Print this Article


දඩබ්බර ගතිය බොදු පිළිවෙත නොවේ

දඩබ්බර ගතිය බොදු පිළිවෙත නොවේ

අල්පමාත්‍ර දැනුම හුවා දක්වමින් ශ්‍රැත මදයෙන් මෙන් ම යෞවන මදයෙන්, පරිවාර මදයෙන් උන්මත්තකව අයුතු අසාධාරණ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රසංශාවන්ගෙන් මත් වී, තමන් උසස් කොට, අනුන් පහත් කොට වහසි බස් දොඩමින්, අත්පා වනමින්, දික් කරවමින් තමා විසින් මවාගත් ගාම්භීර බවක් පෙන්වමින්, මහහඬින් දෙස් දෙවොල් තියමින්, නිගරු ලෙස මහ මඟ දුවන දසුන් දෙස බලා සිටින කවරකුගේ වුවත් මනස සසල කරවන්නේ නොවේ ද?

අද අප ජිවත්වන සමාජය දෙස පුළුල් ලෙස බලනවිට පැහැදිලි වන කරුණක් වන්නේ සමාජයේ සෑම තරාතිරමකම ජන කොටස් අතිශය අසංවර වී ඇති බව. මෙය වඩාත් පැහැදිලි වන්නේ දැනට වසර 40කට පමණ පෙර මේ මිනිස් සමාජය පිළිබඳ අත්දැකිම් ඇති වැඩිහිටි වයසේ ජීවත්වන උදවියට යි.

අද සමාජයේ මිනිසුන් භාවිත කරන වචන, ඔවුන් විසින් ශාරීරික වශයෙන් පවත්වන ක්‍රියාකාරකම් පමණක් නොව ඒ සඳහා කය, වචනය යොමු කරවන මානසික තත්වයන් දෙස බලනවිට මෙය කැපී පෙනෙන ස්වභාවයක් පෙන්වනවා. මෙහි දී ජනතාව එක්රැස්වන උත්සව, සම්භාෂණ, සංග්‍රහ පමණක් නොව ආගමික වශයෙන් යෙදෙන චාරිකාවල දී පවා කායික. වාචසික හා මානසික වශයෙන් බොහෝ අසංවර තත්වයන් අපට අත්විඳීන්නට හැකියාව තිබෙනවා.

මෙයට ධර්මානුකූලව යෙදෙන වචනය ලෙස දක්වා ඇත්තේ ප්‍රගල්භ යන්න හෙවත් ප්‍රගල්භභාවය යි. මේ ප්‍රගල්භ්‍ය බව හරිම අහිතකර තත්වයක්. එහෙම නම් ප්‍රගල්භ බවෙන් මිදීමේ වටිනාකම කරණීයමෙත්ත සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේට පෙන්වා දෙනවා. සසර දුක් කෙළවර කොට ඉක්මන් නිවන් සුවය අරමුණු කොට පිළිවෙත් පිරීමේ නිරත භික්ෂුව තුළ වඩා වර්ධනය කර ගතයුතු ගුණයන් අතර තවත් එක් ගුණයක් ලෙස බුදුරජාණන් වහන්සේ මේ අප්‍රගල්භ බවෙහි වටිනාකම පෙන්වා දී තිබෙනවා. භික්ෂූන් වහන්සේ අරමුණු කොට මේ දේශනාව පැවැත්වුවත් ගිහි සමාජයේ මනා පැවැත්මට ද මෙම අප්‍රගල්භභාවය හේතු වන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

විශේෂයෙන් ප්‍රගල්භ බව යන්නේ සරල අරුත ගත්තොත් එයින් කියැවෙන්නේ කායික, වාචසික හා මානසික යන තුන් දොරෙහිම ඇති කර ගන්නා දඩබ්බර හෙවත් නොහික්මුණු බවයි. එනයින් පැවැත්විය යුතු සංවරය කියා අප්පගබ්බ යන්නෙන් අදහස් වෙනවා. ඒ කියන තිදොරින් අසංවර වී අයෝග්‍ය අශීලාචාර ගති පැවතුම් බහුලව, ක්‍රියා කරන යම් අයෙක් වේ නම් ඔහු ප්‍රගල්භ බවෙන් යුක්තයි.

භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් මේ ප්‍රගල්භ බව පිළිබඳ සලකා බැලීමේ දී භික්ෂූන් වහන්සේ එක්රැස්වන ස්ථානවල එනම් දානශාලාව, ගිනිහල්ගෙය, නාන ස්ථනය, පිඬු පිණිස සැරිසරන මාර්ගය, ගම තුළ යන මෙවැනි පොදු ස්ථානවල නොසරුප් ලෙස, නොහොබිනා ලෙස හැසිරීම කාය වශයෙන් සිදු වන ප්‍රගල්භ බවයි.

ඒ කියන සියලු ස්ථානවල නොසරුප්, නොහොබිනා වදන් භාවිත කරමින් අමනෝඥ ලෙස කරන අල්ලාප සල්ලාප වචී හෙවත් වාග් ප්‍රගල්භභාවය යි. ඒ වගේම තමා ඒ කියන තැන්වලදීත් නිරන්තරයෙනුත් කාම සිතිවිලි උද්දීපනය වන අයුරිනුත් සමහර විට යම් යම් පුද්ගලයන් සමාජ කණ්ඩායම් හෝ භික්ෂූන් වහන්සේ වෙත තරහ වෛරය කෝපය කුළු ගැන්වෙන ආකාරයෙන් සිතිවිලි ජනිතවන තත්වයෙන් ක්‍රියා කිරිමත් මේ කියන මනෝ ප්‍රගල්භභාවයෙන් අදහස් කෙරෙනවා.

මේ කියන සියලු තත්වයන් ගිහි පැවිදි වෙනසක් නොදැක සලකා බැලීමේ වැදගත්කමක් තිබෙනවා.

අද අප සමාජයේ ඇතැම් තරුණ භික්ෂූන් වහන්සේ වෙතින් මේ කියන තෙවැදෑරුම් ප්‍රාගල්භ්‍යභාවය මේ රටේ ජනතාව විසින් නිරන්තරයෙන් ජනමාධ්‍ය තුළින් අත්විඳීන තත්වයක් ලෙස දක්වන්නට හැකියි.ඇතැම් තරුණ භික්ෂූන් වහන්සේ කිසිදු ප්‍රමිතියක් නැති වෛවර්ණ සිවුරු දරාගෙන, මනා පෙරවිමී ක්‍රමයක් ද නොමැතිව, නොදැමුණු නොහික්මුණු බව හුවා දක්වමින් ස්වකීය අවිනීත පැවතුම් මුළු මහත් ලෝකය හමුවේ කියා පාමින් දරා ගත් සිවුර පවා ගිලිහි ගොස් වැටෙන තුරු සිහියෙන් තොරව එම අරහත් ධජය ලෙස බුහුමන් ලබන චීවරයට නිගා කරමින් මහමඟ දමා, රුදුරු ගති පෙන්වමින් ක්‍රියා කළ අයුරු මෑත අතීතයෙන් අපට නිදසුන් දෙනවා.

එපමණක් නොව මනා බණදහම් දැනුමෙන් හා නිසි ආචාර්ය උපාධ්‍යාය ඇසුරකින් තොරව ඔහේ මසින් පෙනුමෙන් හැදෙමින් වැඩෙමින් කය සරුව පෙනුණත් ගුණධර්මවලින් හීනව විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනයකට වුව ද ඇතුළත් වී ලද අල්පමාත්‍ර දැනුම හුවා දක්වමින් ශ්‍රැත මදයෙන් මෙන් ම යෞවන මදයෙන්, පරිවාර මදයෙන් උන්මත්තකව අයුතු අසාධාරණ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රසංශාවන්ගෙන් මත් වී, තමන් උසස් කොට, අනුන් පහත් කොට වහසි බස් දොඩමින්, අත්පා වනමින්, දික් කරවමින් තමා විසින් මවාගත් ගාම්භීර බවක් පෙන්වමින්, මහහඬින් දෙස් දෙවොල් තියමින්, නිගරු ලෙස මහ මඟ දුවමින්, තෙරපෙමින් ක්‍රියා කරන දසුන් දෙස බලා සිටින කවරකුගේ වුවත් මනස සසල කරවන්නේ නොවේ ද?

මේ පිරිස් කායික, වාචසික හා මානසික වශයෙන් ප්‍රගල්භ වූවන් ලෙසයි සැලකෙන්නේ.

මෙවැනි භික්ෂූන් විවිධ මතවාද ඔස්සේ සිත් මෙහෙයවා ක්‍රියා කිරීමෙන් මානසික වශයෙනුත් දැඩි ලෙස ප්‍රගල්භ වී උමතු වූවන් මෙන් හිරි ඔතප් බිඳ හෙළමින් ප්‍රසිද්ධ මංමාවත්, පිට්ටනි ගානේ දුවන්නේ ඒ නිසයි. මේ කියවුණු ත්‍රිවිධාකාර ප්‍රගල්භයන්ගෙන් තොර වූ භික්ෂුව අප්පගබ්භ ලෙස සැලකෙනවා.

විශේෂයෙන් භික්ෂු ජිවිතය ගත්විට උන්වහන්සේ අයත් වන්නේ විශේෂ සමාජ සංස්ථාවකට යි. උන්වහන්සේ විසින් පවත්වනු ලබන සියලු ඉරියව් සම්බන්ධයෙන් වුවත් ඇත්තේ විශේෂ වූ ව්‍යවහාර රටාවකි.

උන්වහන්සේ දන් වළඳනවා කියන කොට ගිහි උදවිය සම්බන්ධයෙන් ව්‍යවහාර වන්නේ ආහාර ගන්නවා/කෑම කනවා කියලයි. මෙම ව්‍යවහාරයේ වගේ ඊට අදාළ චර්යාවේ ද ගිහි පැවිදි වශයෙන් පැහැදිලි වෙනසක් තිබෙනවා.පැවිදි භික්ෂුව ආහාර වළඳන්නේ ඊට අනුගත විධිමත් විනයානුකූල රාමුවක් තුළයි. ගිහි පක්ෂයට වුවත් එවැනි ආචාර ධර්ම තිබුණත් එය එතරම් මහජනතාවට ගැටලුවක් වන්නේ නැහැ, මේ ආකාරයෙන් පිළිවෙළින් නිදනවා- සැතපෙනවා, කියනවා- දේශනා කරනවා, යනවා,- වඩිනවා, හිඳීනවා- වැඩඉන්නවා ආදි යෙදුම් කීපයක් වුවත් ගෙන බලනවිට එහි වෙනස අපූරුවට වැටහෙනවා.

මෙයින් ප්‍රකාශ වන්නේ භික්ෂූන් වහන්සේගේ සෑම ඉරියව්වක් ම ගිහි සමාජයට වඩා වෙනස් ආකාරයකින් උසස් ගරුබුහුමන් ලැබිය යුතු ආකාරයෙන් පවත්වා ගතයුතු වන බවයි.

එහෙම නම් භික්ෂූන් වහන්සේ තම සංඝ සංවිධානය තුළ ක්‍රියා කළ යුතු වන්නේ ඊට වෙන් වූ රාමුවක් තුළ යි. එසේ නොමැතිව උන්වහන්සේ ස්ව මතයට ඉරියව් පවත්වනවා නම් එය ශාසනවිරෝධි වුවක් වෙනවා මෙන් ම එම විධිමත්ව පෙළ ගැසුණු සංඝ සංවිධානයට තමා නො ගැලපෙන, නුසුදුසු අයකු බවට පත් වන බවයි.

මේ නිසා භික්ෂුව තමන් අයත් සංවිධාන රාමුව තුළ ක්‍රියා කරනවා නම් පමණක් උන්වහන්සේ ප්‍රගල්භ වූ අයෙක් වන්නේ නැහැ. එයින් පිට පැන්නොත් උන්වහන්සේ අප්පගබ්බෝ යන මේ ශ්‍රේෂ්ඨ පැවැත්මට පිටුපා ක්‍රියා කරන හුදු භික්ෂු ප්‍රතිරුපක තත්වයට පත් වූවෙක් බවට යි ගැනෙන්නේ.

ගිහි සමාජය සම්බන්ධයෙන් වුවත් මේ කරුණ ඒ ආකාරයෙන්ම විග්‍රහ කර දැක්විමට හැකියාව තිබෙනවා.

ඒ පිළිබඳ විස්තර බක් අමාවක පෝදා (19) අන්තර්ජාල කලාපයේ පළවේ.