Print this Article


කළ කුසල විපාක මාරයාටවත් වළක්වන්න බෑ

කළ කුසල විපාක මාරයාටවත් වළක්වන්න බෑ

අනුරාධපුර රාජ්‍ය පැවැති කාලයේ මහවැලි ගංගාව ළඟ තිබුණා ‘පූගලු’ කියලා ගමක්. ආහාර පානවලින් කිසිම අඩුවක් ඒ ගමේ මිනිසුන්ට නම් තිබුණේ නෑ. භික්ෂූන් වහන්සේ නිතර පිණ්ඩපාතයේ වැඩියේ මේ ගමට. ශ්‍රද්ධා සම්පන්න අඹුසැමි යුවළක් දැහැමිව පින්කම් කරමින් ජීවත් වුණා. කාලයක් ගත වෙන කොට දෙදෙනාට දරු සම්පතක් ලැබුණා.

නම දැම්මේ ‘තිස්ස’ කියලා. කිරිදරුවා දින සති මාස අවුරුදු ගෙවමින් වැඩිවියට පත් වුණා. මව් කිරි බීම නවතා කෑම කන්න පටන් ගත්ත දවසේ ඉදලා මේ දරුවට කෑම විදිහට ලැබුණේ ඇල්හාල් සමග මොනර මස් හා සුවඳවත් ගිතෙල් සහිත බතක්. තුන් වේලට ම ලැබුණා.

භික්ෂූන් වහන්සේගේ වැඩම වීමත්, ධර්මය නිතර අහන්න ලැබීමත් නිසා පැවිදි වීමට කැමැත්තකුත් ඇති වුණා. දෙමාපියන්ගේ අවසරය අරගෙන ‘පූගලු’ ගමේ තිබුණු පූගලු විහාරයට ගිහින් මහ තෙරුන් වහන්සේට නමස්කාර කරලා පැවිදිවීමේ කැමැත්ත ප්‍රකාශ කළා.

දෙමාපියන්ගේ අකැමැත්තක් නැති නිසා සුදුසු වේලාවක් බලලා උත්වසශී‍්‍රයෙන් පැවිදි කළා. ගිහි නාමය ම පැවිදි නාමයටත් යොදා තිබුණා. තරුණ වයසේ සිටි නිසා සිදු වුණා ති‍්‍රපිටකය ඉගෙන ගන්න. ටික කලකින් ම මහත් දැනුමැත්තෙක් වෙලා ධර්ම දේශනා කරන්නත් පටන් ගත්තා. හැබැයි පැවිදි වුණ දවසේ ඉදලා ම මේ ‘තිස්ස’ තෙරණුවෝ වැළඳුවේ ම මොනර මසුත්, සුවඳ ගිතෙල් මිශ්‍ර ඇල්හාලේ බත්මයි. කවදාකවත් පිණ්ඩපාතයේ දී වෙනත් ආහාරයක් උන්වහන්සේගේ පාත්‍රයට ලැබෙන්නේ නෑ.

විහාරයට වැඩම කළහම අනෙක් තෙරුන් වහන්සේ උන්වහන්සේගේ පිණ්ඩපාතය බලනවා. ඒ කිසිම දවසක දැක ගන්න ලැබුණේ නෑ වෙනත් ආහාරයක්. දුප්පත් ගෙදරකට වැඩියත්, පොහොසත් ගෙදරකට වැඩියත්, ගෙපිළිවෙලින් වැඩියත් මේ ආහාරය වරදින්නේ නෑ.

මේ විශේෂ සිද්ධිය විහාරයේ භික්ෂූන් අතර කතාබස් වෙන්න පටන් ගත්තා. දවසින් දෙකින් ගම පුරාම, නගරය පුරාම අනතුරුව ප්‍රදේශය හා රටපුරාමත් මේ කතාව පැතිර යන්න වුණා.

දවසක් එක් ඇමැතියකුට අහන්න ලැබුණා මේ කතාව. ඔහු හිතුවා මේක ඇත්තද කියලා බලන්න. තිස්ස තෙරුන්ගේ අතීත කුසලය පරීක්ෂා කරන්නත්, එම විශේෂත්වය නැති කර දාන්නත් කල්පනා කළා.

දවසක් නිදියහනට ගිහින් බිරිඳ අමතලා’සොදුර, මට හෙට දානයක් දෙන්න හිතුණා. මම උදේ ම පූගලු විහාරයට ගිහින් භික්ෂූන් වහන්සේ නමකට ආරාධනා කරන්නම්. උන්වහන්සේ වැඩියාට පස්සේ නිවුඩු හාලෙන් කුඩමසු කැඳක් හදලා පූජා කරන්න. දහවල් දාන වේලාව පැමිණියහ ම පලා කොළ මාලුවකුත්,කාඩි ඇඹුලකුත් හදලා නිවුඩු හාලේ බතක් එක්ක පූජා කරන්න.’යි කිව්වා.

බිරිඳත් ඒ සියලු ම කටයුතුවලට කැමැති වුණා. පාන්දරින් ම අවදිවෙලා පූගලු විහාරයට ගිහින් ‘තිස්ස’ තෙරුන් වහන්සේට ආරාධනා කළා තමන්ගේ ගෙදර දානයට. ඇමැති නැවත ගෙදර නො ගිහින් වෙන කටයුත්තකට ගියා. බිරිදත් උදේම අවදි වෙලා දානය සකසන වැඩවල යෙදුණා.

මේ අතරේ ගෙදරට ආවා මහලු මිනිසෙක්. මෙයා ඇමැතියාගේ කටයුතු සොයා බලලා, ඒවා සකසලා දෙන කෙනා. අමාත්‍ය බිරිඳ අමතලා

‘මෑණියනි, අද ඇමැතිතුමාට විශේෂ රාජකාරියක් යෙදිලා රජමාලිගාවට ගියා. මට දුන්නා මේ බඩු පාර්සලය දහවල් දානයට වඩින භික්ෂූන් වහන්සේට දානය සකසන්න කියලා’යි පවසා ඔහු ගෙදරින් යන්න ගියා.

ඇමැති බිරිඳ බඩුමල්ල ලිහල බලන කොට මොනර මසුත්, ඇල්හාලුත්, සුවඳ ගිතෙලුත් දැකගන්න ලැබුණා. ඒවායෙන් දානය සකස් කරලා පූජා කළා. ඇමැති සවස ගෙදර ඇවිත් ‘අද පූගලු විහාරයේ තිස්ස තෙරුන් වහන්සේ වැඩියද? දානය දුන්න ද?’යි ප්‍රශ්න කර සිටියා.

එවිට බිරිඳ ඔහුට උත්තර දෙමින්

‘ඔව් ඔබ වෙනදා ගෙදරට එවන කෙනා අතේ බඩු මල්ලක් එවලා තිබුණනේ මම ඒකෙන් දානය සකසලා පූජා කළා’යි කියා සිටියා. බඩුමල්ලේ තිබුණේ මොනවා දැයි අසා දැනගෙන අදාළ මහල්ලා හමු වී ගෙදරට බඩු මල්ලක් දුන්නා දැයි ඇහුවා. ඔහු එහෙම කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. අමාත්‍යවරයා තිස්ස තෙරුන් වහන්සේගේ අතීත කුසලය ගැන හොඳටම පැහැදුණා. කාටවත් එම කුසලයේ විපාකදීම් වළකන්නට බැරි බවත්, බඩු මල්ල ගෙනත් දෙන ලද්දේ දෙවියන් විසින් බවත් වටහා ගත්තා. සම්බුද්ධ ශාසනය කෙරෙහිත් , තිස්ස තෙරුන් වහන්සේ කෙරෙහිත් අපමණ පැහැදීමට පත් වෙලා මහා දානපතියෙක් වුණා. කලක් ගතව යන විට තෙරුන් වහන්සේ උපසම්පදාවෙන් හැටවයසට පත්වුණා. අර්හත්භාවය ලබා සිටි තෙරුන් වහන්සේ පිරිනිවන් පෑමට සූදානම් වුණා. විහාරයේ වැඩ සිටිය හැම භික්ෂූන් වහන්සේ නමකට ම ඇහෙන්න ගෙඩිය ගසමින් කතා කළා තමන් වහන්සේ සමීපයට වැඩම කරන ලෙසට. උන්වහන්සේ අමතලා ‘පින්වත් ඇවැත්නි, මම අද පිරිනිවන් පෑමට සූදානම් වෙන්නේ. ඔබ වහන්සේට තවත් යමක් අසා දැන ගන්න තියනවා නම් අද අහල දැන ගන්න පුළුවන්. සැක දුරු කර ගන්න පුළුවනි’යි කිව්වා. එක් භික්ෂුවක් තෙරුන් වහන්සේට නමස්කාර කරලා ‘ස්වාමිනි, මට ගැටලුවක් තියනවා. එය පහදලා දෙන්න. ඔබ වහන්සේ මුළු ලංකාවේ ම ප්‍රසිද්ධ තෙරුන් වහන්සේ නමක්. ගිහි-පැවිදි හැම දෙනා ම අහනවා ඔබ වහන්සේට විතරක් විශේෂ දානයක් ලැබීම සම්බන්ධයෙන්. අපට අනුකම්පාවෙන්, සමස්ත සැදැහැති පින්වත් ජනයාට අනුකම්පාවෙන් ඒ අතීත කුසලය කුමක් දැ’යි දේශනා කරන්න’යි ඉල්ලා සිටියා.

තිස්ස තෙරුන් වහන්සේ ඇඳේ වැතිර ගෙන ම අතීත කුසල කර්මය දේශනා කරන්න පටන් ගත්තා. ‘පින්වත් ඇවැත්නි, මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ වෙළෙන්දෙක්. හැමදාම වෙළඳාමේ ගියා දුර පළාත්වලට. මම විකුණුවේ හිරියල් සුණු. කරත්තයෙන් සමහර දවසක ගියා. තවත් දවසක පයින්ම ගමන් කළා. දවසක් පයින් ගියහම මට බොහොම වෙහෙස දැනුණා. එක් පොහොසත් ගෙදරකට ගිහින් ම හිරියල් විකුණන බවත්, මිල ගණනුත් පවසා සිටියා. ඒ ගෙදර හිටියේ කුලවත් තරුණියක්. ඇය මගෙන් භාණ්ඩ මිල දී ගත්තා. පයින් ම බොහෝ දුරක් ගිය නිසා මට හොඳටම වෙහෙසයි. බඩගින්නත්, පිපාසයත් ඉවසා ගන්න බැරි තැන වතුර ටිකක් ඉල්ලා සිටියා. මගේ කුසගින්න වටහා ගත් ඒ කුලවත් තරුණිය මට මොනර මසුත්, සුවඳ ගිතෙලින් පිසූ ඇල්හාලේ බතුත් පිඟානකට බෙදා දුන්නා. මම ඒවා කන්න ගන්න කොටම කුස ගින්නෙන් වෙවුල වෙවුලා, වැටි එන සුනඛයෙක් එනවා දැක්කා. ඌ මගේ ඉදිරියට ඇවිත් බලාගෙන ඉන්න ගත්තා. මගේ බඩගින්න වැඩියි. ලැබුණු කෑම ටික මට ම මදි බඩගින්නේ හැටියට. ඒත් මම එක බත් කටක්වත් කෑවේ නෑ. පළමු බත් කට මොනර මසුත් එක්ක හොඳට අනලා සතුටු සිතින් ඌට දුන්නා. මමත් කුස ගින්න නිවා ගත්තා.

මෙ ලෙස අප දෙන්නා ම එක බත් පත අනුභව කළා. සුනඛයා වල්ගය සොලවමින් සතුට ප්‍රකාශ කළා. එදා මම ප්‍රාර්ථනාවක් කළා දුප්පත් වෙලා ඉපදුණේ පෙර කුසල් නැති නිසා. අද මේ දුන්න දානයෙන් ජාතියක් ජාතියක් පාසා මට මොනර මස් හා සුවඳ ගිතෙල් සහිත ඇල්හාලේ බත් ලැබේවා'යි ප්‍රාර්ථනා කළා.

ඒ ජීවිතය කෙළවර කරලා මම ඉපදුණේ දෙව්ලොව. බුද්ධාන්තරයක් පුරාවට ම දිව්‍ය සම්පත් වින්දා. මිනිස් ලොව ආත්ම පන්සියයක් ඉපදුණා. ඒ හැම ආත්මයක දී ම මට ලැබුණෙම මේ ආහාර. නිවන් දකින ආත්මයෙත් ආහාර ගන්න පටන් ගත්ත දවසේ පටන් අද දක්වාම ලැබුණේත් මේ ආහාර විශේෂය ම තමයි. එක් බත් පිඩක් සතුටු සිතින් තිරිසන් ගත සත්ත්වයකුට දන් දීම නිසා මෙතරම් සැප විපාක මම ලැබුවා. කළ කුසල් විපාක දී ම මාරයාටවත් වළක්වන්න බෑ. ඒ වගේ ම දිව්‍ය මනුෂ්‍ය හා නිවන් සැප වළක්වන්නත් බෑ.’යි රැස්ව සිටි භික්ෂු සංඝයාට තමන් වහන්සේට විපාක දුන් අතීත කුසලය පහදලා දුන්නා.

එදා සිට භික්ෂූන් වහන්සේත්, ගිහි ජනතාවත්, රාජරාජ මහාමාත්‍යවරුනුත් දන් දෙමින් මහා කුසල් රැස් කර ගෙන ති‍්‍රවිධ සම්පත් ම වින්දනය කළා’යි කතා පුවතක් රසවාහිනී නම් කෘතියේ සඳහන් වෙනවා.

මේ කතා පුවතින් අපට පෙන්වා දෙන්නේ සතුටු සිතින් තිරිසන් ගත සත්ත්වයකුට හෝ දෙන දානය උතුම් බවයි. පන්සිල් රකින, දසසිල් රකින තැනැත්තන්ටත්, ආර්ය මහා සංඝයාටත් දෙන දානයේ විපාක බුදු නොවූ කිසිවකුටත් කියා නිම කර ගන්න බැරි බවත් පවසනවා.

කොපමණ දුප්පත් වුවත්, අගහිඟකම්වලින් යුක්ත වුවත් ඊළග සසරේ සැප සම්පත් ලබමින් නිවන් ලැබීමට නම් දන් දීම් පුණ්‍ය කි‍්‍රයා කළ යුතු ම වෙනවා.