Print this Article


බොදු කුල කතට හොඳ ඉවසීමක්

බොදු කුල කතට හොඳ ඉවසීමක් වගේම තියුණු නුවණකුත් තිබිය යුතුයි

 

ඈත අතීතයේ බෞද්ධ පවුලක් තුළ තිබූ එකමුතුකම අද වනවිට බොහෝ සේ පිරිහීමට පත්ව තිබෙනවා. එදා බෞද්ධ පවුලක් තුළ තිබූ ඒ එකමුතුකම නැවත ඇතිකර ගැනීමට වර්තමාන, පවුලක කාන්තාවගේ වගකීම සුළුපටු එකක් නොවේ.

යම් කාන්තාවක් බුදු දහම අනුව කටයුතු කරනවා නම් ඇයට කවදාවත් චෝදනාවක් එල්ල වෙන්නේ නැහැ. ඇයගෙන් විය යුතු සියලු යුතුකම් ඇය ඉටුකර තිබෙන්නේ. එනිසා මේ වගේ නිවසක ආරවුල් අඩුයි. ඒ ඇයගේ පැත්තෙන් යම් ගුණයක් සම්පූර්ණ නිසා.

ලස්සන ම අම්මා, නැත්නම් කාන්තාව අපට හමුවන්නේ බුද්ධ ශාසනය තුළ යි. ඈ විශාඛාව යි. ඇයගේ ජීවිතය දෙස බලද්දී අපට හිතෙනවා ඇයගේ නිවස කොතරම් නම් ලස්සන ද කියලා. ඇය එතරම් ලස්සන ජීවිතයක් ගොඩනඟා ගත්තේ ඇය තුළ තිබූ ඉවසීම සහ උ‍පේක්ෂා සහගත බව නිසයි.

විශාඛා විවාහ වෙලා සැමියාගේ නිවසට එන දවසේ ඇගේ පියා අපූරු උපදෙස් දහයක් දුන්නා. ඒ අවවාද අහලා විශාඛා එදා රැකුණා. අද දියණියකටත් ඒ අවවාද අහන්න ලැබුණොත් ඇයත් රැකේවි. ඒ අවවාදවල සඳහන් වුණේ

ඇතුළත ගිනි පිටට දෙන්න එපා, පිට ගිනි ඇතුළට ගන්න එපා, දෙන්නන්ට දෙන්න, නො දෙන්නන්ට නො‍ දෙන්න, දෙන්නන්ටත් නො දෙන්නන්ටත් දෙන්න, සුවසේ නිදන්න සුවසේ වළදන්න, සුවසේ හිඳීන්න ගිනි පුදන්න, ඇතුළත දෙවියන් නමදින්න කියලයි.

ඇය විවාහ වෙලා සැමියාගේ නිවසට ගියා.

විශාඛා ඒ නිවසට ගොස් ටික දිනකට පසු ඒ නිවසේ වැස්සි පැටියකු බිහි කරන්න ආසන්න වුණා. ඉතින් රාත්‍රි කාලයේ විශාඛා ඒ එළදෙන අසලට ගොස් පැටියා බිහිවන තුරු සිටිමින් අවශ්‍ය සියල්ල සිදුකර ආවා. එදින ඇයට පළමු චෝදනාව ආවා. ඒ අනවශ්‍ය ස්ථානවලට රාත්‍රියේ ගමන් කිරීමයි. ටික දිනකට පසු මිගාර සිටු නිවසේ දානයක් තිබුණා. ඒ මව්පියන් විශාඛාවට කිව්වා අද අපේ නිවසට රහතන් වහන්සේ දානයට වඩිනවා කියලා. සෝතාපන්න වී සිටි විශාඛාගේ සිත පිනා ගියා. නමුත් ඒ දානයට එදා ආවේ ශරීරයේ වස්ත්‍රයක් නැති නිගන්ඨනාතපුත්ත ඇතුලු පිරිස යි‍. ඔවුන් දුටු ගමන් ඇය තිගැස්සණා.

මේ අයට ද රහතුන් කියන්නේ? කියා ඇසුවා. අර පිරිස දානය ගන්නේ නැතිව පිටව ගියා. විශාඛාවට දෙවැනි වතාවේත් ප්‍රශ්නයක් ඇතිවුණා. තව දිනක් මිගාර සිටුතුමා කෑම කද්දී ස්වාමින් වහන්සේ නමක් පිඬු පිණිස නිවසට වැඩියා. මිගාර පියා ඒ තෙරුන් කෙරෙහි කිසිදු සැලකිල්ලක් නැතිව කෑම කෑවා. විශාඛා ගොස් කියනවා.

“ස්වාමිනි, අපේ මාමා පුරාණය වළඳනවා ඔබවහන්සේ වෙන තැනකට වඩින්න කියලා.

එදා සිටුතුමාට කේත්ති ගියා. ඔහු කියනවා අලුත ආ ඔබ අපට බොහෝ චෝදනා කරනවා. මම නැවත ඔබේ මව්පියන් වෙත ඔබව යවනවා කියලා.

එවිට ඇය කියනවා මාමේ, මම මව්පියන් වෙත යන්න කැමැතියි. නමුත් මගේ නිර්දෝෂි බව ප්‍රකාශ කරල යන්නම් කිව්වා. එදා විශාඛා විවාහ වී එන විට ඇයගේ පියා විසින් ව්‍යක්ත, පණ්ඩිත නුවණැති පුරුෂයන් අට දෙනෙක් ඇය හා මේ මිගාර සිටු නිවසට එව්වා. ඒ පුරුෂයන් ගෙන්වා ප්‍රශ්න විසඳන විට ඇය තම පියා දුන් අවවාද දහය විස්තර කළා.

ඇතුළත ගිනි පිටට දෙන්න එපා - නිවසේ යම් ප්‍රශ්නයක් ඇති වුණොත් එය පිටට කියන්න එපා කිව්වා.

මේක අද කාලයට ඉතා වටිනවා. පවුලක් තුළ යම් ප්‍රශ්නයක් ඇතිවුණොත් ඒ වූ පමාවෙන් යහළුවන්ට, නෑයන්ට, මව්පියන්ට කියන්න අද කාන්තාව පෙළ‍ඹිලා ඉන්නවා.

පිටත ගිනි ඇතුළට ගන්න එපා - අනුන්ගේ ප්‍රශ්න අරගෙන තමන්ගේ නිවසේ ගිනි අවුලුවා ගන්න එපා.

දෙන්නන්ට දෙන්න - ඉල්ලාගත් දේ නැවත දෙන අයට පමණක් දෙන්න.

නො දෙන්නන්ට නො දෙන්න - ඉල්ලා ගිය දේ නැවත දෙන්නේ නැති අයට දෙන්න එපා, එවිට අර්බුද ඇතිවෙයි කිව්වා.

දෙන්නන්ටත් නො දෙන්නන්ටත් දෙන්න - සමහර අවස්ථාවක අපෙන් දෙයක් ඉල්ලා ගත් කෙනකුට නැවත එය දීමට හැකියාව නැතිවෙන්න පුළුවන්. එය ඉවසන්න. එය සමඟිය පිණිස හේතු වෙනවා කිව්වා.

සුව සේ හිඳිය යුතුයි - ස්වාමියාගේ මවුපියන් දුටුවිට සිටි ආසනයෙන් නැඟිටිය යුතුයි.

සුවසේ වැළඳීය යුතුයි - ස්වාමියා හෝ ඔහුගේ මව්පියන් කෑම කන්න කලින් කන්න එපා.

සුව සේ නිදාගත යුතුයි - ස්වාමියා හෝ ඔහුගේ මව්පියන් නිදන්නට කලින් නිදන්න එපා.

ගිනි පිදිය යුතුයි - ස්වාමියා සහ ඔහුගේ මවුපියන් විශේෂ චරිත ලෙස හඳුනාගෙන ඒ අයට පූජා සත්කාර කරමින් ගෞරවයෙන් ඇසුරු කරන්න.

ඇතුළත දෙවියන් නැමදිය යුතුයි - නිවසට පැමිණෙන පැවිදි උතුමන් ආසනයක වඩමවා දානයක් පූජා කිරීම.

මේ සියල්ල පැහැදිලි කළ විශාඛා කියනවා මගේ නි‍දොස් බව දැන් පැහැදිලියිනේ. මම දැන් මගේ ගෙදර යන්නම් කියලා.

එවිට මිගාර සිටුතුමා කියනවා අනේ දුවේ, ඔබ බොහොම හොඳ දියණියක් යන්න එපා කිව්වා.‍

විශාඛා කියනවා “තාත්තේ භික්ෂු සංඝයා නො දකින තැනක ඉන්න මම කැමැති නැහැ කියලා. එවිට ඒ පියා කියනවා එහෙම නම් දුවේ, ඔබ කියන භික්ෂු සංඝයා මේ නිවසට වඩමවන්න කියලා. ඇය වහාම දානය පිළියෙළ කොට

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩමවූවා. දානය අවසානයේ දී මිගාර සිටුතුමාත් ධර්මය අසන්න ආවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය සිටුතුමාට ඇහෙනවා‍. ධර්ම දේශනාව අවසානයේ දී ඔහු සෝතාපන්න වුණා. ඉන්පසු ඒ සිටුතුමා විශාඛාවට කියනවා දුවේ ඔයයි ම‍ගේ අම්මා. මගේ අම්මා මට කිරි පෙව්වා. මගේ දුව මට දහම් කිරි පෙව්වා. ඒ නිසා මම දුවට අද සිට මිගාර මාතා කියලයි කියන්නේ කියා කිව්වා.

මේ සියල්ලම කරන්න ඇයට හොඳ ඉවසීමක් සමඟ ම හොඳ නුවණක් ද තිබුණා.

විශාඛා විවාහ වී ඒමට පෙර බුදුරජාණන් වහන්සේ‍ත් ඇයට අවවාද කළා. ඒ අවවාද හිතමිනුයි ඇය ජීවත් වු‍ණේ. ඇය කවදාවත් නපුරු වචනයක් කියන්නේ නැහැ. පි‍්‍රය වචනයි පිට කරන්නේ. නිතරම ස්වාමියාට පි‍්‍රයමනාප ලෙස හැසිරෙනවා. එතකොට ඒ නිවසේ එකටෙක කීම, ගැස්සිලි, එරවිලි නැහැ. ඒ වගේම ස්වාමියාගේ මවුපියන්, ගුරුවරුන්, සැමියා සත්කාර කරන ශ්‍රමණවරු සිටිනවා ද ඒ සියලු දෙනාටම ගරු කරනවා. සත්කාර කරනවා, වතාවත් කරනවා. ඒ වගේම නිවසේ වැඩ කටයුතු සොයා බලනවා. කම්මැලි නැහැ. නිවසේ කොතෙක් දාසයෝ සිටිනවා ද? ඒ අයට කරන්න ඕන දේ, නොකරන්න ඕන දේ කියනවා. ගිලන් කම්කරුවන්ට අවශ්‍ය ‍දේ ලබා දෙනවා. සැමියා උපයන ධනය ආරක්ෂා කරනවා. සුරාවට, වැරැදිකාම ‍සේවනයට, හොරවැඩවලට ඒ මුදල් ගන්නේ නැහැ. ඒ වගේම ඇය බුදුන්, දහම්, සඟුන් සරණ ගිය උපාසිකාවක් ලෙස ජීවත් වෙනවා.

ඒ නිසා නිවසේ අම්මා හිමවත් පව්ව වගේ නම්, ඒ හිමවත් පව්ව වටේ සිටින දරුවෝ , සැමියා, මව්පියෝ, නෑදෑයෝ සියලු දෙනාම ඒ හයිය අරගෙන ධර්මයට එනවා.

අද බොහෝ නිවෙස්වල අම්මා පුරුදුවෙලා සිටිනවා දරුවන්ට නිවසේ බුදු පහන තියන්න කියන්න. බුදුරජාණන් වහන්සේ උදෙසා අම්මා පහන තිබ්බොත් ඒ පින අම්මාට යි. දරුවන් පහන තිබ්බොත් ඒ පින දරුවන්ටයි. අම්මා සවසට නිවසේ වැඩ අවසන් කොට මල් ටිකක් කඩාගෙන, පැන් එකක් පෙරාගෙන, පහනක් පත්තුකරලා පැය භාගයක් හෝ තෙරුවන් වන්දනා කරන්න පුරුදු වෙනවා නම් අම්මා පිටුපස යන දරුවන් එය පුරුදු වෙනවා. ඒ සඳහා වෙලාව නැහැ කියන්න ඇයට බැහැ.