Print this Article


ගේ දොර සේ ම සිත ද පිවිතුරු කර ගනිමු සරල පැවතුමෙන් අර්බුද ජය ගනිමු

ගේ දොර සේ ම සිත ද පිවිතුරු කර ගනිමු සරල පැවතුමෙන් අර්බුද ජය ගනිමු

ළිපේ ගින්දර නොනිමා තබා ගැනීම අවශ්‍යම කරුණකි. එය ආහාරවේළ හා බැ¼දී පවතින්නකි. ඒ පණිවුඩය අවබෝධ කර ගෙන අප අදත් ළිප හා ගින්දර ගැන ගෞරවයෙන් හා තිරසාර පදනමින් කටයුතු කළේ නම් වර්තමානයේ ගෑස්, විදුලිය වැනි අස්ථාවර බලශක්ති ප්‍රභවයන් මත මේ තරම් වද විඳීන්නේ ද? ලිපක් තනා ගන්නට බැරි නිවසක්, දර කැබැල්ලක් කඩා ගන්නට බැරි ගෙවත්තක් තනාගෙන දුක් විදී ද?

ගහකොළ හරිත පැහැ සළු පළදී. මල් පුබුදුවමින් ගවසා ගනී. විහඟුන් කැඳවා ගනී. වසන්තය අසිරියකි. එය මිනිසාට අලුත් පණිවිඩයක් දෙයි. එම පණිවිඩය එක් අතකින් සරල බව ය. අනෙක් අතින් සහජීවනය යි. ප්‍රධාන සහජීවනය මිනිසා හා පරිසරය අතර ගොඩනැඟේ. සමාජයේ සහජීවනය රැකෙන්නේ සංස්කෘතිය, සන්නිවේදනය හා සදාචාරය මත ය. මෙනිසා ම සූර්ය මංගල්ලයත්, ආගමික චාරිත්‍රත් යන දෙකෙන් ම දෙන සන්නිවේදනාර්ථය වටහා ගැනීම වැදගත් ය.

ඕනෑම සමාජයක පැවැත්ම ඇත්තේ රජය පනවනු ලබන නීතිය මත නොව ඒ සමාජය විසින් පවත්වා ගෙන යනු ලබන සාරධර්ම මත බව සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලින් පිළිබිඹු වේ. අපේ සමාජය පරිසරයෙන් ඈත්ව, චාරිත්‍ර වාරිත්‍රවලින් බැහැරව, නෑ සබඳකම්වලින් දුරස්ව ගෙවන ජීවන රටාවේ අන්තයට ම පැමිණ ඇත. අර්බුදය ඇත්තේ ආර්ථිකයේ නොව චින්තනයේ ය.

ජීවිතයක ගත වූ දින තුන්සිය හැටපහක් ගැන පසු විපරම් කර තමාගේ යුතුකම් හා වගකීම් ඉටු කළේ ද යන්න සිතා බලා තවත් දින තුන්සිය හැටපහකට සූදානම් වීමට ආශිර්වාද ලබා ගැනීම ලෙස අපට අලුත් අවුරුද්දේ හරය හඳුන්වන්නට පුළුවන. සාම්ප්‍රදායික සමාජයේ නම් අලුතින් අස්වැන්න ගෙට ගෙනැවිත් ගේ දොර අලුත් වැඩියාකර, අලුතින් රසකැවිලි හදා, අලුත් ඇඳුම් ඇඳ ,මිතුරුකම් අලුත් කරගෙන ආදි වශයෙන් භෞතිකව හැම අතින්ම අලුත් වී අලුත් වසරට සැරසෙනු ඇත. නිර්මාණශීලිව භෞතික දේ අලුත් කරන්නා සේ ම මිනිසාගේ මනස ද අලුත් කිරීම අප මෙහි දී කළ යුතු දේ ය. මිනිසුන් ශරීරය පිරිසුදු කර ගෙන, ගේ දොර පිරිසුදු කර ගෙන කරන්නා වූ වෙනස මෙන් ම මනසත් අලුතින් පිරිසුදු කරන්න මෙම බක්මහ නිමිත්තක් කර ගැනීම අවශ්‍යය.

තමන්ට උපකාර කළ අයට කෘතවේදීත්වය දැක්විය යුතු බව බුදුරදුන් සත් සතිය ගත කිරීමෙන් පෙන්වා දුන් දෙයයි. එනම් අජීවි වස්තුන්ට පවා ජීවි පුද්ගලයින් ගරු කිරීමේ වැදගත්කමයි. ඒ ඇසුරින් අප ද අලුත් අවුරුද්ද ලබන අවස්ථාවේ දී පසුගිය වසරේ තමන් කළ හොඳ නරක ගැන චරිත සහතිකයක් තනාගෙන පෞරුෂය ගොඩනඟා ගැනීම කළ හැකි ය.

මේ අවස්ථාව ආදර්ශවත් පුද්ගලයකුට හැදෙන්න අවස්ථාවකි. නැතහොත් පසු විපරමක් හා පෙර විපරමක් කිරීමට හොඳ අවස්ථාවකි. ගස්වැල් දලු ලා සොබා දහම පවා අලුත් යුගයකට සැරසෙන මොහොතකි මේ. එය දාර්ශනික අදහස් ප්‍රකාශ කරන්නක් වේ. එනම් වෙලාවට වැඩ කිරීම, වෙලාවට අවදිවීම, අකුරුකීම, ආහාර ගැනීම ආදී කාලය හා අවකාශය ජය ගැනීම සඳහා මිනිසා පුරුදු පුහුණු කිරීමට දෙන අවස්ථාවකි.

කාල විපත්වලින් , රෝග බියෙන් හා අගහිඟවලින් හෙම්බත් වූ වර්තමානයේ අලුත් අවුරුදු චාරිත්‍රවලින් පිළිබිඹු කරන ඒ දාර්ශනික අදහසට අප අනුගත විය යුතු ය. අවුරුදු චාරිත්‍ර මාලාව පුරාම ඇත්තේ සොබා දහමට අනුගත ජීවන රටාව හා සොබා දහමේ ශක්තිය ජීවිතයට ළං කර ගැනීම යන කරුණු ය. රාවණා යුගයේ සිට ම මේ රටේ සූර්ය මංගල්ලය සමරා ඇති බව ඉතිහාසය කියයි. බුදු දහම ආසියාවේ ස්ථාපිත වීමත් සමඟ බෞද්ධාගමික නැඹුරුවකින් වඩාත් අර්ථවත් ව බක්මහ උළෙල සමරනු ඇත.

භව භෝග ඇති කලට කා බී විනෝදවීම පමණක් සුදුසු නොවේ. ඒ නිසාම සාගතයකට අත නොවනා, තමන් කරන කර්මාන්තය සිහියේ තබා ගැනීම හා එයට ප්‍රමුඛත්වය දී ම මෙහි අදහස ය. අනෙක් අතට තම වෘත්තියට ගරු කිරීම හා එහි අගය රැක ගැනීම මෙයින් කියයි.

එසේම පරණ අවුරුද්දේ වැඩ නිමා කරන්නේ ද තම වෘත්තියට අදාළ මෙවලම් සියල්ලට විවේකයක් දී ඒවාට පවා ගරු කිරීමෙනි. නැකතක් නොමැති වේලාව නොනගතයයි. නොනගතයේ දී වෙහෙර විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නියැළීමෙන් සිතේ සැනසීමත්, ආධ්‍යාත්මික ශක්තිය ලබා ගැනීමත් සිදුවේ. එමෙන්ම අන්තරායන්ගෙන් මිදීම ද ඡ්‍යොතීර්වේදයට අනුව අදහස් වේ.

පරිසරයේ ඇති සියලුම ශක්තින් සූර්යයාගේ ය. නැකතට ළිප ගිනි මෙළවීම සූර්යයාගේ ශක්තිය නිවසට කැන්දා ගැනීමකි. අතීත සමාජයේ ළිපේ ගින්දර නොනිමා තබා ගැනීම අවශ්‍යම කරුණකි. එය ආහාරවේළ හා බැ¼දී පවතින්නකි. ඒ පණිවුඩය අවබෝධ කර ගෙන අප අදත් ළිප හා ගින්දර ගැන ගෞරවයෙන් හා තිරසාර පදනමින් කටයුතු කළේ නම් වර්තමානයේ ගෑස්, විදුලිය වැනි අස්ථාවර බලශක්ති ප්‍රභවයන් මත මේ තරම් වද විඳීන්නේ ද? ලිපක් තනා ගන්නට බැරි නිවසක්, දර කැබැල්ලක් කඩා ගන්නට බැරි ගෙවත්තක් තනාගෙන දුක් වි¼දී ද?

කෘෂිකාර්මික සමාජයේ වැඩ ඇල්ලීම යනු සොබාදහමට අනුව වගා කිරීම ය . අනෙක් අතින් ආර්ථික වර්ධනය වෙනුවෙන් කායික මානසික ශක්තීන් වැඩි කර ගැනීම ය. සිය වෘත්තියට ඇති වගකීම හා ගෞරවය ඉන් ප්‍රකාශ කෙරේ. සෑම කෙනකුම කෘෂි උපකරණවලින් කුමක් හෝ වැඩ කරන සමාජයක් නම් එම සමාජය ස්වයංපෝෂිත ය. අනුන් මත නොයැපෙන නිසා ඒ ඒ භෝගවල මිල ඉහළ යන විට පීඩාවට පත්වන තත්ත්වයන් ඇති නොවේ. අප හිරමණය, කැත්ත, උදැල්ල අමතක කළ ජාතියක් බවට පත්වී හමාර ය. ඒ නිසාම නාගරික යටිතල පහසුකම් අඩුවූ විට අප නිරන්තර අහාර හිඟයකට පත්වේ. දෛනික ජීවිතය කඩා වැටී සියල්ල අභියෝග යැයි සිතනු ඇත.

නැකතට ආහාර ගැනීම යනු සෘතුව අනුව ,ඖෂධීය ගුණය අනුව හා සෞඛ්‍ය සම්පන්න භාවය රැක ගැනීම අනුව පෝෂණය වීම ය. අලුත් අවුරුදු මේසයේ ආහාර පිළියෙළ කර ඇත්තේ ඒ සෘතුවට අදාළ ඖෂධීය ගුණ අනුව ය. කිරිබතට තල හෝ මුං ඇට ආදී ධාන්‍යයන් මිශ්‍ර කරන්නේ එම සමයේ පරිසර උෂ්ණත්වය වැඩි නම් ශරීරය සිසිල් කිරීමට ය. දේශීය සංස්කෘතිය අනුව වේලාවට ආහාර ගැනීමෙන් බොහෝ ලෙඩ රෝගවලින් මිදීමට හැකි ය. වර්තමානයේ මෙවැනි චාරිත්‍ර කඩන නිසාම ආමය, ගැස්ට්‍රයිටීස්, පිළිකා, දියවැඩියාව වැනි රෝගබාධ බහුල බව සිතිය හැක. ජනයාට පරම ලාභය ගැන සිතීමට තැන එය ය.

නැකතට ගමන් බිමන් යාම, අනතුරුවලින් වැළකීම හා සුබ ඵල ලබා ගැනීමේ මඟ ය. ‘‘අවේලාවේ වීදි සංචාරය‘‘ වැනි විපත් කැඳවන අවදානම්වලින් මිදීමේ මඟ පෑදේ. විශ්වයේ ඇති ග්‍රහ තාරකාවන්ගේ බලපෑමෙන් අනතුරු වැළැක්වීම ද එක් අදහසකි.

නැකතට ස්නානය කිරීම, හිසතෙල් ගෑම ආදී අංග සපුරාම සෞඛ්‍ය සම්පන්න වීමේ ව්‍යායාමය යි. හෙළ වෙදකමට අනුව අවේලාවේ ස්නානය යනු තුන්දොස කුපිත කරන්නකි. ඖෂධ ගුණයක් ශරීරයට එක්කර ගැනීමෙන් නීරෝගීභාවය ගෙන දීමේ පාඩම නැකතට ස්නානය කිරීමෙන් කියා දෙයි. එවිට අලුත් අවුරුද්දට පසුවදා වෛද්‍යවරුන් සොයා යෑමට අවශ්‍ය නොවේ.

මේ නැකත් සඳහා සූදානම්ව කටයුතු කරන විට අනෙක් සංස්කෘතික දායාද සියල්ල ඊළඟ පරපුරට නිතැතින් උරුම වේ.

වැඩිහිටි කාන්තාවන් කැවිලි පිළියෙළ කරන විට තරුණියෝ ඉවුම් පිහුම් හා දෑතේ වැඩ උගනිති. සාමකාමීව අන්‍යොන්‍ය සහයෝගයෙන් වැඩකරන හැටි පුරුදු වෙති. සහජීවනය දනිති. අවුරුදු ජන ක්‍රිඩා ආදී සියල්ල තුළ ද කුසලතාවන් ඇති කිරීම මෙන්ම, සාමකාමී බව පුරුදු පුහුණු කෙරේ. නැකතට ගනුදෙනු කිරිම, ළිඳ සමඟ ගනුදෙනු කිරීම ආදිය සහජීවනයේ පදනම වන අන්‍යොන්‍ය ගරුත්වය හා කෘතගුණ සැලකීමයි.

මෙලෙස අවුරුදු සමය සමාජයේ සදාචාරය ප්‍රගුණ කරන පාඩමකි. මේ සියල්ල සංවිධානය වන්නේ පරිසරය රසවිඳීන ගමන් ය. ඒ තුළ අර්ථවත් කෙරෙන සරල ජීවන පැවැත්ම අප උගෙනිය යුතු ය.

එහෙත් බහු පාරිභෝජන සමාජ රටාව, නාගරීකරණය හා බටහිරකරණය අපේ මේ සියලු හර පද්ධතීන් ඩැහැගෙන තිබේ. අවුරුදු සැමරුම් මාධ්‍ය ආයතනවල උවමනාවට කෙරෙන වෙළෙඳ සැණකෙළි පමණකි.

ඉවක් බවක් නැති අවශ්‍යතා ගොඩනඟා ගත් අයට මුදල් අර්බුදය අර්බුදයක් ම ය. සියල්ල මුදලින් විසඳා ගැනීමට තවදුරටත් තැත්කරන සමාජයකට මේ වකවානුව සැබෑම අර්බුදයකි.

නැවතත් සරල දෙයට ජීවිතය හුරු කර ගැනීමත්, කාලයට ගැළපෙන නව ජීවන දර්ශනයකට යොමුවීමත් මඟින් මේ අභියෝග ජය ගැන්ම මිස සමාජයට වෛර කිරීමෙන් අලුත් අවුරුද්දේ අරුත පසක් කර ගත නොහැක. අවම වශයෙන් අලුත් අවුරුදු සැමරුම හෝ සරලව අඩු වියදමින් ඉටුකිරීමේ ක්‍රමවේදයක් ගැන සිතන්නට අප සමාජය ඤාණනය විය යුතු ය.

අවුරුදු චාරිත්‍රවලින් සමාජයට මේ ලබා දෙන මඟ පෙන්වීම අනුගමනය කරන්නේ නම්, නැති අභියෝග අර්බුදවලට මූණපාන්නට සිදු නොවනු ඇත. එලෙසම අප සමාජයේ අඩු වයසින් දිගුකාලීන රෝගාබාධවලට ලක්වූවන්, අකලට හිසකේ හැළුණු හෝ පැසුණු අය මෙන්ම අඩු ආයුෂ පුද්ගලයින් දැකිය හැකි යැයි සිතිය නොහැක. මෙම චාරිත්‍ර තුළ ඇත්තේ ලෝක ධර්මතාවන් ය.

ජීවිතයක් සාර්ථක කර ගැනීමේ ධර්මිෂ්ඨ මාර්ගය ය.

ධර්මය අනුව ජීවත්වීමෙන් ධර්මය විසින් පුද්ගලයා ආරක්ෂා වනු ඇති බව බෞද්ධ ඉගැන්වීමයි.