තීරණයක නිවැරැදි බව
මෙලෙස තීරණය කරන්න
ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිතය පවත්නා කාලය තුළ යම් යම් හේතු පදනම් කරගෙන අවස්ථානුබද්ධව
තීරණ ගැනීම සිදුකරයි.
බොහෝ විට එලෙස අප ගනු ලබන තීරණ නිවැරැදි ද, එසේත් නොමැති නම් වැරැදි ද යන කාරණාව
පිළිබඳ සලකන්නේ අතළොස්සකි. ඒ නිසාම යම් තීරණයක් ගෙන අවසානයේ දී පසුතැවීමට පත් වන
බොහෝ දෙනා පිළිබඳ අප නිරීක්ෂණය කර ඇත්තෙමු. උදාහරණයක් ගෙන සාකච්ඡා කරන්නේ නම්
සාහසික කි‍්‍රයාවක් වශයෙන් සලකනු ලබන මනුෂ්‍ය ඝාතනය පෙන්වාදිය හැකි ය. කිසියම් වූ
හේතුවක් පදනම් කරගෙන ගනු ලැබූ වැරැදි තීරණයේ අවසන් ප්‍රතිඵලය වූයේ මනුෂ්‍ය ඝාතනයයි.
මෙවැනි ඕනෑතරම් සිද්ධි දාමයන් රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි ශ්‍රව්‍ය දෘශ්‍ය
මාධ්‍යයෙන් මෙන් ම පුවත්පත් වැනි මුද්‍රිත මාධ්‍යයන්ගෙන් නොයෙක් වර අප ඇස ගැටෙන
දසුන් ය. ඇතැම් විට එවැනි මනුෂ්‍ය ඝාතනයකින් අදහස් වන්නේ කුමක් හෝ සුළු සිද්ධියක්
නිසා ඇති කරගත් වැරැදි අදහසකි. එය හදිසි කෝපය නිසාවෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක්
හෝ අපරාධයක් යැයි ද නොයෙක් වර අසන්නට ලැබෙන කරුණකි.
එනමුත් මෙම සිද්ධිය විමර්ශනාත්මක ඇසින් බලන්නකුට නම් මෙහි පවතින තීරණ ගැනීමේ වරද
දැක ගන්නට පිළිවන.
බෞද්ධ සමාජයක ජීවත්වන කෙනකුට නම් විශේෂයෙන් එම විමර්ශනාත්මක භාවය හිමිව ඇත.ඊට හේතුව
බුද්ධ දේශනාව වූ කලි සම්මුතියෙන් එපිටට ගොස් එහි පරමාර්ථයන් පිළිබඳ විමසා බලන දහමක්
වන බැවිනි.
විභජ්ජවාදී දහමක් වශයෙන් බොහෝ දෙනා අතර මෙය ප්‍රචළිතව ඇත්තේ ද එලෙස බෙදා වෙන් කොට
විමර්ශනය කරන බැවිනි.
පෙර සඳහන් කළ පරිද්දෙන් ගන්නා ලද තීරණය අවසානයේ පසුතැවීමට පත් වන්නට සිදු වේ නම් ඒ
තුළ පැහැදිලි වන්නේ ගන්නා ලද තීරණය සාර්ථක නොවන, එසේම නිවැරැදි ද නොවන තීරණයක් වන
බවයි. නිවැරැදි තීරණය සැප පිණිසත්, වැරැදි තීරණය දුක් පිණිසත් හේතු වන බව පෙර සඳහන්
කළ සංසිද්ධීන්ගෙන් මනාව වැටහේ.
පුද්ගලයාට එදිනෙදා ජීවිතයේ දී නිවැරැදි තීරණයක් ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම බුදු දහම
තුළ පෙන්වා දී ඇති බව අවිවාදයෙන් පිළිගත හැකි ය. ඊට කදිම නිදර්ශනාත්මක සූත්‍රයක්
වන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ එන කාලාම සූත්‍රයයි.
දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂු මහා සංඝයා වහන්සේ සමඟ චාරිකාවේ වැඩම කළහ. ඒ අතරතුර
කාලාමයන්ගේ කේසපුත්ත නම් නියම්ගමට ද උන්වහන්සේ වැඩම කළහ. එහිදී කේසපුත්ත
නියම්ගම්වැසි කාලාමයන් ඒ වන විටත් ඔවුහු මුහුණ පා සිටි ගැටලු බුදුරජාණන් වහන්සේට
ප්‍රකාශ කළේ ය. එම කරුණ නම්,
“ස්වාමීනි,කෙසපුත්තයට එන ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු ස්වකීය ලබ්ධියම කියයි.
මෙරමාගේ ලබ්ධියට අක්‍රෝෂ කරයි. නිග්‍රහ කරයි. බැහැර කරයි.”
යනුවෙනි. මෙම අවස්ථාව තුළ ද අපට විද්‍යමාන වන්නේ මෙම පිරිස නොයෙක් නොයෙක් ආගමික
මතධාරීන්ගේ දේශනාවන් නිසා මං මුළා වී ඇති සෙයකි. එබැවින් ඔවුන්ට කවරෙක් සත්‍ය
පවසන්නේ ද යන නිවැරැදි තීරණයට එළඹීමට නොහැකි ව පසුවෙති.
මෙම කරුණු පිළිබඳ මනාව තේරුම් ගත් බුදුරජාණන් වහන්සේ මෙම පිරිසට මං මුළාවෙන්
මිදෙන්නට නොඑසේ නම් (නොයෙක් කරුණු අසා තිබූ බැවින්) හිතේ හටගත් සැක සංකා දුරු කර
ගන්නට අවශ්‍ය කරන මූලික කරුණු කරුණු 10 ක් පිළිබඳ ප්‍රථමයෙන් දේශනා කරන ලද සේක. එම
කාරණාවන් වන්නේ,
*
මා අනුස්සවේන - නැවත නැවත ශ්‍රවණය කරන ලද බැවින් නොපිළිගන්න.
*
මා පරම්පරාය - පරම්පරානුගතව පැමිණි බැවින් නො පිළිගන්න.
*
මා ඉතිකිරාය - යමෙක් පැවසූ පමණින් නොපිළිගන්න.
*
මා පිටකසම්පදානෙන - උගත් ග්‍රන්ථ සම්පත්තියෙහි ලා නොපිළිගන්න.
*
මා තක්කහේතු - තම තර්කයට අනුරූප වන බැවින් නොපිළිගන්න.
*
මා නයහේතු - තම න්‍යායට අනුරූප වන බැවින් නොපිළිගන්න.
*
මා ආකාරපරිවිතක්කේන - ආකෘතියට අනුරූප වන බැවින් නොපිළිගන්න.
*
මා දිට්ඨි නිජ්ඣාන ඛන්තියා - තමා විසින් ගන්නා ලද ලබ්ධිය හා සමාන යැයි නොපිළිගන්න.
*
මා භබ්බරූපතාය -භව්‍යරූපතාවයෙන් ද නොපිළිගන්න
*
මා සමණෝ නෝ ගරු - ශ්‍රමණ ගෞරවයෙන් ද නොපිළිගන්න.
අප හැම දෙනාම ද දෛනික ජීවිතයේ බොහෝ ගැටලුවලට මුහුණ පාන්නෙමු. එබැවින් මෙම කේසපුත්ත
නියම් ගම් වැසි කාලාමයන්ට ද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ එම දස කාරණාවන් මත
පදනම්ව යමක් විශ්වාසය නොකරන ලෙසයි.
දෙවනුව බුදුරජාණන් වහන්සේ යොමු වන්නේ නිවැරැදි තීරණයක් ගත යුත්තේ කෙලෙස ද යන්න
පෙන්වා දීමටයි. එහිදී බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට මෙසේ දේශනා කළ සේක.
“මේ දහම් අකුසල් ය, මේ දහම් වරද සහිත ය. මේ දහම් නුවණැත්තන් විසින් ගරහිත ය. මේ
දහම්හු සපුරන ලද්දාහු, සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස, දුක් පිණිස,
පවත්නාහයි.”
යනුවෙනි. මෙහිදී බුදුරජාණන් වහන්සේ වැඩි දුරටත් දේශනා කොට වදාරන්නේ ලෝභ, දෝස, මෝහ
යන අකුසල මූලයන්ගේ ද සම්මිශ්‍රණය ඇත්තේ නම් කිසිදු ලෙසකින්වත් එම ගනු ලබන තීරණය
නිවැරැදි තීරණයක් නොවන බවයි. එසේම උන්වහන්සේ එම වැරදි තීරණය නිවැරැදි තීරණයක් ලෙස
සකස් කරගත යුතු වන්නේ කෙසේ දැයි යන්න කාලාම සූත්‍ර දේශනාව තුළ විවරණය කළ සේක.
“ මේ දහම්හු කුසල් ය. මේ දහම්හු අනවද්‍යයහ. මේ දහම් නුවණැත්තන් විසින් ප්‍රශංසිත ය.
මේ දහම්හු සපුරන ලද්දාහු, සමාගම් කොටගන්නා ලද්දාහු වැඩ පිණිස, සුව පිණිස පවත්නාහ”
යනුවෙනි. මෙලෙස නිවැරදි යමක් කිරීමට පෙර විමර්ශනය කිරීම තුළින් අප ගනු ලබන තීරණය
යහපත් මෙන්ම නිවැරදි තීරණයක් බවට පත්වන බව පැහැදිලි වේ.
මෙලෙස යථෝක්ත බුද්ධ භාෂිතය ගවේෂණශීලී ව මෙන්ම, විමර්ශනශීලීව සොයා බැලීම තුළ දෛනිකව
අප ගනු ලබන දහස් සංඛ්‍යාත තීරණ නිවැරැදි තීරණ බවට පත් කර ගැනීමටත්, සංසාරය තුළ තව
තවත් දුක්මුසු අත්දැකීම්වලට ළඟා නොවී මෙලොවත් යහපත්ව කල් යවා, පරලොවත් යහපත් කර
ගන්නට නිවැරැදි තීරණය ගන්නටත් හැකිවනු ඇත.
පොත්තේවෙල
ඤාණලක්ඛණ හිමි |