Print this Article


දිනුමත් පැරදුමත් සම සිතින් විඳ ගමු

දිනුමත් පැරදුමත් සම සිතින් විඳ ගමු

ලොව්තුරා බුදු දහම ලොවට හිමිව වසර 2567 සපිරෙන උතුම් වෙසක් පොහෝ දින කෙමෙන් කෙමෙන් ළං වෙත්ම බොදු ජනතාව වෙනදාටත් වඩා සම්බුදු සසුන වෙත ඇල්මෙන් යුතුව එකතු වෙමින් සිටිති.

බොදුනුවන් ලෙස අප සිදු කළ යුතු අගනාම කර්තව්‍යය නම් හැකි පමණින් ධර්මානුකූලව ජීවත් වීම ය. සාමාජීය වශයෙන් අප නෙත් ගැටෙන අනේකවිධ සංසිද්ධීන් පිළිබඳ සිතන කල පෙනෙන්නේ ධර්ම සාක්ෂරතාවය ඒ සඳහා බලපෑම් කොට ඇති බව ය.

දෛනික ජීවිතය තුළ අප එක් එක් අවස්ථාවන්වල දී ජය මෙන් ම පරාජය ද අත්විඳ ඇත්තෙමු. විටෙක ජය ලබා හද පිනා යාමෙන් මුව සිනහවෙන් පුරවා ගන්නා අපම පරාජය ලැබූ විට මුව මිලින කරගන්නේ සෝ සුසුම් හෙළමිනි. ඊට හේතුව නම් දිනුම හා පැරදුම සම්බන්ධයෙන් අප තුළ පවත්නා වූ අනවබෝධය යි. කුඩා කල පටන් අසන්නට දකින්නට ලැබෙන්නේ දිනුම යහපත් බවත්, පැරදුම අයහපත් වන බවත් ය. එබැවින් කුඩා කල ම අපගේ මනස දිනුම යන්න මත පමණක් පදනම්ව ගොඩනැඟේ. නිවසේ දී ද මව්පියන්, ඥාතීන් මේ හැම දෙනාම පවසනුයේ ද දිනන්න යැයි කියා ය. මෑත කාලීනව මෙම ජයග්‍රහණ යන්න මත පදනම්ව ඇති වූ ගැටුම්වලින් කොපමණ නම් ජීවිත ප්‍රමාණයක් අකාලයේ නැතිවී ගියේ නොවේද? ඉහත බලපෑම ඇති කරන ලද්දේ පරාජය දරා ගැනීමට තරම් ඔවුන් තුළ චිත්ත ශක්තියක් නොපැවතීම නිසාවෙනි.

බුදු දහම තුළ සෑම අංශයක් සඳහා ම ඇවැසි කරන ඕනෑම කාලයකට පොදු උපදේශනයන් දැක ගත හැකි නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද දහම අකාලික යන නාමයෙන් හඳුන්වයි. මෙම දිනුම හා පැරදුම යන්න සම්බන්ධයෙන් ද බුදුරජාණන් වහන්සේ ගෙන එන අගනා සදූපදේශනයක් ධම්මපදය තුළ දැකගත හැකි ය.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සමයෙහි කෝසලයේ පාලකයා වශයෙන් සිටි කොසොල් මහ රජතුමා තම බෑණනුවන් වූ අජාසත් රජු සමඟ යුද්ධයකට සැරසුණේ ය. යුද්ධයට හේතු වූයේ කාසි නම් ගම අත්පත් කර ගැනීමට කොසොල් රජතුමා තුළ තිබූ දැඩි ආශාවයි. කෙසේ හෝ කොසොල් රජතුමා තම සිවුරඟ සෙනඟ පිරිවරා ගොස් පළමුවරට අජාසත් රජු සමඟ යුද වැදුණේ ය. එහිදී කොසොල් රජතුමාට පරාජයට පත්වීමට සිදුවිය. එයින් කෝපයට පත් කොසොල් රජ තෙමේ දෙවැනි වරද අජාසත් රජු හා යුද්ධයට ගියේ ය. දෙවන වරද පෙර සේ ම පරාජය වීමට කොසොල් රජතුමාට සිදුවිය. කෙසේ හෝ තෙවැනි වාරයේත් අජාසත් රජු සමඟ යුද්ධයට ගිය කොසොල් රජුට පරාජයට පත්වීමට සිදුවිය. මෙලෙස තෙවරක්ම සටනින් පරාජයට පත් වූ කොසොල් රජුට මෙම පරාජය දරාගත නොහැකි විය.

“මට කිරි සුවඳ කටින් නොගිය බාලයකු පරාජය කිරීමට නොහැකි විය. මේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද?” මෙලෙසින් කල් යවන කොසොල් රජතුමා පිළිබඳ කතා පුවත මුළු මහත් රාජධානිය පුරාවටත්, එමෙන්ම සංඝයා වහන්සේ අතරත් වහා පැතිරී ගියේ ය. ඒ අනුව මේ පුවත පිළිබඳ ව ඇසූ බුදුරජාණන් වහන්සේ කොසොල් රජු වෙත වැඩම කොට මෙම ගාථාවෙන් ධර්මය දේශනා කරන ලදී.

“ජයං වේරං පසවති - දුක්ඛං සේති පරාජිතෝ

උපසන්තෝ සුඛං සේති - හිත්වා ජය පරාජයං”

“සටන් කිරීමකින් හෝ දූකෙළිමාදියකින් හෝ අනුන් පරදවා දිනන්නා, පරදින්නා තුළ වෛරය ඇති කරවයි. පරදින්නා කවර දවසෙක සතුරා පිටුදැකුම්දැ?යි සිතමින් දුක සේ වෙසෙයි. රාගාදී කෙලෙසුන් දුරුකළ තැනැත්තේ ජය පරාජය දෙකම හැර සුව සේ වෙසෙයි.” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළහ.

සාමාන්‍ය පුද්ගලයකුට මෙන්ම කොසොල් රජතුමාට ද පරාජයේ වේදනාව දරාගත නොහැකි වූ බව පෙර කී කථා පුවතින් පෙනේ.

ජය බලාපොරොත්තුවෙන් අප සිදුකරනු ලබන ඕනෑම ක්‍රියාවක අවසානයේ අප බලාපොරොත්තු වූ පරිද්දෙන් ජය ලබා ගැනීමට හැකි වන්නේ නම් එමඟින් ජය ගනු ලබන පුද්ගලයා තුළ අධිකතර සන්තෝෂයක් ජනනය කරයි. එම සන්තෝෂය වෙනුවෙන් මිනිසා බොහෝ කැපකිරීම් කරයි. එහෙත් එම ජයග්‍රහණය හුදෙක්ම සතුටක් පමණක් ම ලබා නොදෙයි. එම ජයග්‍රහණය විඳ දරාගත නොහැකි පරාජිත යැයි සැලකෙන අනෙක් පරිවාර ජනයා ජයගත් අයවලුන් වෙත ද්වේෂ කරති. වෛර කරති. එබැවින් දිනන්නා යම් යම් කරදරයන්ට ද පත්වීමේ අවකාශය තිබේ.

ජය ගන්නා සතුටින් පසුවෙද්දී පැරදුමට ලක් වූ අයවලුන් ජය ගත් අයව කෙදිනක පරදම් දැයි සිතමින් දුක සේ කල් යවති. වෛරය කරති. එම වෛරයේ ප්‍රතිඵල වශයෙන් අවසානයේ දීර්ඝකාලීන ගැටුමක් නිර්මාණය විය හැක. එසේත් නොමැති නම් ආරවුලක් ඇති වී ජයග්‍රාහකයා මරුමුවට පවා පත්වීමට හැක.

මෙම දිනීම හා පැරදීම යන්න තුළ පවතින්නේ ධර්මානුකූලව වටහාගත හැක්කකි. එනම් පුහුදුන් අප තුළ පවතින අකුසල චේතනාවන්ගේ නොදැමුණු බවයි. රාගය නිසා අප බොහෝ දේ කරමු. ජයග්‍රහණය ද එවැන්නකි. එම රාගය මත පිහිටා තම ආශාවන් සංතෘප්ත කර ගැනීමට යාමේදී පෙර කී පරිද්දෙන් අයහපත් අත්දැකීම්වලට ද මුහුණ දීමට සිදුවේ. එමෙන්ම පරදින්නා තුළද දුක් ඇති වන්නේ මෙම රාගාදී කෙලෙස් ධර්මයන් නිසාම වේ. එබැවින් ඒ තුළ ද අත්විඳීමට සිදුවන සිදුවීම් බොහෝ විට ගෙන දෙන්නේ හොඳ විපාක නම් නොවේ. වත්මන්හි ජීවත්වන අපට මෙම අත්දැකීම් දෙකට ම බොහෝ විට මුහුණ පාන්නට සිදු වේ. එබැවින් අප කළ යුතු වන්නේ කුමක්ද? සත්‍ය වශයෙන්ම අප සිදුකළ යුත්තේ මනස පුහුණු කිරීමයි. එනම් ජය හා පරාජය යන සංසිද්ධි දෙකෙහි පවත්නා සැබෑව වටහා ගැනීමයි.

එම ජය හා පැරදුම යන සංසිද්ධි දෙක පිළිබඳ ව ගැඹුරින් විමසා බැලීමේ දී ආවසානික වශයෙන් වැටහෙන්නේ මෙම අවස්ථා දෙකෙහි ම අර්ථය රහිත වන බවයි. ඒ බව ඉහත ගාථාව තුළ ද මැනවින් පෙන්වා දී ඇත. එනම් රාගාදී කෙලෙසුන් නොමැති තැනැත්තේ එනම් අරිහතුන් වහන්සේ නමක් සැබැවින් ම ජය පරාජ දෙකම හැර සතර ඉරියාපථයන්හි සුව සේ වෙසෙන බවයි.

සම්බුදු සුවඳ ගතට සිතට දනවන එළඹෙන උත්තුංග වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් පිළිවෙතින් පෙළගැසෙන අප ද සිදු කළ යුතු වන්නේ අර්ථාන්විතව සෑම දෙයක් පිළිබඳ අවබෝධයෙන් බලමින් අපගේ ජීවිතය ධර්මානුකූලව සකස් කර ගැනීමයි. එහිදි දෛනික ජීවිතයේ දී නිතැතින් අප හා සම්මුඛ වන මෙම ජය පරාජ යන දෙකෙහි මැදහත්ව කටයුතු කරන්නට ඉටා ගැනීම කළ යුතු ම ය. ඒ තුළ අපට ඉතා පහසුවෙන් මෙලොව ජීවිතය ගත කරන්නට හැකි වනවා සේ ම පරලොව ද යහපත් වන බව නම් සැබෑවකි.