Print this Article


දිවියෙන් වසරක් අඩුවන දවසේ දුක සැප සම කොට විඳගමු එක සේ

දිවියෙන් වසරක් අඩුවන දවසේ දුක සැප සම කොට විඳගමු එක සේ

දින සති මාස නික්ම ගොස් නව අලුත් අවුරුද්දක් උදාවන විට සියලු දෙනාගේ හදවත් තුළ ඇති වන්නේ නැවුම් සුවඳින් සුවඳවත් වූ අලුත් සිතිවිලි ය.

පරණ අවුරුද්ද ගෙවී අලුත් අවුරුද්ද උදාවීමේ දී ජන සමාජයේ සියලු දෙනාම කාර්යශීලීව හා හැඟීම්බරව කටයුතු කිරීම සිරිතකි. එහෙත් මෙහිදී ජීවිතය දෙස දෙනෙත් යොමු කළ යුත්තේ, යථාවබෝධයෙන් යුතුවයි. අලුත් අවුුරුද්දක් උදා වී යැයි කියන්නේ වසරකින් මරණයට සමීප වූ බවයි.

ලොව වසන දුප්පත්, පොහොසත්, ලස්සන, අවලස්සන, උගත්, නූගත් සියලු දෙනාම දිරාපත් වී අබලන් වී අවලස්සන වී විනාශ වී යන බව “සබ්බේ සත්තා මරිස්සන්ති” යන බුදු වදනින් වැඩිදුරටත් සනාථ කරයි.

එහෙත් ධන කාමයෙන්, බල කාමයෙන්, යස කාමයෙන් වියරු වැටුණු මිනිස්සු මේ බව අවබෝධ කර නොගෙන රට රාජ්‍ය අල්ලන්නට තව තවත් ග්‍රහලෝක සියතට ගන්නට තැත් දරන්නේත්, ඒ සඳහා ගිනි අවි නිෂ්පාදනය කරන්නේත් දිනකට දහස් ගණන් කෝටි ගණන් මිනිසුන් හාමතේ මිය යනවා දැක දැක නොවේ ද? මේ ගැන මොහොතකට සිතන්නට සිත් පිත් නැතත්, අසන්නට කන් නැත්තේ, දැනෙන්නට හදවත් නැත්තේ හද කුටි තුළින් ධර්මය දුරස් වූ බැවිනි. ඈත් වූ බැවිනි. එම නිසා වසරක් ගෙවී අලුත් වසරක් උදාවන මේ අනගි මොහොතේ නිර්මල පවිත්‍ර පහන් සිතිවිලි හදවතට නඟා ගත යුතු ය.

මේ මොහොතේ කාමයෙන්, රාගයෙන් මත්ව, ක්‍රෝධයෙන්, වෛරයෙන්, ද්වේශයෙන් දූෂිතව, මානයෙන්, උඩඟුකමින්, මෝඩකමින් මුළා වූ සියලු දෙනාගේ ම හදවත් දහම් අමා වැස්සෙන් සිසිල් කොට මුළු මහත් සමාජයට ම සාමයත්, සැනසිල්ලත් සතුටත් උදාකර ගැනීමට ක්‍රියා කරන්නේ නම් මිනිසාට සේවය කරන්නට උපන් මිනිසාගෙන් මේ බිහිසුණු සමයේ මිනිසාට ම සිදුවූ අති උදාරතර සේවය වනවාට සැක නැත.

තණ්හාවෙන්, ආශාවෙන්, ඇලී ගැලී පැටලී වාසය කරන ලෝකයා නිරතුරුවම ඇවිළෙමින්, දැවෙමින් සිටින්නේ ය. ගෙයක් ගිනිගෙන ගිනි දැල් බුර බුරා නඟිද්දීත් මොන සිනාද? මොන කෙළිකවටකම්ද? උත්සව ද? මොන පී‍්‍රතියක් ද? ලෝකයේ නන් දෙසින් ඇසෙන්නේ දුකෙහි, අසහනයෙහි, වේදනාවෙහි කනස්සල්ලෙහි භීතියේ ගිනිදැල් පිළිබඳ ශෝකයේ කතාන්දරයයි. ලෝ වැස්සා නිරතුරුව ම දැවෙන රාගාදී එකළොස් ගින්නක් පිළිබඳ බුදු දහමේ සඳහන්ව ඇත.

“පාණාතිපාතා පටිවරතො හොති - ලජ්ජ දයාපනෙනා සබ්බ භූතානු කම්පි“ සෑම සත්වයකුට ම ජීවත්වීමේ අයිතිය ඇත. සියලු සතුන් කෙරෙහි අනුකම්පාවෙන්, දයාවෙන්, පරපණ නැසීමෙන් වැළකුණේ වෙයි යනු එහි අදහසයි. අද ලොව උපන් සතුන්ට හෙට ජීවත්වීමේ අයිතිය නැති කරන තරමටම මිනිසා මිනිසාට කෲර වී ඇත. එයට හේතුව මිනිසා අද ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පුරන් වී ගොස් ඇති බැවිනි. ප්‍රාණියකුට හිංසා පීඩා කිරීම අයුක්තියක්, අසාධාරණයක් කිරීම බලවත් වූ පාප කර්මයකි. එබැවින් හිංසාවත්, ඝාතනයත් වහා වහා නතර කොට මුළු මහත් ලොවම සාමයෙන් සමාදානයෙන් බැඳී දයා, කරුණා පරවශව ජීවත් වන්නට අදිටන් කරගත යුතු ය.

විශේෂයෙන් මව්පිය, සහෝදර සහෝදරියන්, වැඩිහිටි සෑම දෙනා අතර, අන්‍යෝන්‍ය සම්බන්ධතාව, දයාව වෙනදාට වඩා ගොඩනඟා ගත යුතු ය. ගේදොර වතුපිටි ඉඩකඩම් පවිත්‍ර කරන්නා සේ තම තමන්ගේ සිත්සතන් පිරිසුදු කරගෙන පිදිය යුත්තාට පිදීමට, ගරු කළ යුත්තාට ගරු කිරීමට උත්සාහවත් විය යුතු ය. බුලත් අතක් දී වැඩිහිටියන් නැමඳ කමා කරවා ගත යුතු අතර, තම තමන්ගේ ආගම ධර්මය අනුව සංවරව, එකමුතුව, සතුටින් ක්‍රියා කරන්නට ද දැඩි අදිටන් තබා ගත යුතු ය. එසේම මත්පැන්, සුරාව, දුරාචාරය වහාම නතර කොට ගෙදර අඹු සැමි දූ දරු මව්පිය හා සෙසු අය අතර සෙනෙහස සතුට පී‍්‍රතිය ඇතිවන අයුරින් දිවි පැවැත්ම සකසා ගන්නේ නම් මේ නර ලොව දිව්‍ය පුරයක් වනවාට සැකයක් නැත.

එමෙන්ම මේ සිංහල දේශයේ පෙර සිට අලුත් අවුරුදු සමයේ පවත්වන පංච දැමීම, වළ කජු ගැසීම, ඔංචිලි පැදීම, කඹ ඇදීම, රබන් ගැසීම ආදී වශයෙන් ඇති නොයෙක් ක්‍රීඩාවන්ට පණ දී ඒ තුළින් අවකංවම සතුටු විය යුතු ය. ගම්පුරා, දනව්පුරා උත්සව ක්‍රීඩා ආගමික ස්වරූපයෙන් පවත්වන්නේ නම් කාටත් සතුටු විය හැකි අතර, ගම්බිම් තුළත් ජාතීන් අතර ආදරය, කරුණාව, සෙනෙහස, බැඳීම ද වැඩිදියුණු වනවාට සැක නැත. එම නිසා මේ අලුත් අවුරුදු සමයේ පැරැණි චාරිත්‍ර විධි අනුගමනය කරමින් සියලු දෙනාට ම සතුටු විය හැකි පරිදි ඉසිකෝ මද මානාදියෙන් තොරව, හැදෙන වැඩෙන බාල පරපුරටත් ආදර්ශයක් වන ලෙස ක්‍රියා කරන්නට සියල්ලෝ ම උත්සාහ ගනිත්වා.