Print this Article


ආකල්ප දුර්වල වුණොත් උගතෙක් වුවද වරදට පෙළඹෙනවා

ආකල්ප දුර්වල වුණොත් උගතෙක් වුවද වරදට පෙළඹෙනවා

බුදුරජාණන් වහන්සේ විනය පිළිබඳ දක්වා තිබෙන්නේ සසුනේ මූලික පදනම ලෙසත්, බාහිර සමාජයේ මිනිසුන්ගේ යහපත් චර්යාවන්ට හේතු පාදක වන බවත් ය. මංගල සූත්‍ර දේශනාවේ සඳහන් කර තිබෙන්නේ “විනයො ච සුසික්ඛිතො...“ යනුවෙන් විනයානුකූල හික්මීම දියුණුවට හේතුවන බවයි.

ගෞතම බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වන්නේ ලෝක සත්ත්වයාට යම් යථාර්ථයක් තේරුම් කර දීමටයි. එසේත් නොමැති නම් පහදා දීමටයි.

ඒකාග්‍රතාවයෙන් යුතු සිත පිරිසුදු දිය පොකුණක් සේ පැහැදිලි භාවයට පත් කිරීමටයි. ඒ හරහා චර්යාවන් හික්මවීම තුළ මිනිසුන්ගේ කායික මානසික පැවැත්ම යහපත් කරලීමටයි.

මෙහිදී සිත පාරිශුද්ධත්වයට පත්කරලීමට ප්‍රථම ව පුද්ගලයාගේ කය පිරිසුදු කරග ගත යුතුයි. එම පිරිසුදු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ කුඩා දරුවකුට වුවත් පහසුවෙන් තේරුම්ගෙන යහපත් කායික ක්‍රියා පටිපාටිය පිළිපැදිය හැකි අයුරිනි. බෞද්ධ දර්ශනය යනු එවැනි ප්‍රායෝගික දහමකි.

කුඩා දරුවකු, කුඩා අවදියේ දී අපිරිසුදු බව හේතුවෙන් ඔවුන්ට අත් වන අවාසි සහගත තත්වයන් හා තම පෙනුම, පිරිසුදු බව මඟින් ඇතිවන විවිධ වාසිදායක ස්වභාවයන් පිළිබඳ නොදැන සිටීම ඔවුන්ගේ අපිරිසිදු භාවයට මූලික හේතුව බවට පත්වෙයි. වැඩිහිටියකු මේ තත්ත්වය මඟ හරවාලීම සඳහා වගකිව යුතු හෝ භාරකරුවකු තම දරුවන් කෙරෙහි දැක්විය යුතු කරුණු පිළිවෙත් පහත ආකාර වේ.

ඔවුන් කෙරෙහි දැඩි අවධානය ලබා දීම,

ඇහුම්කන් දීම,

නිසි මඟ පෙන්වීම හා

ආදරය සහ ආරක්ෂාව ලබා දීමයි.

දරුවන් සෑම විටම අනුගමනය කරන්නේ මව්පියන් බව නොරහසකි. එහිදී දරුවන් මව්පියන්ගේ හැසිරීම් රටාව අධ්‍යයනය කරයි. දරුවන්ගේ අහිතකර චර්යාවන්ට මව්පියන්ගේ චර්යාවන්වල දැඩි බලපෑමක් එල්ල වන බව කිව යුතු ය. දරුවන් ඉදිරියේ මව්පියන් සෑම විටම අදර්ශවත් සහ නිවුණු ස්වභාවයකින්, විනයක් සහිත, වැදගත් දෙපළක් ලෙස හැසිරීමට වග බලා ගත යුතු ය.

බුදුරජාණන් වහන්සේ විනය පිළිබඳ දක්වා තිබෙන්නේ සසුනේ මූලික පදනම ලෙසත්, බාහිර සමාජයේ මිනිසුන්ගේ යහපත් චර්යාවන්ට හේතු පාදක වන බවත් ය. මංගල සූත්‍ර දේශනාවේ සඳහන් කර තිබෙන්නේ “විනයො ච සුසික්ඛිතො...“ යනුවෙන් විනයානුකූල හික්මීම දියුණුවට හේතුවන බවයි.

මෙහිදී අපි කතා කළ යුතු ප්‍රධාන මාතෘකාවක් බවට පත් වන්නේ අනුන්ට ගරු කිරීමේ ගුණය, කීකරුකම හික්මීම වර්තමානය වන විට බොහෝ දරුවන් සතුව දක්නට නොලැබීම පිළිබඳවයි.

අතීතයේ කුඩා දරුවාගේ ගුණ යහපත්කම පෝෂණය කළේ කිරි අම්මා සහ කිරි අත්තා ය. සවස් යාමයේ කුඩා දරුවන් ළං කරගෙන කියාදුන් බණ කතා, යහපත් චරිත කතා, දරුවන් තුළ ගුණ දහම් වර්ධනය කරවීමට සමත් විය.

මවුපිය වැඩිහිටියන්ට සලකන ආකාරයත්, ගුරුවරුන්ට සලකන ආකාරයත්, ඥාතීන්ට අසල්වැසියන්ට සලකන ආකාරයත් සිතට දැනෙන සේ නිදසුන් සහිතව පෙන්වා දුන්හ. හොඳ නරක කියා දුන්හ. කුඩා දරුවෝ ඒවා ඉතා කැමැත්තෙන් අහගෙන සිටියහ. පුංචි මනසේ මේ කතාර්ථයන් නිදන් විය. ඒත් ඉස්සර හිටපු ආච්චි සීයා චරිත වර්තමානය වන විට දකින්න ලැබෙන්නේ නැත. වර්තමානය වන විට වයසින් අඩු දරුවන් වැරැදිවලට යොමුවීමේ වර්ධනයක් පෙනේ. තමන්ගේ නිවස තුළින්ම ඔවුන් එවැනි තත්ත්වයකට පත්කර ඇති බව පැහැදිලි ය. අයහපත් විදිහට හැසිරෙන බොහෝ දරුවන් තම නිවස තුළ යම් මානසික පීඩාකාරී බවකින් පසුවන බව පැහැදිලි ය. එවැනි තත්ත්වයන් හඳුනාගත් සැණින් කළ යුත්තේ ගැටලුව තේරුම් ගැනීම ය. ඒ දරුවන් පිළිබඳ අවධානයෙන් යුතුව යහපත් ක්‍රියාවන්ට හුරු පුරුදු කොට නිවැරැදි පුද්ගලයකු ලෙස සමාජ ගත කිරීමට කටයුතු කිරීම ය.

සමාජයේ බොහෝ දරුවන් වැරැදි මාර්ගයට පිවිසීම් පිළිබඳ ව විමසා බැලීමේ දී කුඩා කල පටන් ම ඔවුන්ට යම් යම් වැරැදි මාර්ගෝපදේශ ලබී ඇතිබව පැහැදිලි වේ. එමෙන්ම කුඩා කල පීඩාකාරී හැඟීමකින් යුතුව කටයුතු කර ඇති බව ද පැහැදිලි වේ. කුඩා කාලයේ දී යම් සෙනෙහසක්, ආදරයක් නොලැබීම හේතුකොට ගෙන මුළු ජීවිතය ම වියවුල් තත්ත්වයකට පත්ව ඒ හරහා ඔවුන්ගේ පීඩාකාරී ස්වභාවය මුළු සමාජය කෙරෙහි ම ඇති කරගෙන ඒ හරහා විවිධ විනාශ කරන අයුරු දැක ගත හැකි ය.

අපි කළ යුතු එවැනි පිරිස් නිසි ක්‍රමවේදයකට භාජනය කොට ඔවුන්ගේ ඉදිරි ගමනට යම් පාරිශුද්ධ භාවයක් ඇති කරලීමයි.

දහම තුළ පෙන්වා දී තිබෙන්නේ කෙනකු මෙවැනි කායික මානසික අපිරිසුදු භාවයට පත්වීමට බලපාන හේතු කාරණා ලෙස

වැරදි ප්‍රදේශයන්හි ජීවත් වීම, දැනීම තිබුණත් ආකල්පමය වශයෙන් දුර්වල වීම, සාංසාරික වශයෙන් ගෙන එනු ලබන යම් නරක පුරුදු, කුඩා කල සිට පෙනෙන දැනෙන වැරැදි ක්‍රියාවලිය හා කුඩා කල සිට නොලැබෙන ආදරය සෙනෙහස යි.

මෙ කාරණා හේතුකොට ගෙන අවාසනාවන්ත තත්ත්වයන්ට පත්වීම දැකිය හැකි ය. එමඟින් දරුවාගේ මුළු අනාගතය ම කඩා වැටෙන බව නො නොරහසකි .

සතුටින් ජීවිතය ගතකිරීම සඳහා බාධා වී තිබෙන අපේ ම හැසිරීම් අනාගත පරපුරෙන් දුරස් කිරීම සඳහා සුදුසු ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම වැදගත්ය. ප්‍රථමයෙන් ගුරුවරුන්ගේ වටිනාකම සහ ආකල්ප සංවර්ධනය හරහා හැසිරීම යම් මඟකට ගෙන ඒම යහපත් දරුවකු සමාජගත කිරීමට රුකුලක් වනු ඇත.

පිරිසුදුබව සහ පිරිසුදු වටපිටාව දරුවන්ගේ වඩා හොඳ ඉගෙනීම සහ සංවර්ධනය වැඩි දියුණු කරන බව බොහෝ දෙනා පිළිගෙන ඇත.

අධ්‍යාපනය ලබන අවධියේ දී ඔවුන්ගේ වට වටපිටාවත්, පරිසරයක් අපිරිසුදු වීම විවිධාකාර ගැටලු රාශියක් මතු කරීමට සමත් වෙයි. එය දරුවන්ගේ මානසික සංවර්ධනයට සහ අධ්‍යාපන කටයුතුවලට වැදගත් වන්නේ කෙසේ දැයි සොයා බැලීම නූතන අවශ්‍යතාවයකි. ළමයින්ට අධ්‍යාපනය ලබාදෙන ගුරුවරයාට මෙන්ම අධ්‍යාපනය ලබන දරුවා ට ද අපිරිසුදු වටපිටාවක අධ්‍යාපන කටයුතු නිසියාකාරව සිදු කර ගැනීමට බාධා මතු කරයි. පුංචි කාලයේ පටන්ම දරුවන්ට අප දිය යුතු යහපත් චර්යාමය ප්‍රතිපදාව දරුවාගේ නිවසෙන් ම එනම්, මව්පියන්ගෙන් ම ආරම්භ විය යුතු කරුණකි. යම් දරුවෙක් පිරිසුදු බව ප්‍රතික්ෂේප කරමින් අපිරිසුදුව, ඉගෙනීමට මැලිකමක් දක්වන්නේ නම් එය ඔහුගේ මවුපියන්ගේ යම් ගැටලුවක ප්‍රතිඵලයක් බව අප තේරුම් ගත යුතු වේ.

මීට අමතරව අධ්‍යාපනයය ලැබීම සඳහා යම් වයස් සීමාවක් ගත කරන දරුවන්ට ඔවුන්ගේ අපිරිසුදු බව හරහා සිදුවන තවත් අහිතකර කටයුත්තක් ලෙස නිරෝගීකම පිරිහීම පෙන්වා දිය හැක. සෞඛ්‍ය පිරිහීම හරහා එම දරුවා විවිධ රෝගාබාධයන්ට ලක් වෙයි. ඒ හරහා ඔහුගේ ඉදිරි ඉගෙනීම් කටයුතු අඩාල වන බව පැහැදිලි වේ.

එහෙයින් අනාගත පරපුර යහපත්ව සමාජගත කිරීමට වගකිවයුත්තන් ලෙස මව්පියන් වගබලා ගත යුතු බව පසක් කරමි.