Print this Article


හෙළ සංස්කෘතියේ පිවිතුරු රුව ගුණ ඉදිරි පරපුරට ඉතිරි කරමු

හෙළ සංස්කෘතියේ පිවිතුරු රුව ගුණ ඉදිරි පරපුරට ඉතිරි කරමු

ක්‍රමයෙන් ගිලිහීගෙන යන අලුත් අවුරුදු සිරිත් විරිත් අවුරුද්ද උදාවනවාත් සමඟම මතක් කර ගැනීම ඉතා වැදගත් වන්නේ ය. වසරක් ගෙවී නව වසරක් උදා වෙනවා යනු ළමයි තරුණ වීමත්, තරුණයින් වැඩිහිටියන් වීමත්, වැඩිහිටියන් මරණයට ආසන්න වීමත් ය.

වයසත් සමඟ සිදුවන විපර්යාසයත් සමඟ පරණ ගති සිරිත් අමතක වී යෑමක් සිදු වේ. ඊටත් වඩා අද ගෙවන නවීන ලෝකයත් සමඟ අපට ආවේණිකව තිබූ ක්‍රීඩා බොහොමයක් අමතක වී තිබේ. එය ඉදිරි පරම්පරාව උදෙසා දායාද කර දීමට අප නිරන්තරයෙන් උත්සාහ කළ යුතු ය.

නවීන තාක්‍ෂණයත් සමඟ ජිවත් වීමේ දී අපට ආවේණික වූ ක්‍රමවේද හා ගති සිරිත් අමතක නොකළ යුතු ය. ඒවාට පයින් ගසා වල පල්ලට නොදැමිය යුතු ය. කෙනකු අලුත් ලෝකයක් වැළඳ ගැනීමට සිතන්නේ පැරැණි සිරිත් විරිත් අමතක කොට නම්, ඔහු සංස්කෘතික ලක්‍ෂණ නොමැති රොබෝ මිනිසකු බවට පත් වනු නියත ය.

අලුත් ඇඳුම් අඳිමින්, ගෙවල් දොරවල් අලුත් කරමින් අවුරුදු සැමරුවත් මිනිසුන්ගේ සිතුම් පැතුම් අලුත් නොවන්නේ නම්, එම අවුරුදු සැමරුම් වල පලක් නොමැත.

විහාරස්ථානවලට ගොස් මල් පූජා කිරීම් හා ආගමික චාරිත්‍රවල නියැළීම අලුත් අවුරුද්දේ සුවිශේෂිතම කාර්යය ලෙස හැඳීන්වීමට පුලුවන. එයට හේතුව වශයෙන් සැලකෙන්නේ තුනුරුවනට මුල්තැන දී වැඩ කටයුතු සුභ මොහොතින් ආරම්භ කිරීමට සැරසීම ය. සිංහල බෞද්ධයින් උපතේ සිට විපත දක්වා ම ගෙවන කාලය තුළ සියලු කටයුතු තුනුරුවන් මුල් කරගෙන සිදු කිරීම සුලභ කාරණයකි.

අලුත් අවුරුද්ද තුළ ද මුල් තැන ලැබෙන්නේ ආගමික චාරිත්‍ර සඳහා ය. එය ඉතා වටිනා ගුණ ධර්මයක් සේ ම පින්කමක් ද වන්නේ ය. අවුරුද්දක් තුළ විවිධ අංශයන්හි සමඟියත්, සාමූහිකත්වයත්, දැක ගන්නට ලැබෙනු ඇත. මිනිසුන් තුළ නැති වී යන ගුණ ධර්ම නැවත අලුත් වීම, අමතක වී යන චාරිත්‍ර ධර්ම නැවත අලුත් වීම සිංහල අවුරුද්දක් තුළ දැකිය හැකි ලක්‍ෂණයකි.

සෑම නිවසකම මල් පැළක් තැනීම, පහනක් දැල්වීම, කැවුම්, කිරිබත්, රසකැවිලි හැදීම, අලුත් ඇඳුම් ඇඳීම, ගෙවල් දොරවල් අලුත් කිරිම හා පිරිසුදු කිරීම, නෑගම් යෑම ආදී විවිධ චාරිත්‍ර හා කටයුතුවල යෙදීමට සිංහල දෙමළ සෑම කෙනෙක් ම උත්සාහවත් වනු ඇත.

මිනිසුන්ගේ දුර්වල මානසික මට්ටම් කරණකොට ගෙන හටගන්නා අසමගිකම් මෙවැනි සිංහල අලුත් අවුරුද්දක් තුළ හෝ නැති කර ගන්නේ නම් එය ඉතා වැදගත් සිදුවීමකි.

විශේෂයෙන් සිංහල අවුරුද්ද තුළ වැඩිහිටියන්ට ගෞරව කිරිම ද සිදු වනු ඇත. එහිදී බුලත් අතට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. බුලත් අතක් දී සුහදව වැඳ නමස්කාර කර සිනා මුසු මුහුණින් කතා කිරීම සිදු කරනු ඇත. මවුපියන්ට දරුවන් ද, ගුරුවරුන්ට ශිෂ්‍යයින් ද, ස්වාමියාට සේවකයින් ද, වැඩිහිටියන්ට ලාබාල අය ද, පැවිදි පක්‍ෂයට ගිහි අය ද යනාදී පිරිස් අතර එම වන්දනාමාන කටයුතු සිදු වේ. එහිදී කිසිදු වාද භේදයක් නොමැතිව කාටත් පොදුවේ එම චාරිත්‍ර සිදු වනු ඇත. එම ක්‍රියා තුළින් කාටත් ප්‍රීතියක් ලැබෙන ආකාරයට ආශිර්වාද ලැබෙනු ඇත.

දැනට වසර 20කට 30කට පෙර දී අවුරුදු චාරිත්‍ර, සිරිත් විරිත් නොඅඩුව ම සිදු විය. අද වන විට ඒවායේ පිරිහීමක් දක්නට ලැබේ. එනිසා අප මතක් කර දෙන්නේ ඉදිරි පරම්පරාවට ද එම අවුරුදු චාරිත්‍ර දැක බලාගෙන විනෝදවීමට ඒවා සුරැකිය යුතු බව ය. ඉදිරියට පවත්ගෙන යා යුතු බව ය.

සිංහල දෙමළ අලුත් අවුරුද්දත් සමඟ ම යන සිංහල ක්‍රීඩා විධි ද අපට වැදගත් වන්නේ ය.

කුඩා, තරුණ, මහලු කාගේත් සහයෝගය මතම එම ක්‍රීඩා සිදු කරනු ඇත. එයට අවුරුදු උත්සවය කියා සඳහන් කරනු ලැබේ. විවිධ ක්‍රීඩා වර්ග අවුරුදු උත්සවයක් තුළ දැකගත හැකි ය. එම ක්‍රීඩා බොහෝ දුරට දුර්ලභ ගණයේ ඒවා වෙති. විශේෂයෙන් අද පරපුරට එම ක්‍රීඩා සිංහල අවුරුද්දට පමණක් දැකගත හැකි ඒවා ද විය හැකි ය.

අපට ආවේනික ක්‍රීඩා සමූහයක් පැරැණි මුතුන් මිත්තන් ආරක්‍ෂා කරමින් පවත්වාගෙන ආ අතර ඒවා තුළ උසස් සංස්කෘතික ලක්‍ෂණ ද විද්‍යමාන වේ. එම ක්‍රීඩා තුළින් සමඟිය සමාදානය, සහජීවනය, ප්‍රීතිය මොහොතක් ගානේ උදාවනු ඇත. එහිදී ආගමික පසුබිමක් ද නිරූපණය වේ.

ආවාට ගියාට නොව චාරිත්‍රානුකූලව ම එම ක්‍රීඩා සිදු කරනු ඇත. එම නිසා අද ජීවන් වන්නන් ද එම ක්‍රීඩා ආරක්‍ෂා කරමින් ඉදිරි පරම්පරාවට ද දායද කළ යුතු වන්නේ ය.

එම ක්‍රීඩාවලින් කීපයක් මතක් කිරීම වැදගත් වනු ඇත. අං ඇඳීම, පොර පොල් ගැසීම, කඹ ඇදීම, කොට්ට පොර ගැසීම, චක්ගුඩු පැනීම, රබන් ගැසීම, කොඩි ගසේ නැගීම, (ග්‍රීස් ගහේ) ජනකවි ගායනා කිරීම, අවුරුදු කුමර කුමරියන් තේරීම, පංච ඇදීම, එල්ලේ ගැසීම වැනි ක්‍රීඩා අද ළමා පරපුරට මෙවැනි ක්‍රීඩාත් තියෙනව ද කියන තරමට ඒවා ඔවුන් නොදන්නා ක්‍රීඩා සමූහයකි. එනිසා එම ක්‍රීඩා ඉදිරියට පවත්වාගෙන යෑම වනාහි බාල පරපුරට අපේ පැරැණි චාරිත්‍ර විධි ද මතක් කර දීමක් වන්නේ ය.

එම ක්‍රීඩාවලින් දිනුම පැරදුම පමණක් නොව අපේකම, පැරැණිකම, සංස්කෘතිය, ශිෂ්ඨාචාර විධි වැනි දේවල් ද මතකයට නඟාගත හැකි ය.

ඉහතින් සඳහන් කළ ආකාරයට අවුරුදු චාරිත්‍ර නිතර සිහියට ගෙන අපට නැති වී යන එම ගුණාංග හා චාරිත්‍ර විධි ඉදිරියට තව තවත් ගෙන යෑමට උත්සාහවත් විය යුතු ය.