Print this Article


වැරැදි විවේචනය පුද්ගලයා මහත් විපතට පත්කිරීමට හේතුවෙයි

වැරැදි විවේචනය පුද්ගලයා මහත් විපතට පත්කිරීමට හේතුවෙයි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ගණේගම දකුණ, බද්දේගම ශ්‍රී ඉන්දසර ධර්මායතන විහාරාධිපති පරිවේණාධ්‍යක්ෂ විහාරගණයේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රවේදී කෙරදේවල වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

ව්‍යක්ත, විනීත, බහුශ්‍රැත ධර්මානුධර්ම මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ගිහි පැවිදි උභය පිරිසේ ම ගෞරවාදරයට පාත්‍රව සසුන් වැඩ වසන කෙරදේවල වජිරඤාණ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පැවිදි ජීවිතයේ ජීවන තොරතුරු දිග හරිමින්ම සාකච්ඡාව ආරම්භ කරන්න.

මම ජන්මලාභය ලැබුවේ 1941 මැයි මස 27 වෙනිදා. මම ළමා කාලය ගත කළේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයේ කෙරදේවල නමින් හඳුන්වන බොහොම සොඳුරු ගම්පියසක. දස දෙනකු සිටි අපේ පවුලේ පස්වැනි දරුවා වශයෙන් තමයි මම උප්පත්තිය ලැබුවේ. ඒ වගේම මගේ මවුපියන් වුණ දොන් ප්‍රැන්සිස් ජයසේකර ගුණවර්ධන පියාණන් හා නෝනාහාමි හෙට්ටිආරච්චි මෑණියන් තුනුරුවන් කෙරෙහි බොහෝම ශ්‍රද්ධාවෙන් , ගෞරවයෙන් කටයුතු කළ ආදර්ශවත් මවුපිය දෙපළක් බවත් මේ අවස්ථාවේ දී සිහිපත් කිරීම වැදගත්.

ඒ වගේම මාජුවානේ කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අක්ෂර ශික්ෂාව ලබා ගැනීමෙන් අනතුරුව ගුණසේන ජයසේකර ගුණවර්ධන යන ගිහි නාමයෙන් මාජුවාන ශ්‍රී ඉන්දසර පිරිවෙනේ ආරම්භක ගිහි ශිෂ්‍යයකු වශයෙන් අධ්‍යාපන කටයුතු සිදු කළා. 1957 ඔක්තෝබර් මස 21 වැනිදා විද්‍යෝදය විශ්වවිද්‍යාලාධිපති වැලිවිටියේ සෝරත නාහිමිපාණන් වහන්සේ එම පිරිවෙන විවෘත කළා. එම පිරිවෙනේ වැඩ සිටි වියත් පඬිවරුන් ඇසුරේ හොඳින් අධ්‍යයන කටයුතු සිදු කළා.

පෙර සංසාරයේ පුරණ ලද පාරමිතා බලයක් නිසාදෝ පැවිදිවීමේ බලවත් ආසාවක් ඇති වුණා. ඒ අනුව සංසාරගත පුණ්‍ය ශක්තිය මත 1958 මාර්තු මස 30 වැනි දිනට යෙදී තිබුණු සුබ මොහොතින් කෙරදේවල වජිරඤාණ යන උතුම් ශාසනික නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ පුණ්‍යවන්ත පැවිදි ජීවිතයට එළඹුණා. පරිවේණාධ්‍යක්ෂ විහාරාධිපති මාජුවානේ උපරතනාභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ හතරවැනි ශිෂ්‍යයා වශයෙන් තමයි පැවිදිබිමට පත් වුණේ. පැවිදි දිවියට ඇවැසි වුණ මූලික බණ දහම් ගුරු හාමුදුරුවන් ඇසුරේ හොඳින් පුරුදු පුහුණු වුණ බවත් සිහිපත් කළ යුතුයි. සංඝ සෝබන ගුණයන්ගෙන් පිරිපුන්ව ශාසනානුලෝමී හැඟීමෙන් කටයුතු කළ එවැනි සංඝ නේතෘන් වහන්සේ ඇසුරෙන් ලබාගත් මූලික ශික්ෂණය පැවිදි ජීවිතයට ම ආලෝකයක් වුණ බව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කිරීම වැදගත් කොට සලකන්න පුළුවන්. මාජුවානේ පිරිවෙනේ වැඩ සිටි සුපේශල ශික්ෂාකාමී ශාස්ත්‍රඥයන් වහන්සේ යටතේ මැනවින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදුකරමින් 1959 වර්ෂයේ දී ප්‍රථම වරට ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට ඉදිරිපත් වී ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබා ගැනීමට කටයුතු කළා. ඒ වගේම එම කාල පරිච්ඡේදය වෙන විට උපසම්පදා ශීලයට පත් වීමේ අවස්ථාවට ළඟා වෙලා තිබුණේ.

භික්ෂු සමාජයේ භික්ෂුවක් ලෙස පෙනී සිටීමට අවශ්‍ය අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත යුතුයි. භික්ෂූන් ලෙස සංඝ සමාජය පිළිගන්නේ උපසම්පදාවෙන් පසුවයි. එනිසා 1961 ජුනි මස 05 වැනිදා මල්වතු මහා විහාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පත්ති ශීලයට පත් වීමට තරම් පුණ්‍යවන්ත වුණා. උපසම්පදා පුණ්‍යකර්මයේ දී මා පැවිදි කළ ආචාර්යයන් වහන්සේලාම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ වශයෙන් කටයුතු කළ බවත් කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

ඒවගේම ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගයෙන් උසස් ලෙස සමත් වීමටත් අවස්ථාව ලැබුණා. මාජුවාන පිරිවෙනේ වැඩසිටි බහුශ්‍රැත ව්‍යක්ත ඇදුරු මඬුල්ලක් හමුවේ ඉතාමත් හොඳින් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගෙන 1963 වර්ෂයේ දී විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් සමත් වුණා.

විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා සිංහල පාලි, බුද්ධ ධර්මය විෂයන් තුනෙන් ම ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගෙන මාජුවානේ ඉන්දසර විද්‍යාලයානුබද්ධ පිරිවෙන් ආචාර්ය මණ්ඩලයට ඇතුළත් වුණා.

දහම් පාසල, ධර්ම ශාස්ත්‍රීය සංවාද මණ්ඩප, සමාජ සුබසාධක සමිති ආදිය සංවිධානය කරමින් යහපත් සමාජයක් ගොඩනැඟීමට ගන්නා ලද ප්‍රයත්නයන් ඔබ වහන්සේගේ වචනයෙන් ප්‍රකාශ කරන්න අපේ හාමුදුරුවනේ,

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය, අභිවෘද්ධිය වෙනුවෙන් සුපේශල ශික්ෂාකාමී සඟ පරපුරක් සම්බුද්ධ ශාසනය වෙත දායාද කිරිමේ අරමුණින් පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් බොහෝ කාලයක් ධර්ම ශාස්ත්‍රීය දැනුම ලබා දීමට කටයුතු කළා. ගමේ දායක පිරිසගේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සහජ දක්ෂතා ඔප්නැංවීමට සිරි සිදුහත් ළමා සමුළුව නමින් ළමා සංවිධානයක් ආරම්භ කළා. ඒ වගේම 1967 - 1968 වර්ෂවලදී ‘ප්‍රදීප’ නමින් සඟරාවක් නිකුත් කිරීම ආරම්භ කළා.

1970 වර්ෂයේ දී තිස්සමහාරාම විහාරාධිපතිව වැඩ විසූ ගණේගම ශ්‍රී ඉන්දසර නාහිමියන්ගේ ආරාධනාවකට අනුව මද්දේගම බුද්ධරක්ඛිත මා හිමියන් සමඟ ගණේගම පිහිටි වීරසිංහ වලව්වට පැමිණ ශ්‍රී ඉන්දසර ධර්මායතනය ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කළා. ඒ අනුව 1970 අගෝස්තු 17 දින විද්‍යෝදය පරිවේණාධිපති සිටි කළුකොඳයාවේ පඤ්ඤාසේකර මහ නාහිමි වජිරඤාණ ධර්මයතනාධ්‍යක්ෂ මඩිහේ පඤ්ඤාසීහ සහ මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ඉන්දසාර ධර්මායතනය, ආරම්භ කිරීමටත් ඉදිරියට පවත්වා ගෙන යාමටත් කටයුතු කළා. ඒ කටයුතු සිදු කරන අතර, “සිරිසිදුහත්” ළමා සමුළුව ද නොකඩවාම පවත්වා ගෙන ආවා. ඒ ළමා සමුළුවේ සාර්ථකත්වය නිසාම තරුණ පිරිස් ප්‍රාදේශීය ශාඛා සමුළු ආරම්භ කරමින් දීප ව්‍යාප්ත සිරි සිදුහත් ළමා සමුළුව පවත්වාගෙන ගියා. 1977 වර්ෂයේ දී මාජුවාන කෙරදේවල රන්සෑගොඩ බද්දේගම උතුර ගිනිමැල්ලගහ කොත්මලේ ද ශාඛා ආරම්භ කරමින් ත්‍යාග සහතික පත්‍ර ප්‍රදානෝත්සව පැවැත්වීමට කටයුතු කළා.

මේ කටයුතුවලදී මඟ පෙන්වමින් පෙරමුණ ගත්ත මද්දේගම බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ හදිස්සියේ රෝගාතුරව අපවත්වීම නිසා 1990 වර්ෂයේ සිට ධර්මායතනයත්, සිසිලස ළමා සමාජයක් අඛණ්ඩව පවත්වාගෙන යාමේ සම්පූර්ණ වගකීම ඉදිරියට කරගෙන යාමට සිදු වුණා.

පැවිදි ජීවිතයේ දීර්ඝ කාලීන අත්දැකීම් සම්භාරයකින් හෙබි සෝබමාන උදාර පැවිදි ජීවිතයක් ගත කරන ඔබ වහන්සේ නූතන සමාජයේ පැන නැඟී ශාසනික ගැටලු පිළිබඳ දරන මතය මොන වගේද?

මෙයින් දශක හතරකට ඉහතදී තමයි අපි ඔය ප්‍රශ්නයට පිළිතුරු සපයන්න උත්සාහ කළේ. ඒ කියන්නේ 1977 වර්ෂයේදී භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පිවිසීමට උත්සාහ ගත් අවස්ථාවේ මා විසින් “මහ සඟරුවන, මහජනතාව සහ මහ මැතිවරණය” නමින් පොත් පින්චක් එළි දැක්වූවා. එම පොතේ අන්තර්ගත කරුණූු කිහිපයක් උපුටා දක්වන්න කැමැතියි.

“බහුජන හිත සුව පිණිස සම්බුද්ධ ශාසනය තවදුරටත් රැක ගැනීම වර්තමාන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මහා සංඝයා වහන්සේගේ පරම යුතුකමයි. එදා ලක් පොළවින් අතුරුදහන් වන්නට ගිය සම්බුද්ධ ශාසනය රැකගෙන ධර්ම ශාස්ත්‍රීය පුනරුප්පත්තිය ඇති කිරිම සඳහා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ට ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත්ව මහ සටනක් කරන්නට සිදු වූයේ අන්‍ය දෘෂ්ටිකයන් සමඟ පමණක් නොවේ. ශාසනයේ නාමයෙන් උදාර පෝෂණයේ යෙදුනු ශාසනික දේපළවලින් අඹුදරුවන් රැකි පුද්ගලයන්ගෙන් එල්ල වූ අතවර අපමණ ය. එලෙසින් රැකගත් ශාසනයේ රැකවරණය අදත් අපි ලබමු. එහෙත් එදාටත් වැඩි අන්ත පරිහානියට ශාසනය පත්වන ලකුණු අද පහළ වී ඇත. එවැනි තත්වයක් උදාවන්නට පළමු, ශාසනය රැකගැනීමට ක්‍රියා කළ නොහැකි නම්, භික්ෂූන් වහන්සේලා වශයෙන් අප සතු බලවත්ම වගකීමක් පැහැර හැරීමක් නොවේද?

විවේචනය පිරිසුදුකම සඳහා අවශ්‍යය. එහෙත් වැරැදි විවේචනය පුද්ගලයා මහත් විපතකට පත්කිරීමට හේතුවෙයි. භික්ෂුව භික්ෂූන් වහන්සේගේම විවේචනයට ලක් විය යුතු අතර, ශාසනය නොහඳුනන ගිහි බෞද්ධයන්ගේ වැරැදි විවේචනවලට ඉඩ නොතැබිය යුතුය. භික්ෂූන් වහන්සේගේ පාරිශුද්ධත්වය, පිළිබඳ තමන්ම සහතික විය යුතු ය. අන්‍ය භික්ෂුවකට හෝ ගිහියකුට නිගමනයකට බැසගත නොහැකි වෙයි. මේ නිසා සංඝ සාමගි‍්‍රයෙන්ම සංඝ ගෞරවය ආරක්ෂා කර වැරැදි විවේචන වළක්වාගත යුතු ය.