Print this Article


උතුම් පුරුෂාර්ථයන්ගෙන් විසිතුරුවන භාග්‍යවන්ත මාසයේ සූර්ය මංගල්ලය

උතුම් පුරුෂාර්ථයන්ගෙන් විසිතුරුවන භාග්‍යවන්ත මාසයේ සූර්ය මංගල්ලය

රක්ත වර්ණ එරබදු මල් විකසිතවැ, කෝකිල කූජනයේ චමත්කාරයෙන් පරිසරය එළිවෙන භාග්‍යවත් මාසය බක් මාසයයි. සිරිලක් සමාජයට බුදු දහමේ ආලෝකය – බුදුන් වහන්සේ සිරිලක් ධරණී තලයට දායාද කළ හර පද්ධතිය හා මුසුවී හෙළ සිරිත් විරිත් වඩාත් ඔපවත් විය.

මිස්සක පව්වෙන් දේශය සිසාරා ගලා ගිය ආමාදම් මාරුතය හෙළ බොදු දිවි පෙවෙත හැඩ කළේ ය. සරල, චාම් වුව සුන්දර ජීවන රටාව, සෞභාග්‍ය සම්පන්න – සිරිදෙව් දුව දිවැස් හෙළන, කොයි කාටත් සැනසිල්ල දානය කරන අපේ ඇත්තන්ගේ ඇවැතුම් පැවැතුම් ක්‍රමය – කල්ක්‍රියාව ලොව කාගේත් නෙත සිත යොමු වීමට හේතුවිය.

මිස්සකපව්ව අබියස දී එදා දේවානම් පියතිස්ස මහ නිරිඳු ප්‍රමුඛ හතළිස් පන්දාහක ජනයා මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් පන්සිල් සමාදන් වූහ. පන්සිල් මත පදනම් වූ ජීවන ධාරාවකින් එදා අපේ ඇත්තෝ මෙලොව එලොව සුබසෙත උදාකර ගත්හ. කෙතින් බඩ වියත ද, දාගැබින් ආධ්‍යාත්මික දියුණුව ද ඔවුහු ළඟා කර ගත්හ.

සිංහල හින්දු අලුත් අවුරුද්ද – සූර්ය මංගල්‍යය සිරිලක් සමාජයේ හැඩරුව මනාව පිළිබිඹු කරන අපේ සමාජ ක්‍රමයේ උත්කර්ෂවත්ම මංගල්‍යයයි.

සොබා දහම හා මොනවට ඒකාත්මික වූ ලක්වැසි ජනතාව සොබාදම් මෑණියන්ගේ ආශීර්වාදය නොමඳව ලබන්නට භාග්‍යයවන්ත වූහ. බක් මස ඒ බැව් මැනවින් තහවුරු කරන මාසයයි. භාග්‍යය කැන්දු මාසය වූ නිසාම එය බක් මාසයයි.

තුරුලිය පැහැයෙන්, පලඵල්ලවයන්ගෙන්, සියොත් නදින් මෙන්ම සමඟි දමින් බැඳුණු සිවු හෙළයේ මිනිස් පවුරෙන් සූර්ය මංගල්‍යය විසිතුරු වෙයි. හෙළයන්ගේ අහිංසක දිවිපෙවෙත, ආදර්ශ සම්පන්න ගති සොබා තුළින් බුදු දහමේ හරයන් – සම්මා ආජීවය, ලක්වැසි ජීවන දර්ශනය මූර්තිමත් කරයි. වසරක් පුරා ගතේ දහඩිය මහන්සිය කුඹුරේ අස්වැන්නට කැප කළ “මඩ සෝදා ගත් කල රජකමට සුදුසු” ගොවියාගේ අභිමානය කියාපෑවේ සිරිලක් සමාජයේ ස්ව ශක්තියයි.

කලට වේලාවට වැඩ කිරීමේ කලාව බක් මහ අවුරුදු චාරිත්‍රයන්හි මොනවට අරුත් ගන්වයි. ස්වභාවික හිරු සඳු ගමනේ සංසිද්ධිය මනාව ග්‍රහණය කරගත් අපේ ඇත්තෝ වෙලාවට කලාවට මොනවට ක්‍රියා කළහ. යල කන්නය, මහ කන්නයන්හි සරු අස්වැන්නකින් අටුකොටු පුරවන්නට අපේ ගොවි නෑසියන් මොනවට පේ වූහ. සිරිලක් සමාජයේ ජාතිය ජීවත් කරවීමේ යෝධ උත්කෘෂ්ට ව්‍යායාමයක අහිංසක ගොවි ජනතාව නිරත වූහ.

නැකතට වැඩ කිරීමේ අවුරුදු සිරිත කියාපාන්නේ මේ යථාර්ථයයි. බුදුසිරිතෙන් දිනචර්යාවකට වැඩකිරීම අරුත් ගැන්වුණි. ඒ අනුව අපේ හෙළ සිරිතට විරිතට බුදු දහමින් පණ ලැබුණි.

සොබා දහමේ ශක්තිය හා රිද්මය අනුව දිවි ගෙවන්නටත්, අපට දිවි දෙන සොබාදම් මෑණියන්ට ගරු කරන්නටත්, කෘතගුණ දක්වන්නටත් මේ භාග්‍යවත් මංගල්‍යයේ දී අපේ අය ප්‍රමුඛස්ථානය ලබා දුන්හ. හිරු, සඳු, නැකැත්, තාරුකාවන්හි ස්වභාවික චලනයන්හි යහබලපෑම ‘සුබ මුහුර්තීන් හා සුසංයෝගයෙන් ස්වභාවික ශක්තිය මිනිසාගේ දෙලොව අභිවෘද්ධියට යොදා ගන්නට අපේ මුතුන්මිත්තෝ ප්‍රඥා සම්පන්නව ක්‍රියා කළහ. එනිසාම කෘෂිකාර්මික ආර්ථික සශ්‍රීකත්වයත් ලක්වැසි ජනතාවගේ සෞභාග්‍යයත් උදාපත් විය.

එදා මෙදා තුළ ලක්වැසි ජනතාව බුදුදහම හා බද්ධ වූයේ ගහට පොත්ත මෙනි. එනිසාම කෙනකුගේ ජීවිතයේ කවර කටයුත්තක දී වුව ආගම, දහමට මුල්තැන දී කටයුතු කිරීම අපේ අයගේ සද්ගුණයක් විය.

සිංහල අවුරුදු චාරිත්‍රයන්හි දී පුණ්‍ය කාලයට ලැබෙනුයේ මුල් තැනකි. සිංහල හින්දු අවුරුදු සිරිත් ආගමික වතාවත්වලින් ඇරඹීම මෙහිදී සිදු වෙයි. පුණ්‍ය කාලය උදා වීමට ප්‍රථම ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම පුරාතනයේ පටන් පැවැතෙන චාරිත්‍ර ධර්මයයි.

අවුරුදු උදා වීමේ දී මුළු ජන සමාජයම අලුත් අවුරුදු අසිරියෙන් එකට බැඳෙයි. එකම වේලාවකට එකම නැකතකට පවුලේ සියලු දෙනාම සතුටු සිනා මැද නිවෙසේ පිසෙන කිරිබතක් අනුභව කරයි. ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයන්ට අනුව ද මෙලෙස කිරිබතක් අනුභවය මිනිස් දිවිපැවැත්මට සෞඛ්‍යයට හිතකර ය. සරල පහසු වියහියදම් අඩු ගැමි පරිභෝජන රටාවේ වටිනාකම, සෞඛ්‍යයට හිතකර බව, සිංහල අවුරුදු කෑම මේසයද කියාපායි. අහල පහළ නෑසියන්, හිතමිතුරන් හා සමඟිදමින් යුතුව අවුරුදු කෑම පිඟානක් අසල්වාසීන් අතර, බෙදා ගැනීම බෙදාහදා ගැනීමේ සද්ගුණය ප්‍රකට කරයි.

සීයා, ආච්චි, නැන්දා, මාමා ආදි පැතිරුණු පවුලක සියලු දෙනා එකම කෑම මේසයක හිඳ ආදරයෙන්, සෙනෙහසින් යුතුව ආහාර ගැනීම දැකීම දූ දරුවන්ට කදිම ආදර්ශයකි.

අවුරුදු සිරිතෙන් දැනෙන සොම්නස පිරි ආස්වාදය ළමා පෙළට නැවුම් අත්දැකීමකි. අධ්‍යාපන කටයුතුවල නිමග්න වූ ඔවුනට ගතේ සිතේ විවේකය පිණිස මනා පිටිවහලකි. අවුරුදු දා පමණක් නොව මෙලෙස අසල්වාසීන් ඥාති බන්ධුවරයන් සමඟ හොඳ හිත පතුරා මෛත්‍රි සහගතව කටයුතු කිරීම අවුරුදු උදාවේ පටන් දින සති ගණනාවක්ම පවතී. මේ මිතුරු බැඳීම ඥාති බන්ධනයේ සවිමත් බව වසරින් වසර අලුත්වීම අන්‍යෝන්‍ය විශ්වාසය, බැඳීම,අපේකම සේම, මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂා යන සතරබඹ විහරණය ද හෙළ හද සන්තානයේ මොනවට තහවුරු කරයි. පිදිය යුත්තන් පිදීම, වැඩිහිටියන්ට ගරුකිරීම, කළගුණ සැලකීම ආදි අටතිස් මඟුල් කරුණු කිය දෙන තථාගත දේශනය අලුත් අවුරුද්දේදී බෞද්ධ අබෞද්ධ ගුණගරුක සත්පුරුෂ සැමට සිහි කැඳවයි. හැදූ වැඩූ අම්මා, තාත්තා පාමුල වයසින් කොපමණ වැඩුණ ද කරදඬු උස්මහත් වුව ද පුංචි සන්දියේ පුංචි දුව පුතා පරිදිම අම්මට තාත්තාට බුලත් හුරුල්ලක් දී වැඳීම කොපමණ කාර්යබහුල ජීවිත ගත කළත් අවුරුදු සමයේ වුව දුව පුතා මුනුබුරු මිනිබිරියන් හා එක්ව බත්කටක් එකට භුක්ති විඳීම අම්ම, තාත්තට ගෙන දෙන සහනය, සොම්නස, වචනයෙන් පැවැසිය නොහැකි ය. මව පෝෂණය, පියා පෝෂණය, අඹුදරුවන් පෝෂණය පදනම් කර ගෙන නෑයන්ට සංග්‍රහ කිරීම, පිදිය යුත්තන් පිදීම නිවැරැදි කර්මාන්ත එනම් කෘෂිකර්මය, වෙළෙඳාම, ගවපාලනය ආදි අහිංසක ජීවනෝපායන්හි යෙදීම සිංහල අලුත් අවුරුදු මංගල්‍යයෙන් මනාව ඉස්මතු වෙයි. සැබැවින්ම ඒ වුකලි බෞද්ධ ජීවන දර්ශනය ගිහි දිවියට අදාළ කර ගැනීමයි.

හිසතෙල් ගෑම, ජනක්‍රීඩා ආදියද සිංහල අවුරුදු සිරිත් අතර, වෙයි. ජන ක්‍රීඩා තුළින් එකමුතුකම , සාමය, සමඟිය, සමානාත්මතාව වර්ධනය වෙයි. සෞඛ්‍ය සම්පන්න ජාතියකට ඉන් මඟ විවර කරයි. නැකතට හිසතෙල් ගෑම තුළින් අපේක්ෂා කරනුයේද සුවසෙත සපිරි ජන සමාජයකි. අටුකොටු පිරුණු සෞභාග්‍යය සම්පන්න සමාජයක පදනම හොඳ සෞඛ්‍ය සම්පන්න ජනදිවියයි. නීරෝගි බව උතුම්ම ලාභයකි. සතුට උතුම් ධනයකි. හිතවතා උතුම් නෑයෙකි. නිවණ උතුම්ම සැපතයි. කොපමණ ධනය වස්තුව තිබුණ ද ලෙඩ දුක්වලින් කෙනෙක් පීඩා විඳීනම් වස්තුන්හි ඇති ඵල කවරේද? රන්,රිදී, මුතු, මැණික් අගය පරදන උතුම්ම ලාභය නීරෝගි බව වනුයේ එනිසාවෙනි. පසුතැවීම, සංතාපය, පශ්චාත්තාප වීම ඇති තැන සැනසීමක් නැත. බුද්ධිමත්, සැමගේ ඒකායන පැතුම් දෙලොව, සැනසීමයි. මව් පිය සහෝදර සහෝදරියන් නැදිමයිල් ඥාති බැම්ම මෙලොව දිවියට මනා පවුරකි. මෙලෙස මෙලොව දිවිය මනාව ගොඩනැංවුණු විටය. නිවන්දොර විවර වනුයේ. එදා බුදුරදුන් පසේනදී කොසොල් මහරජ අරබයා දෙසූ ධම්මපද ගාථා අර්ථය භාග්‍යවත් සිංහල හින්දු අලුත් අවුරුද්දේදී ලක්වැසියෝ සිය ජීවන ගමනට එකතු පහදු කරගන්නා ආකාරය සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර විධි ක්‍රමයන්ගෙන් මොනවට පැහැදිලි වෙයි.

ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විශ්වාසා පරමා ඤාති
නිබ්බාණං පරමං සුඛං

(ධම්මපදය සුඛවග්ගය)