ය. සතුරා කෝප වී ඇති විටෙක සිහි ඇතිව සන්සුන් විය යුතුයි. එවිට කළ යුතු දේ හා නොකළ යුතු දේ මෙන්ම ඔහු මෙල්ල කරන ක්‍රමයත් වැටහෙයි. එවිට නිවැරැදිව කටයුතු කළ හැකි ය. කෝප වූ පුද්ගලයා ඉදිරියේ සන්සුන් වීමෙන් බාලයා වැළැක්වීම වන බව සක් දෙවිඳු කියයි.

කායික ශක්තිය නියම ශක්තිය නොවේ. එහෙත් බාලයා එය නියම ශක්තිය ලෙස සිතයි. බලයක් නැති ඔහුට එය ශක්තියක් වේ. එහෙත් ධර්මයෙන් ඇති කර ගත් නියම බලය වන ඉවසීම කායික ශක්තිය අබිබවා යයි.

කෝප වූ පුද්ගලයා යනු කායිකව හා මානසිකව නොසන්සුන් අයෙකි. සමහරු මේ ලෝකය, දරුවන්, බිරිය, මවුපියන් තමාට අනුකූලව ක්‍රියා කළ යුතු යැයි සිතති. තමා කියන, සිතන පතන ආකාරයට ම ඔවුන් ද කටයුතු කළ යුතු යැයි සිතයි. එහෙත් මේ ලෝකයේ කිසිවක් තමාට අනුව නොපවතින බව බෞද්ධ ඉගැන්වීමයි. එසේ සිතන පුද්ගලයාගෙන් ඇසිය යුත්තේ ඔහුත් අනුන් සිතන පතන විදියට ජීවත් වෙන්න කැමැති ද කියා ය.

මේ අනුව ලෝකය තමාට අනුව නොපවතින විට ගැටෙයි. කෝප වෙයි. බැණ වදියි. මෙබඳු කෝප සහගත පුද්ගලයකු දුටු විට පෙරළා යමකු කෝප වේ නම් එයින් ඔහුට ද අයහපත ඇති වේ. යමකු කිපුණු පුද්ගලයාට පෙරළා නොකිපෙන්නේ නම් ඔහු ජය ගන්නට අපහසු සටනක් දිනයි. එසේම යමකු අනෙකකු තමාට කිපුණු බව දැන, සිහි ඇතිව කටයුතු කර ඉවසයි නම් එයින් ඔහුට ද, අනුන්ට ද යන දෙපිරිසට ම යහපත, දියුණුව, සතුට, සැනසුම නිසැකව ම ඇති වේ.

යමකු ධර්මයෙහි අදක්ෂයකු වේ ද ඔහු ඉවසීමෙන් තොර වේ. කෝප වන ඔහුගේ ලේ අපිරිසුදු වේ. අපිරිසුදු ලේ ඇති පුද්ගලයාගේ සිරුර විවිධ රෝගවලට තෝතැන්නක් වේ. අධිරුධිර පීඩනය, ආතතිය, ලේවල සීනි ඉහළ යෑම, පපුවේ වේදනා වැනි රෝග ඇති කර ගනී. ඒවා නිසා පුද්ගලයා පීඩාවිඳියි. එය සුව කර ගැනීමට අධික මුදල් වැය කරමින් වෛද්‍යවරුන් හමු වෙති. විවිධ බෙහෙත් පෙති ගිල දමති.

අප මෙසේ බෙහෙත් කරන්නේ රෝගයේ ඵලයටයි. ඒවාට හේතුව විමසා හේතුවට පිළියම් කළ යුතු බව බෞද්ධ ඉගැන්වීමයි. එනම් මානසික සුවය ඇති කිරීමට අදාළ වූ ඉවසීම පුරුදු කිරීමෙන්, වැඩීමෙන් නිරෝගී සිරුරක් ලැබේ. නිරෝගී සිතක් ඇතිවේ. නිරෝගී සිතක් ඇති අය ප්‍රසන්න ය. පැහැපත් ය. රූමත් ය. දැකුම්කලු ය. එවැනි අයට කෘත්‍රිම රූපලාවණ්‍ය කටයුතු කුමට ද?

ඉවසන පුද්ගලයා කිසි දෙයකට කලබල නොවේ. කළ යුතු දේ මනාව වටහාගෙන නිවැරැදි කරයි. කෝප වූ අයට කළ යුතු දේ, නොකළ යුතු දේ නොවැටහෙයි. එනිසා කෝප වූ අයගෙන් අපරාධ සිදුවේ. පවුල් විනාශ වේ. දරුවන්ගේ අනාගතය අඳුරු වේ. තමාගේ අනාගතය ද අඳුරු කර ගනියි. එම අපරාධ නැවත නිවැරැදි කළ නොහැකි තැනට පැමිණෙයි. ජීවිතවලින් වන්දි ගෙවයි.

අනුන්ට රිදවන්න ජීවිතවලින් වන්දි ගෙව්වත් එහි පාඩුව තමාට ම ය. සමහරු මෙසේ කෝපය නිසා වැරදි කර සිර කඳවුරුවල කාලයක් තිස්සේ දුක් විඳිමින් කළ වැරදි තේරුම් කර ගනියි.

මේ නිසා බොහෝ කලක් දුක් පීඩා විඳියි. දුක් වෙයි. පසුතැවෙයි. එනිසා කෝපය තමාටත් අනුන්ටත් අවැඩ සාදනවා සේ ම ඉවසීම තමාටත් අනුන්ටත් දියුණුවම සලසයි. යමකු ධර්මයෙහි දක්ෂයකු වේද ඔහු තමාට ද අනුන්ට ද දියුණුව සලසන මහා නුවණැත්තෙක් වේ.

දිනක් යක්ෂයකු සක් දෙවිඳුන්ගේ අසුනේ සිටිනු දුටු දෙවියෝ ඔහුට දොස් කීහ. කෑගැසූහ. එහිදී යක්ෂයා ටිකක් ලස්සන විය. දෙවියන් නැවතත් දොස් කීහ. කෑ ගැසූහ. එවිට යක්ෂයා තව ලස්සන විය. දෙවියන් කෝප වන තරමට යක්ෂයා ලස්සන වේ. දෙවියෝ අවලස්සන වෙති. මෙය සංකේතයකි. කෝප වන්නාගේ නියම ස්වභාවය යටපත් වී අමනුෂ්‍ය වෙසින් ඉදිරියට එයි.

කෝප වන තරමට දුර්වර්ණ වේ. එය සැබෑවකි. කෝප වන්නා කෝපය වැඩි වන තරමට වෙව්ලයි. ගැහෙයි. එය දරාගත නොහැකි වේ. එහිදී සක් දෙවිඳු පැමිණ සතුටින් කතා කළේ ය. ඔහු සතුටු වූ තරමට සක් දෙවිඳු රූමත් වී යක්ෂයා ටිකෙන් ටික දුර්වර්ණ වී නැති වී ගියේ ය. ඉවසන්නා හමුවේ යක්ෂයන් නැත. ඔහු තුළ ද යක්ෂ වේශයක් නැත.

මෙසේ ඉවසීම සත්පුරුෂ ගුණයක් බව සක්දෙවිඳු කීවේ ය. ඉවසන්නා සුව සේ වෙසෙයි. ඔහුට ශෝක කරන්නට කිසිවක් නැත. කෝපයට විෂ වූ මුල් ඇත. එහි ඵල ද අමිහිරි ය. ඉවසීමේ මුලත්, ඵලත් මිහිරි ය, සුව ය. හානිදායක කෝපයේ විෂ වූ මුල් උදුරා දැමීම උතුම් අය ප්‍රශංසා කරයි.

සක්දෙවිඳු ගැටෙන, කෝප කරන, විරුද්ධකම් කරන අය අතරෙහි ජීවත්වන නිවුණු, ඉවසන ජනයාට වඳියි. එනිසා සත්පුරුෂයකු ලෙස ඉවසීම පුරුදු කරන්නා දෙවියන්ටත් වඩා ශ්‍රේෂ්ඨ අයෙකි. ශ්‍රේෂ්ඨත්වයට ඉවසීම අත්‍යවශ්‍යම ගුණාංගයකි.