ඉවසීම
සැනසීමේ මාවතයි
අන්ධකාරය තියෙන තැනට ආලෝකය පැමිණියා වගේ අසහනය තියෙන තැනට ඉවසීම අවශ්‍යයි.
නොඉවසීමෙන් අසහනය තව තවත් ඔඩු දුවනවා. එයින් ප්‍රශ්න තවත් අවුල් වෙනවා. ඉවසීමෙන්
ප්‍රශ්න ලිහිල් වෙනවා. සහනය ළඟා වෙනවා. අසහනය දුරු වෙනවා.
ක්ෂාන්තිය කියන්නේ ඉවසීම. එය පාරමී ධර්මයක්. සසර කතරින් එතෙරව නිවන් අවබෝධ කර ගන්නට
හේතුවන ධර්මවලට කියනව පාරමී කියල. බෞද්ධයන්ගේ පරම බලාපොරොත්තුවත් නිවන් සැපතයි. මේ
නිසා ඉවසීම පුරුදු පුහුණු කරන්නේ නැතිව කවදාවත් නිවන් දකින්න බැහැ.
ඉවසීම සැනසීමේ මාවතයි. ඉවසීමෙන් තොරව අපට කවදාවත් සැනසීමක් ලබන්න බැහැ. ඉවසීම තුළම
සැනසීම ජීවත්වෙනවා. ඉවසීම සාක්ෂාත් වුවහොත් සැනසීමත් ආරක්ෂා වෙනවා. ඉවසීම සිඳී බිඳී
ගියොත් සැනසීමත් සිඳී බිඳී යනවා. මේ නිසා අපි හැම දෙනාම ඉවසීම රැකගෙන සැනසීම ඇති
කරන්න උත්සාහවත් වෙමු.
සමහර අය කතා කරනවා නොසන්සුන්කම ගැන. පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නොසන්සුන්කම ගැන,
සරසවිවල ඉගෙන ගන්න අයගේ නොසන්සුකම ගැන, තරුණ තරුණියන්ගේ නොසන්සුන්කම ගැන, රැකියා
කරන නොකරන අයගේ නොසන්සුන්කම ගැන, වැඩිහිටියන්ගේ, මව්පියන්ගේ නොසන්සුන්කම ගැන.
සමාජය පුරාම පැතිරී පවතින මේ නොසන්සුන්කමට හේතුව කුමක්ද? කියල ඔබ මොහොතක් හිතල
බලන්න. පුද්ගලයකු වශයෙන් අප හැමදෙනා තුළත්, පොදු වශයෙන් සමාජය තුළත් පවතින මේ මහත්
වූ නොසන්සුන්තාවට හේතුවත් නොඉවසීම ම යි.
ඉවසීම ඇති තැන සන්සුන්කම තියෙනවා. ඉවසීම ඇති තැන ශාන්තකම තියෙනවා. බුදුරජාණන්
වහන්සේ තුළ ඉවසීම තියෙන නිසා උන්වහන්සේ ශාන්තයි. බුදුරජාණන් වහන්සේ ඉවසන්නවුන් අතර
අග්‍ර නිසා උන්වහන්සේ ශාන්තිනායකයි. මේ නිසා ඔබ සැවොම කල්පනා කරන්න ඉවසීම මඟින්
ශාන්ත වෙන්නට, සන්සුන් වෙන්නට.
ඔබ අහල තියෙනව අසහනය ගැන. සමාජයේ බොහෝ දෙනා අසහනයෙන් පෙළෙනවා. අසහනයෙන් පෙළෙනවා
කියන්නේ පීඩා විඳිනව කියන එකයි. පීඩා විඳිනව කියල කියන්නේ දුක් විඳිනව කියන එකයි.
අසහනයට පිළියම ඉවසීමයි.
අන්ධකාරය තියෙන තැනට ආලෝකය පැමිණියා වගේ අසහනය තියෙන තැනට ඉවසීම අවශ්‍යයි.
නොඉවසීමෙන් අසහනය තව තවත් ඔඩු දුවනවා. එයින් ප්‍රශ්න තවත් අවුල් වෙනවා. ඉවසීමෙන්
ප්‍රශ්න ලිහිල් වෙනවා. සහනය ළඟා වෙනවා. අසහනය දුරු වෙනවා. මේ මඟින් ඔබට තේරුම් ගන්න
පුළුවන් වේවි. ඉවසීමෙන් සියලු දුක් පීඩා ජය ගන්න පුළුවන් බව. මේ නිසා ඔබත් ඉවසීම ජය
මාවතක් කර ගන්න. ඒ මඟින් සියලු දුක් පීඩා දිනන්න.
ඔවුනොවුන් අතර සුහදතාව දියුණූුවීමටත්, සම්බන්ධතා තහවුරු වීමටත් ඉවසීම අත්වැලක්.
මව්පියන් සහ දරුවන් අතරට ඉවසීම අවශ්‍යයි. ස්වාමියා සහ සේවකයා අතරටත් ඉවසීම
අවශ්‍යයයි. පාලකයා සහ පාලිතයා අතරටත් ඉවසීම අවශ්‍යයි. ඉවසීම මඟින් අපට දිනාගන්න
බැරි කෙනෙක් නැහැ. දිනාගන්න බැරි දෙයක් නැහැ.
බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ විමානයට වැඩම කළ වෙලාවේ දී ආලවක යකු බුදුරජාණන්
වහන්සේට කිව්වා එළියට යන්න කියලා. බුදුරජාණන් වහන්සේ ශාන්තව එළියට වැඩියා. ඒ ගමන් ම
ආලවක යකු නැවතත් කිව්වා. ඇතුළට එන්න කියලා. බුදුරජාණන් වහන්සේ ශාන්තව ඇතුළට වැඩියා.
මේ විදියට තුන් වතාවක් ම ආලවක යක්ෂයාගේ කීම පරිදි බුදුරජාණන් වහන්සේ එළියටත්
ඇතුළටත් වැඩියා. බුදුරජාණන් වහන්සේට මේ විදියට කරන්නට පුළුවන්කම ලැබුණේ උන්වහන්සේ
පුරුදු පුහුණු කළ ඉවසීම නිසයි. එහි දෙවන ප්‍රතිඵලය වුණේ නොඉවසීමෙන් කිතිකැවී ගිය
ආලවක යකුගේ හදවතටත් ඉවසීම ඇතුළු වීමයි. ඒ මඟින් ඔහු ශාන්ත වුණා. නොසන්සුන් වූ ඔහු
සන්සුන් වුණා. අදන්ත වූ ඔහු දාන්ත වුණා. ඉවසීම මඟින් දිනා ගන්න බැරි කෙනෙක් නෑ
කියලා ඉහතින් සඳහන් කළේ ඒ නිසයි.
බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දී දේශනා කළා ඉවසීම ශ්‍රේෂ්ඨතම තපස බව.
“ඛන්ති පරමං තපෝ තිතික්ඛා”. මහා ඝන කැලෑවකට ගිහිල්ලා හරි, ගහක් මුලකට ගිහිල්ලා හරි,
ශුන්‍යාගාරයකට ගිහිල්ලා හරි මුළු ලෝකෙන්ම තනිවෙලා භාවනා කිරීමෙන් ලබන මානසික සුවය
පොදු සමාජයේ දී තමන් වෙත පැමිණෙන සියලු දුක් ගැහැට බාර ගෙන ඉවසීම මඟින් ළඟාකර ගත
හැකි බවයි. අනික් අතින් මෙයින් තවදුරටත් පැහැදිලි වෙනව තපස් රැකීමේ දී එය සඵල කර
ගැනීමට ඉවසීම අත්‍යවශ්‍ය බව.
මහා මංගල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ඉවසීම මංගල කාරණයක් ලෙස දේශනා කළා. ලෞකික
දියුණුව මෙන්ම ලෝකෝත්තර දියුණුවත් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයකු විසින්
යා යුතු ගමන් මඟ මහා මංගල සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ හෙළි කළා. මංගල කියල
කියන්නේ දියුණුවයි. මහා මංගල කියල කියන්නේ උසස් දියුණුවයි. ඒ අනුව උසස් දියුණුවක්
බලාපොරොත්තුවෙන් ක්‍රියා කරන පුද්ගලයකුගේ ජීවිතය ජය මාවතේ පහන් වැටක් ලෙස ඉවසීම
පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්.
ඉවසීම උසස් දෙයක් බව නොදත් සමහර අය හිතනවා එය නිවටකමක් කියලා. නැහැ, එය නිවටකමක්
නොවෙයි. ඇතැම් අය හිතනව ඉවසීම බියගුලුකමක් කියලා. නැහැ. එය බියගුලු කමක් නොවෙයි.
තවත් අය හිතනව එය බැරිකමක් කියල. එය බැරිකමකුත් නොවෙයි.
අපි ඉවසිය යුත්තේ නිවටකමට නොවෙයි. උසස්කමටයි. අපි ඉවසිය යුත්තේ බියගුලුකමට නොවෙයි.
නිර්භීතකමටයි. ඒ වගේම අපි ඉවසිය යුත්තේ බැරිකමට නොවෙයි. පුළුවන්කමටයි. යමෙක්
නිවටකමට ඉවසනවා නම් ඒක උසස් නැහැ. යමෙක් බියගුලුකමට ඉවසනවා නම් ඒකත් උසස් නැහැ.
යමෙක් බැරිකමට ඉවසනවා නම් ඒකත් උසස් නැහැ. මේ නිසා බැරි අය කෙරෙහි වඩාත්ම
ඉවසිලිවන්ත විය යුතුයි. දුබල අය කෙරෙහි වඩාත් ඉවසිලිවන්ත විය යුතුයි. ඒ තුළින් අප
තුළ වඩාත් ම උසස් වූ ඉවසීමක් තහවුරු වෙනවා.
අපි අහල තියෙනව, ඉවසීමේ සීමාවක් තියෙනව කියලා. ඉවසීමේ සීමාවක් ඇත්තේ නැහැ. ඉවසීමේ
සීමාවක් තියෙනව කියල කියන්නේ ඉවසන්නට සූදානමක් නැති අයයි. එය නොඉවසන අයගේ කියමනක්
මිස ඉවසීම පුහුණු කරන අයට අදාළ කියමනක් නොවෙයි. යම් කෙනෙක් ඉවසීමේ සීමාවක් තියෙනවම
කියල හිතනව නම් අන්න ඒ ඉවසීමේ සීමාවෙන් ඔබ්බට ගොඩනංවන ඉවසීම තමයි, උසස් වූ ඉවසීම
වන්නේ.
ඉවසීම කොටස් දෙකකට බෙදනවා. අධිවාසනා ක්ෂාන්තිය හා ධර්මනිද්ධ්‍යාන ක්ෂාන්තිය කියල.
අන්‍යයන් විසින් කියන කරන තමාට විරුද්ධ වූ දේවල් ඉවසීම අධිවාසනා ක්ෂාන්තියයි.
ප්‍රතිපදා ඥානදර්ශන විශුද්ධියේ දී සංස්කාර ධර්මයන් අරමුණු කොට පහළ වෙන විදර්ශනා
ඥානයට කියනවා ධර්මනිද්ධ්‍යාන ක්ෂාන්තිය කියලා. අධිවාසනා ක්ෂාන්තියේ දී අන්‍යයන්
විසින් කරන කියන තමන්ට විරුද්ධ වූ දේවලට පළි නොගෙන, එකට එක නොකොට, වෛර නොකොට, ඇනුම්
බැණුම් ආදියෙන් ඒ අයගේ ඇස්වල කඳුළු නූපදවා සතුටු සිතින් විසීම ඉවසීම වශයෙන් ඛමනතා
අධිවාසනතා, අචණ්ඩික්කං, අස්සුරෝපෝ, අත්තමනතා යන වචනවලින් පැහැදිලි කරල තියෙනවා.
ඉවසීම පාරමිතාවක්. ඒ නිසයි මුලින්ම සඳහන් කළේ ඉවසීමෙන් තොරව නිවන් ලබන්න බැහැ
කියලා. ශ්‍රාවක බෝධියෙන් නිවන් ලබන්න බලාපොරොත්තු වන අය ඉවසීම පාරමිතාවක් වශයෙන්
පුරනවා.
පච්චේක බෝධියෙන් නිවන් ලබන්න බලාපොරොත්තු වෙන අය ඉවසීම උපපාරමිතාවක් වශයෙන් පුරනවා.
බුද්ධත්වය බලාපොරොත්තුවෙන් පෙරුම් පුරන මහ බෝසත්වරු ඉවසීම පරමාර්ථ වශයෙන්ම සම්පූර්ණ
කරනවා.
අප මහ බෝධිසත්වයන් වහන්සේ ඉවසීම පරමාර්ථ වශයෙන් ම සම්පූර්ණ කළ ආකාරය ක්ෂාන්තිවාදි
ජාතකයෙන් පැහැදිලි වෙනවා. ඉවසීමේ ලක්ෂණය, හොඳ නොහොඳ දරා සිටීමයි. එහි වැටහීම
අවිරුද්ධ භාවයයි. වෙන කිසිවක් ගැන තබා ජීවිතය ගැනවත් බලාපොරොත්තුවක් නැතිව අත්දෙක,
පා දෙක, කන් දෙන, නාස් දෙක ආදී අංගයන් එකින් එක කපා දමද්දී ක්ෂාන්තිවාදී තාපසතුමා
කිසිම විරුද්ධත්වයක් නොපෙන්වා ඒ සියලු දුක් වේදනාවන් විඳදරා ගත් ආකාරය ශ්‍රේෂ්ඨයි.
මහ බෝසත් කෙනෙකු හැර වෙන කිසිවෙක් ඒ විදියට නම් ඉවසන්නේ නෑ. අප තුළ ඉවසීම දියුණු කර
ගැනීම සඳහා විශාල වීර්යයක් හා අධිෂ්ඨානයක් අවශ්‍යයි. එහෙම නැති අයගේ ඉවසීම සුළඟට
අසුවුණු පරඬලා පතක් සේ ඉක්මනින් සසල වෙනවා.
දීඝිති කෝසල ජාතකයේ දී එම කුමාරයාගේ ඉවසීම නිසා ඔහුට මුළු රටේම රජකම පවා හිමිකර
දෙනවා. එයින් පැහැදිලි වෙනවා ඉවසීම අවශ්‍ය වන්නේ නිවන් ලබන්නට පමණක් නොවන බව. මේ
අනුව ලෞකික අරමුණු ඉටු කර ගැනීමේදීත් ඉවසීම අවශ්‍ය වෙනවා. ඒත් එබඳු කිසිවක් පිළිබඳ
කිසිම බලාපොරොත්තුවක් නැතිව ප්‍රගුණ කරන ඉවසීම වඩාත්ම ශ්‍රේෂ්ඨ බවයි ක්ෂාන්තිවාදී
කතාවෙන් පැහැදිලි වෙන්නේ.
ඉවසීම පිළිබඳ ආනිසංස පහක් බුදුහාමුදුරුවෝ දේශනා කළා.
“බහු තෝ ජනස්ස පියෝ හෝති” බොහෝ ජනයාට ඔහු පි‍්‍රය පුද්ගලයෙක් වෙනවා.
මේ නිසා ඉවසීමෙන් සමාජයේ බොහෝ දෙනකුගේ ආදරය සහ පි‍්‍රයතාව දිනාගෙන ජීවත් වෙන්න
පුළුවන්. සමාජයේ අනිත් අය ඔහු කෙරෙහි සතුටු වෙනවා. ඉවසන්න ඉවසන්න ක්‍රෝධය අඩු වෙලා
යනවා. සිහියෙන් යුතුව කලුරිය කරන්නටත්, දිව්‍යාදි ලෝකවල උප්පත්තිය ලබන්නටත් ඉවසීම
හේතු වෙනවා.
මහා කපි ජාතකය, මහිස ජාතකය, භූරී දත්ත ජාතකය ආදී කතාවල දී බුදුරජාණන් වහන්සේ ඉවසීමේ
අගය පැහැදිලි කළා.
අයන්ති විතාන |