Print this Article


නිවැරැදිව පිහිටුවා ගත් සිත ජීවිතයට පිහිටකි

නිවැරැදිව පිහිටුවා ගත් සිත ජීවිතයට පිහිටකි

උපතේ පටන් මරණ මංචකය දක්වා අප ඇති කර ගනු ලබන්නේ බැඳීම් ම ය. එමෙන්ම දකින දකින දෙයට ආශා කරමින් බොහෝ කාමභෝගී ජීවිත ගත කරන අප නිවැරැදිව සිත පිහිටුවීම, සිත දමනය කිරීම කළ යුතු ම ය. එසේ නොවන්නේ නම් අපට ද මෙලොවත් පරලොවත් දුක් මුසු බොහෝ අත්දැකීම්වලට පත්වීමට සිදුවේ.

උපන් දා පටන් අප මවුපියන්ගේ සිට ඥාතීන්,අසල්වැසියන් ආදී වශයෙන් නොයෙක් අය සමඟ බන්ධනයන් ඇති කර ගනිමු. කුඩා කල සිට යොවුන් විය දක්වා මවුපියන් හා දැඩිව බැඳෙන අප ඉන් අනතුරුව බැඳෙන්නේ තමා අතිනත ගන්නා ස්වාමි දියණිය සමඟ ය.

කෙමෙන් කෙමෙන් කාලය ගතවෙද්දී දූ දරුවන් ලබා ඔවුන් සමඟින් බැඳෙන්නේ අන් බැඳීම්වලට වඩා දැඩි ලෙසිනි. මේ අයුරින් ඇති කර ගනු ලබන බැඳීම් උපාදාන යන නාමයෙන් ධර්මය තුළ සඳහන් වේ.

පටිච්ච සමුප්පාදය තුළ ද මෙම උපාදානය විස්තර වන්නේ මෙලෙසිනි. “තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති”

මෙහිදී අපට පෙනෙන්නේ තණ්හාවෙන් උපාදානයත්, උපාදානයෙන් භවයත්, භවය කරණ කොටගෙන ඉපදීමත් සිදු වන ආකාරයයි. අප මේ අනන්ත වූ සංසාරය පුරාවට මැරෙමින් ඉපදෙමින් ගමන් කරන්නේ ද මෙම කරුණු නිසාවෙනි. අප තුළ පවත්නා නොදැනීම නිසාවෙන් අප දකින බලන විඳීන සෑම දෙයක් සමග බැඳීමක් ඇති කර ගනු ලබයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ දුක් විඳීමින් මෙන්ම තාවකාලික සැපයක් වින්දනය කරමින් සසර පුරා ඇවිදීම ය.

බුදුරජාණන් වහන්සේ තරම් මෙම ලෝකය පිළිබඳවත්, සත්වයා පිළිබඳවත්, කරුණු දන්නා අන් කෙනෙක් නොමැති බව අවිවාදිත ය. එබැවින් උන්වහන්සේගේ සෑම දේශනාවක ම අන්තර්ගතය තුළ ඇතුළත් වන්නේ සත්වයා දුකින් නිදහස් කිරීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශනය ලබා දීම ය.

ඉහත සඳහන් ගාථා පාඨය ද එලෙසින් සත්ත්වයාගේ දුක නිවා සැප ලබන්නට මඟ කීමට දේශිත ගාථාවකි. පෙර සඳහන් කළ පරිද්දෙන් යමකු උපාදාන ඇති කර ගන්නේ නම්, ඒ සඳහා සෘජුව ම බලපානු ලබන ඉන්ද්‍රියන් අතර පෙරමුණෙන් ම සිටින්නේ සිතයි. කර්මය පිළිබඳ සඳහන් කරන තැන දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ සිත ඒ සඳහා මූලික වන බවයි.

එලෙසින් අප යමක් සමග හෝ යමෙකු සමග ඇති කර ගනු ලබන උපාදානය, නො එසේ නම් බැඳීම සඳහා ද සිත මූලික වෙයි.

මවුපියන් හා දරුවන් අතර ඇතිවන බැඳීම, ස්වාමියා හා භාර්යාව අතර ඇතිවන බැඳීම, ගුරුවරුන් හා ශිෂ්‍යයන් අතර ඇතිවෙන බැඳීම ආදී බැඳීම් සියල්ල ම පාහේ සිත මූලිකව ම ඇතිවන්නක් බව සනිදර්ශනාත්මකව වටහා ගැනීමට පුළුවන.

එමෙන්ම සිතින් සිතා උපාදානය නැති කළහොත් සැප ලැබීමට හැකි වන බව ද බුදුරජාණන් වහන්සේ දේශිත ය.

සැප යන්න පිළිබඳ විමසීමේ දී එහි ආකාර දෙකක් දැක ගත හැකි ය. එනම් ලෞකික සැප හා ලෝකෝත්තර සැප වශයෙනි. ධම්ම පදයේ චිත්ත වග්ගයේ එන ඉහත සඳහන් ගාථාවේ අපට ලෞකික ජීවිතයේ සැප සලසා ගැනීමට උදව් වන අය කිහිපදෙනකු සම්බන්ධයෙන් සඳහන් වේ. මෑණියන්, පියාණන්, අනෙක් ඥාතීන් ආදීන් මේ අතර මූලිකව දැක ගන්නට ලැබෙන පිරිසයි.

කුඩා කල පටන් තම දරුවාට අවශ්‍ය රැකවරණයත් පෝෂණයත් ලබාදී අනතුරුව යොවුන් වියේ දී අවැසි පරිද්දෙන් ආවාහ විවාහ, රැකීරක්ෂා සම්පත් හා මිල මුදල් ආදිය ලබා දෙමින් දරුවාට සුඛදායක දිවිපෙවෙතක් ලබා දීමට මවුපියන් කටයුතු කරති. මේ අතරට ඥාතීන් ද ඇතුළත් වෙති. එහෙත් මරණයෙන් පසුව මෙන් ම ජීවත්ව සිටින කාලය තුළ ද චිත්ත අභ්‍යන්තරය තුළ ඇතිවන ඇතැම් ගැටලු සඳහා ද කිසිවකුටත් සහාය වීමට නොහැකි ය. එහිදී අපගේ මනසට එන මූලිකම අදහස වන්නේ සිත සකස් කර ගැනීමයි. නොදැමී පවතින සිත පෙර දැක්වූ කරුණු පරිදිම දුක්ඛිත විපාකයන්ට අපව කැඳවා ගෙන යයි.

දිනක් සොරෙය්‍ය නම් සිටුවරයෙක් තම යහළුවන් පිරිසක් සමඟ නගරයෙන් පිටත දිය නෑමට ගමන් කරමින් සිටියේ ය. එම අවස්ථාවේ දී මහා කච්චායන මහ තෙරුන් වහන්සේ ද පිඬු පිණිස ඒ අතරමඟ හැසිරෙමින් සිටියහ. උන්වහන්සේගේ රන්වන් සිරුර දුර තියාම දුටු සොරෙය්‍ය සිටාණන්ගේ සිත එයට ලොබ බැන්දේ ය. “මටත් මෙවැනි රූ සපුවක් ඇති බිරියක් සිටියේ නම් කෙතරම් අගේ ද? මුන් වහන්සේ මගේ බිරිය වූයේ නම් කෙතරම් වටීද?” වශයෙන් සිටුතුමාට සිහි විය.

එවේලෙහි ම ඔහු කාන්තාවක් බවට පරිවර්තනය විය. පසු ව මොහුට වෙනත් සිටුවරයකු හා සරණ යන්නට ද සිදුවිය. කාලානුරූපව මෙම සිටුවරයාට දාව දරුවන් දෙදෙනෙකු ද කාන්තාවක් බවට පරිවර්තනය වීමෙන් පසුව දරුවන් දෙදෙනකු ද වශයෙන් දරුවන් හතර දෙනකු විය.

පසු කලෙක මෙම කාන්තාවක් බවට පත් වූ සිටුවරයාගේ මිත්‍රයකු මහා කච්චායන තෙරුන් හමුවේ එම සියලු පුවත් සැළ කළහ. ඉන් අනතුරුව මහා කච්චායන තෙරුන් වහන්සේ සමීපයට ගොස් තෙරුන් වහන්සේට දානය පූජා කොට උන්වහන්සේ කමා කර ගැනීමෙන් පසුව සිටුවරයා නැවතත් පිරිමි ස්වභාවයට පත්විය. අනතුරුව පැවිදිව නොබෝ දිනකින් ම රහත් භාවයට පත් විය.

සිත නිවැරැදිව පිහිටුවා නොගැනීම, සිත දමනය කර නොගැනීම තුළ එවැනි බරපතළ භයානක විපාකයන්ට පවා සසර තුළ මුහුණ පෑමට සිදුවන බව දැක්වීමට පෙර කී කතා පුවත කදිම උදාහරණයකි.

උපතේ පටන් මරණ මංචකය දක්වා අප ඇති කර ගනු ලබන්නේ බැඳීම් ම ය. එමෙන්ම දකින දකින දෙයට ආශා කරමින් බොහෝ කාමභෝගී ජීවිත ගත කරන අප නිවැරැදිව සිත පිහිටුවීම, සිත දමනය කිරීම කළ යුතු ම ය. එසේ නොවන්නේ නම් අපට ද මෙලොවත් පරලොවත් දුක් මුසු බොහෝ අත්දැකීම්වලට පත්වීමට සිදුවේ.

සෑම දෙයක් පිළිබඳව ම අවබෝධයෙන් බලන්නට හැකි නම් අපට එවැනි දුක් අවම කර සැපවත් ව සැනසීමෙන් ජීවත් වීමට හැකි වන බව බුදුරජාණන් වහන්සේ ඉහත ගාථාව තුළින් දේශනා කොට වදාළ සේක.

මෙහිදී බුදු රජාණන් වහන්සේ මනාකොට පිහිට වූ සිත යනුවෙන් අදහස් කරන්නේ දස කුසල ධර්මයෙහි යොදන ලද සිතයි. දස කුසල ධර්මයන්ට සිත යොමු කිරීම යනු සිත, කය, වචනය යන තිදොර යහපතෙහි යෙදවීමයි. සතුන් මැරීමෙන් වැළකීමෙන්, සොරකම් කිරීමෙන් වැළකීමෙන් හා කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම යන කරුණු මඟින් කය යහපත් කර ගත හැකි ය.

එපමණක් නොව වචනයෙන් සිදු කරනු ලබන බොරු කීම, කේළම් කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම වැනි වාචසික අකුසල්වලින් ඈත් වී වචනය යහපත් කර ගත හැකි ය. සිත යහපත් කර ගැනීම සඳහා දැඩි ලෝභය අත්හැර, ක්‍රෝධ කිරීම දුරලා, වැරැදි දැකීමෙන් වැළකී කටයුතු කළ යුතු ය.

මේ අයුරින් සිත, කය , වචනය යන තිදොර දස කුසලයෙහි යෙදවීම මඟින් සිත මනාකොට පිහිටුවීමටත්, එසේම දෙමාපියන් ආදී වූවන්ට දිය නොහැකි සක්විති සැප, දෙව්ලොව සැප හා ලොව්තුරු සැප ලබා දීමටත් හැකියාව පවතී.

දෛනික ජීවිතයේ දී අප කෙතරම් මානසික පීඩනයකින් පසු වෙමු ද? නිවස තුළත්, ඉන් පිටතත් බොහෝ විට අප සිටින්නේ සැනසීමකින් නොවේ. එවැනි අසහනකාරී ව ජීවත්වන අපට සැනසුණු අයකු ලෙසින් මැරෙන මොහොත දක්වාම දිවි ගෙවන්නට නම් අප අනිවාර්යයෙන් ම සිත නිවැරැදිව පිහිටුවා, සිත දමනය කොට ජීවත් වන්නට මේ උතුම් බක් පොහෝ දින අධිෂ්ඨාන කර ගනිමු.